දේශනාකාරයා 12:1-14

  • වයසට යන්න කලින් නිර්මාතෘව සිහි කරන්න (1-8)

  • උපදේශකයාගේ නිගමනය (9-14)

    • ප්‍රඥාවන්ත වදන් කෙවිටක් වගෙයි (11)

    • සැබෑ දෙවියන්ට ගරුබිය දක්වන්න (13)

12  තරුණයෙනි, තරුණ කාලේදී ඔයාගේ ශ්‍රේෂ්ඨ නිර්මාතෘව සිහි කරන්න.+ දුෂ්කර දවස් එන්න කලින්+ “මට ජීවිතෙන් කිසි සතුටක් නැහැ” කියලා කියන දවස් එන්න කලින් එහෙම කරන්න. 2  ඉර, හඳ සහ තරු අඳුරු වෙන්න කලින්,+ වැස්සකින් පස්සේ ආයෙත් වැහි වලාකුළු එන්න කලින්* එහෙම කරන්න. 3  එදාට ගෙදර මුරකරුවෝ වෙවුලයි. ශක්තිමත් පුරුෂයන්ට කෙළින් හිටගන්න බැරි වෙයි. අඹරන ස්ත්‍රීන්ගේ ගාණ අඩු වෙන නිසා අඹරන වැඩ නවතියි. ජනේලයෙන් එළිය බලන කාන්තාවන්ට හැම දෙයක්ම අඳුරු වෙලා පෙනෙයි.+ 4  පාරට විවෘත වෙන දොරවල් වැහිලා තියෙයි. ඇඹරුම් ගලේ ශබ්දය අඩු වෙලා යයි. එදාට කුරුල්ලෙක්ගේ ශබ්දයට පවා ඔයා ඇහැරෙයි. ගායිකාවන්ගේ ගී හඬ ඇහෙන්නේ නැති තරම්.+ 5  ඔයා ඉහළ තැන්වලට බය වෙයි. පාරට බහින්නත් බය වෙයි. ආමන්ඩ් ගහේ මල් පිපෙයි.+ තණකොළ පෙත්තා ගාටගාට ඇවිදියි. කෑම රුචියත් නැති වෙයි.* මොකද සෑහෙන කාලයක් පුරා විවේක ගන්න තැනට මිනිසා ඇවිදගෙන යනවා.+ වැලපෙන අය පාරවල් දිගේ ඇවිදගෙන යනවා.+ 6  රිදී ලණුව ලිහිලා යන්නත් රන් භාජනය කුඩු වෙන්නත් දිය උල්පත ළඟ තියෙන බඳුන බිඳෙන්නත් ළිඳෙන් වතුර අදින බොලොක්කය කැඩෙන්නත් කලින් ඔයාගේ නිර්මාතෘව සිහි කරන්න. 7  දූවිල්ලෙන් ආපු මිනිසා ආපහු දූවිල්ලටම හැරිලා යනවා.+ ජීවන හුස්ම* ඒක ලබා දුන්න සැබෑ දෙවියන් ළඟට යනවා.+ 8  “කිසිම දේකින් පලක් නැහැ” කියලා උපදේශකයා+ කියනවා. “හැම දෙයක්ම නිෂ්ඵලයි.”+ 9  උපදේශකයා ප්‍රඥාවන්ත කෙනෙක් වුණා විතරක් නෙමෙයි එයා දන්න දේවල් දිගටම මිනිස්සුන්ට කියලා දුන්නා.+ එයා කාරණා ගැන හොඳට හිතලා බැලුවා. හැම දෙයක් ගැනම ගැඹුරට හොයලා බැලුවා. එහෙම කළේ හිතෝපදේශ ගණනාවක් හරි පිළිවෙළට සකස් කරන්නයි.+ 10  උපදේශකයා ප්‍රිය වචන+ හොයන්නත් නිවැරදි වගේම සත්‍ය වචන වාර්තා කරන්නත් උත්සාහ කළා. 11  ප්‍රඥාවන්තයන්ගේ වචන කෙවිටක් වගේ.+ එකතු කරලා තියෙන එයාලාගේ වදන් හොඳට සවි කරපු ඇණ වගේ. ඒවා ලැබුණේ එක එඬේරෙක්ගෙන්. 12  මගේ පුතේ, ඒ දේවලට අමතරව ලියලා තියෙන දේවල් ගැන මම දෙන මේ අවවාදය හිතට ගන්න. පොත් පත් ලියන එකට කෙළවරක් නැහැ. ඒවා අධ්‍යයනය කරන්න කැප වෙන එකෙන් වෙන්නේ වෙහෙසක් දැනෙන එක විතරයි.+ 13  හැම දෙයක්ම ඇහුවාට පස්සේ මගේ නිගමනය මේකයි. සැබෑ දෙවියන්ට ගරුබිය දක්වන්න.+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසෙක් කරන්න ඕනෙ වැදගත්ම දේ ඒකයි.+ 14  මොකද සැබෑ දෙවියන් මිනිස්සු කරන හැම දෙයක්ම, සැඟවිලා තියෙන දේවල් පවා විනිශ්චය කරනවා. ඒවා හොඳද නරකද කියලා ඔහු විනිශ්චය කරනවා.+

පාදසටහන්

^ හෝ සමහරවිට, “වලාකුළු ආපහු වැස්ස අරගෙන එන්න කලින්.”
^ මූ.අ., “කේප බෙරි පැළිලා යයි.” ඒකෙන් අදහස් කරන්නේ කෑම රුචිය ඇති කරන මේ ගෙඩි වර්ගයෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා.
^ හෝ, “ජීව බලය.”