උත්පත්ති 6:1-22

  • දෙවියන්ගේ පුත්‍රයන් පොළොවේ ඉන්න කාන්තාවන්ව විවාහ කරගනියි (1-3)

  • යෝධයන් ඉපදෙයි (4)

  • මිනිස්සුන්ගේ දුෂ්ටකම් නිසා යෙහෝවා දුක් වෙයි (5-8)

  • නැවක් හදන්න කියලා නෝවාට කියයි (9-16)

  • ජලගැල්මක් ගේනවා කියලා දෙවියන් කියයි (17-22)

6  පොළොවේ ජනගහනය වැඩි වෙන්න පටන්ගත්තා. ගොඩක් දූවරුනුත් ඉපදුණා. 2  ඒ කාන්තාවන්* හරිම ලස්සනයි කියලා සැබෑ දෙවියන්ගේ පුත්‍රයන්*+ දැක්කා. ඒ ලස්සනට එයාලාගේ හිත් ඇදිලා ගියා. ඉතින් එයාලා කැමති කැමති කාන්තාවන්ව තෝරගෙන එයාලව විවාහ කරගත්තා. 3  ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මිනිස්සු කරන මේ දේවල් මම හැමදාටම ඉවසන්නේ නැහැ.+ එයාලා යන්නෙම එයාලාගේ ආසාවන් පස්සේ. ඒ නිසා තව අවුරුදු 120ක් එයාලට ජීවත් වෙන්න ඉඩහරිනවා.”*+ 4  ඒ දවස්වලත් ඊටපස්සෙත් පොළොවේ යෝධයෝ* හිටියා. ඒ කාලේදී සැබෑ දෙවියන්ගේ පුත්‍රයෝ පොළොවේ හිටපු කාන්තාවන් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒ කාන්තාවන්ට බිහි වුණ පුතාලා අතීතයේ හිටපු මිනිස්සු අතරේ බලවත්, ප්‍රසිද්ධ අය වුණා. 5  මිනිස්සුන්ගේ දුෂ්ටකම් හැම තැනම පැතිරිලා තිබුණා කියලත් එයාලාගේ හිත්වල තියෙන්නෙම නපුරු දේවල්+ කියලත් යෙහෝවා දැක්කා. 6  යෙහෝවාගේ හිතට ලොකු වේදනාවක් දැනුණා. ඔහු හදපු මිනිස්සු නිසා ඔහු කනගාටු වුණා.+ 7  ඒ හින්දා යෙහෝවා මෙහෙම කිව්වා. “මම හදපු මිනිස්සුන්ව පොළොවෙන් නැති කරලා දානවා. මිනිස්සුන්වත් හීලෑ සතුන්වත් කුඩා සතුන්වත් අහසේ පියාසර කරන ජීවීන්වත් මම විනාශ කරනවා. මං හදපු මිනිස්සු නිසා මම කනගාටු වෙනවා.” 8  ඒත් නෝවා ගැන යෙහෝවා සතුටු වුණා. 9  මේ තමයි නෝවාගේ ජීවිත කතාව. නෝවා ධර්මිෂ්ඨ මනුස්සයෙක්.+ එයා ජීවත් වුණ කාලේ හිටපු මිනිස්සුන්ට වඩා නෝවා හුඟක් වෙනස් කෙනෙක්. මොකද එයා නිදොස් ජීවිතයක් ගත කළා. නෝවා සැබෑ දෙවියන් එක්ක ගමන් කළා.+ 10  කාලයක් ගියාට පස්සේ නෝවාට පුතාලා තුන්දෙනෙක් ඉපදුණා. එයාලාගේ නම් ෂෙම්, හාම් සහ යාෆෙත්.+ 11  ඒත් පොළොව ගොඩක් පිරිහිලා කියලා සැබෑ දෙවියන් දැක්කා. මුළු පොළොවම දරුණු භයානක දේවල්වලින් පිරිලා තිබුණා. 12  දෙවියන් පොළොව දිහා බැලුවාම පොළොව හොඳටම පිරිහිලා කියලා ඔහු දැක්කා.+ මිනිස්සු හැමෝම ගත කළේ හරිම නරක ජීවිත.+ 13  ඊටපස්සේ දෙවියන් නෝවාට මෙහෙම කිව්වා. “පොළොවේ ජීවත් වෙන හැමෝවම විනාශ කරන්න මම තීරණය කරලා තියෙනවා. මිනිස්සු කරන දරුණු දේවලින් මුළු පොළොවම පිරිලා. ඒ හින්දා මම මිනිස්සුන්වයි, පොළොවේ තියෙන හැම දෙයක්මයි විනාශ කරනවා.+ 14  ඔයා හොඳ ලීවලින්* නැවක්* හදන්න.+ නැව ඇතුළේ කාමරත් හදන්න. ඊටපස්සේ ඒකේ ඇතුල් පැත්තටයි, පිට පැත්තටයි සම්පූර්ණයෙන්ම තාර ගාන්න.+ 15  ඔයා නැව හදන්න ඕනෙ මෙහෙමයි. නැවේ දිග රියන්* 300යි. පළල රියන් 50යි. උස රියන් 30යි. 16  නැවට එළිය වැටෙන්න වහලේ ඉඳලා රියනක් පහළට කවුළුවක්* හදන්න. නැවේ පැත්තකින් නැවට ඇතුල් වෙන්න තැනකුත් හදන්න.+ නැවට තට්ටු තුනක් තියෙන්න ඕනේ. 17  “මම පොළොවට මහ ජලගැල්මක් ගේනවා.+ මම එහෙම කරන්නේ අහස යට ජීවත් වෙන හැමෝවම* විනාශ කරලා දාන්නයි. පොළොවේ ඉන්න හැම ජීවියෙක්ම නැති වෙනවා.+ 18  හැබැයි මම ඔයාත් එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා. ඔයායි, ඔයාගේ බිරිඳයි, ඔයාගේ පුතාලයි, එයාලාගේ භාර්යාවනුයි නැවට ඇතුල් වෙන්න ඕනේ.+ 19  හැම සතෙක්ගෙන්ම දෙන්නා ගාණේ+ ඒ කියන්නේ පිරිමි සතෙක්වයි, ගැහැනු සතෙක්වයි නැවට ඇතුල් කරගන්න.+ ඔයාලාගේ ජීවිත වගේම උන්ගේ ජීවිතත් ආරක්ෂා වෙන්න එහෙම කරන්න. 20  ඒ ඒ වර්ග විදිහට බෝ වෙන හීලෑ සතුන්ගෙන්, පියාසර කරන ජීවීන්ගෙන් සහ අනිත් කුඩා සතුන්ගෙන් දෙන්නා ගාණේ නැවට එයි. උන්ගේ ජීවිත ආරක්ෂා වෙන්න උන්ව ඔයාත් එක්ක නැවට ඇතුල් කරගන්න.+ 21  ඔයා හැම කෑම වර්ගයක්ම රැස් කරගන්න ඕනේ.+ ඒවා ඔයාලටයි, සත්තුන්ටයි කෑමට ගන්න පුළුවන්.” 22  නෝවා දෙවියන් අණ කරපු හැම දෙයක්ම කළා. එයා දෙවියන් කියපු විදිහටම කළා.+

පාදසටහන්

^ මූ.අ., “මනුෂ්‍යයන්ගේ දූවරුන්.”
^ හෝ, “දේවදූතයන්.”
^ මූ.අ., “ඒ නිසා එයාලාගේ දවස් අවුරුදු 120ක් වෙනවා.”
^ මූ.අ., “නෙෆිලිම්වරු.” තේරුම, “බිමට ඇදගෙන වැටෙන්න අනිත් අයට පහර දෙන අය” වෙන්න පුළුවන්. “පැහැදිලි කිරීමක්” බලන්න.
^ ඒක දිග පෙට්ටියක් වගේ.
^ මෙතන කතා කරන්නේ මැලියම් සහිත ගස් වර්ගයක ලී ගැනයි. ඒක සයිප්‍රස් වර්ගයට අයිති ගහක් වෙන්න පුළුවන්.
^ රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). එතකොට නැවේ දිග මීටර් 134යි. පළල මීටර් 22යි. උස මීටර් 13යි. උප. B14 බලන්න.
^ හෙබ්‍රෙව් භාෂාවෙන් ට්සෝහා. සමහරවිට මේක නැව වටේටම යන කවුළුවක් වෙන්න පුළුවන්. මේ ගැන තියෙන තවත් අදහසක් තමයි වහල රියනක බෑවුමක් තියෙන විදිහට හදන්න ඕනෙ කියන එක.
^ මූ.අ., “ජීවන හුස්ම ඇති සියල්ලන්.”