2 සාමුවෙල් 21:1-22

21  දාවිත් රජුගේ පාලන සමයේදී සාගතයක් ඇති විය.+ එම සාගතය අවුරුදු තුනක් පුරා පැවතිණ. දාවිත් රජු යෙහෝවා දෙවිගෙන් ඒ ගැන විමසූ විට යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “සාවුල් ගිබියොන්වරුන්ව මරා දැමූ නිසා ඔහුත් ඔහුගේ පවුලේ අයත් ඔවුන්ගේ ලේවලට වග කිව යුතුයි. මෙවැනි විපතක් සිදු වුණේ ඒ නිසයි.”+  පසුව රජ ගිබියොන්වරුන්ව+ ඔහු ඉදිරියට කැඳවා ඔවුන් සමඟ ඒ ගැන කතා කළේය. (ගිබියොන්වරු ඊශ්‍රායෙල් ජාතිකයන් නොවූහ. ඔවුන් දේශයේ ඉතුරුව සිටි අමෝරිවරුන්ගෙන්+ පැවත ආ කොටසකි. ඔවුන්ව විනාශ නොකරන බවට ඊශ්‍රායෙල්වරුන් ඔවුන්ට දිවුරා පොරොන්දු වී තිබුණද+ සාවුල් එම පොරොන්දුව නොතකා ජාත්‍යාලයෙන් පෙලඹී+ ගිබියොන්වරුන්ව නැත්තටම නැති කර දමන්න උත්සාහ කළේය.)+  ගිබියොන්වරුන්ගෙන් දාවිත් රජ මෙසේ ඇසුවේය. “මම කොහොමද මේ වරදට වන්දි ගෙවන්නේ?+ ඔබ යෙහෝවා දෙවිගේ උරුමයට+ ආශීර්වාද කරන්න නම් මම ඔබ වෙනුවෙන් මොනවාද කරන්න ඕනේ?”  එවිට ගිබියොන්වරු, “සාවුල් හා ඔහුගේ පවුලේ අය සමඟ අපිට තියෙන මේ ගැටලුව රන් හා රිදීවලින් විසඳගන්න පුළුවන් එකක් නෙමෙයි.+ අනික ඊශ්‍රායෙල් දේශයේ කිසිවෙකුවත් මරන්න අපට අයිතියක් නැහැ” කියා දාවිත් රජුට කීවෝය. එය අසා දාවිත් රජ ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ කියන ඕනෑම දෙයක් මම කරන්නම්.”  එවිට ඔවුහු රජුගෙන් මෙසේ ඉල්ලා සිටියෝය. “අපිව ඊශ්‍රායෙල් දේශයෙන් මුළුමනින්ම නැති කර දමන්න කුමන්ත්‍රණය කළ+ මනුෂ්‍යයාගේ+  පුත්‍රයන් හත්දෙනෙකුව අපේ අතට භාර දෙන්න.+ අපි ඔවුන්ව මරලා යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුන්ගේ මළ කඳන් එල්ලනවා.+ යෙහෝවා දෙවි තෝරාගත්,+ කලින් රජුව සිටි සාවුල්ගේ නුවර වන ගිබෙයාහි+ අපි ඔවුන්ගේ මළ කඳන් එල්ලනවා.” එවිට රජ, “මම ඔවුන්ව ඔබට භාර දෙන්නම්” කියා ඔවුන්ට කීවේය.  එහෙත් රජ, තමා සාවුල්ගේ පුත් යොනාතාන් සමඟ යෙහෝවා දෙවිගේ නමින් ඇති කර ගත් ගිවිසුම+ සිහි කළේය. එබැවින් යොනාතාන්ගේ පුත්‍රයා වන මෙෆිබොෂෙත්ට+ ඔහු අනුකම්පා කළේය.  එහෙත් රජ, ආයාගේ දියණිය වූ රිෂ්පා+ සාවුල්ට දාව බිහි කළ පුත්‍රයන් දෙදෙනා වන ආර්මෝනි සහ මෙෆිබොෂෙත්වද ආබෙල්-මෙහෝලාහි ජීවත් වූ බාසිල්ලයිගේ පුත්‍රයා වන අද්‍රියෙල්ට+ දාව සාවුල්ගේ දියණිය වන මීකල්*+ බිහි කළ පුත්‍රයන් පස්දෙනාවද  ගිබියොන්වරුන්ගේ අතට භාර දුන්නේය. ඉන්පසු ගිබියොන්වරු ඔවුන්ව මරා ඔවුන්ගේ මළ සිරුරු කන්ද උඩදී යෙහෝවා දෙවි ඉදිරියේ එල්ලුවෝය.+ ඒ හත්දෙනාම එකම දවසේ මිය ගියෝය. ඔවුන්ව මරනු ලැබුවේ අස්වනු නෙළීමට පටන්ගත් කාලයේදී එනම්, බාර්ලි අස්වනු නෙළීමට පටන්ගත් කාලයේදීය.+ 10  ආයාගේ දියණිය+ වන රිෂ්පා කන්ද මත ගෝණි රෙදි+ අතුරා අස්වනු නෙළීමට පටන්ගත් දවසේ සිට වැසි වසින කාලය+ දක්වාම එතැනට වී සිටියාය. ඇය දවල් කාලයේදී පක්ෂීන්ටවත්+ රාත්‍රියේදී වනමෘගයන්ටවත්+ ඔවුන්ගේ මළ කඳන් ළඟට එන්න නොදුන්නාය. 11  කාලයක් ගෙවුණු පසු සාවුල්ගේ උපභාර්යාව වූ ආයාගේ දියණිය වන රිෂ්පා කළ දෙය දාවිත් රජුට ආරංචි විය.+ 12  පසුව දාවිත් රජ සාවුල්ගේ හා ඔහුගේ පුත්‍රයා වූ යොනාතාන්ගේ ඇටකටු+ යාබෙෂ්-ගිලියද්හි වැසියන්ගෙන් ඉල්ලාගත්තේය.+ පිලිස්තිවරුන් ගිල්බෝවාහිදී+ සාවුල්ව මරා දැමූ දවසේදී සාවුල්ගේ හා යොනාතාන්ගේ මළ කඳන් බෙත්-ෂාන්හිදී+ ප්‍රසිද්ධියේ එල්ලා තබා තිබිණ.+ ඒ නිසා යාබෙෂ්-ගිලියද්හි වැසියෝ බෙත්-ෂාන් වෙත ගොස් ඔවුන්ගේ මළ කඳන් හොර රහසින් තම නුවරට ගෙනැවිත් තිබිණ. 13  දාවිත් රජ, යාබෙෂ්-ගිලියද්හි වැසියන්ගෙන් සාවුල්ගේ හා යොනාතාන්ගේ ඇටකටු ඉල්ලාගත්තේය. දාවිත් රජුගේ සේවකයෝ කන්දේ එල්ලා තැබූ මිනිසුන්ගේ ඇටකටුද එකතු කළෝය.+ 14  ඉන්පසු ඔවුහු රජු අණ කළ ලෙසම සාවුල්ගේ හා ඔහුගේ පුත් යොනාතාන්ගේ ඇටකටු සාවුල්ගේ පියා වූ කිෂ්ගේ+ සොහොන් ගෙයි තැන්පත් කළෝය. එම සොහොන් ගෙය තිබුණේ බෙන්ජමින්වරුන්ගේ පළාතට අයත් ෂේලා+ නම් නුවරෙහිය. මේ සියල්ල සිදු වූ පසු ජනයා දේශය වෙනුවෙන් කළ කන්නලව්වලට දෙවි සවන් දුන්නේය.+ 15  පිලිස්තිවරු+ නැවත වරක් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධයට ආවෝය. දාවිත් රජද ඔහුගේ සේවකයෝද පිලිස්තිවරුන් ඉදිරියට ගොස් සටන් කළෝය. නමුත් දාවිත් රජ බොහෝ වෙහෙසට පත් විය. 16  ඒ අවස්ථාවේදී රෙෆායිවරයෙකු*+ වූ ඉෂ්බි-බෙනොබ් දාවිත් රජුව මරා දමන්න උත්සාහ කළේය. ඔහුගේ හෙල්ලයේ තිබූ තඹවල බර+ ෂෙකෙල් තුන්සියයක්* විය. ඔහු ළඟ අලුත් කඩුවක්ද තිබිණ. 17  ෂෙරුයියාගේ පුත්‍රයා වන අබිෂයි+ එවෙලේම දාවිත් රජුගේ උපකාරයට පැමිණ+ ඒ පිලිස්තියාව මරා දැමුවේය. එවිට දාවිත් රජුගේ සේවකයෝ, “ඊශ්‍රායෙල්හි පහන+ නිවෙන්න ඉඩ දෙන්න බැහැ!+ ඒ නිසා ඔබ අපි සමඟ නැවත යුද්ධවලට එන්න එපා”+ කියා ඔහුට කීවෝය. 18  පසුව නැවත වරක් ගොබ්හිදී* පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධයක් පටන්ගත්තේය. හූෂා නම් නුවරින් පැමිණි+ සිබ්බෙකයි,+ රෙෆායිවරයෙකු+ වන සාෆ්ව මරා දැමුවේ එම යුද්ධයේදීය. 19  ගොබ්හිදී පිලිස්තිවරුන්ට විරුද්ධව තවත් යුද්ධයක් ඇති විය. ඒ යුද්ධයේදී බෙත්ලෙහෙම්හි වැසියෙකු වූ යයරේ-ඔරෙගීම්ගේ පුත්‍රයා වන එල්හානාන්,+ ගාත්හි වැසියෙකු වන ගොලියත්ව මරා දැමුවේය. ගොලියත්ගේ හෙල්ලය රෙදි විවීම සඳහා භාවිත කරන පොල්ලක් මෙන් විය.+ 20  පසුව ගාත්හිදීත් යුද්ධයක් හටගත්තේය.+ එහි අත්වල ඇඟිලි හය බැගින්ද පාදවල ඇඟිලි හය බැගින්ද තිබූ යෝධයෙක් සිටියේය. ඔහු රෙෆායිවරයෙකි.+ 21  ඔහු ඊශ්‍රායෙල්වරුන්ට බොහෝ නින්දා අපහාස කළේය.+ අන්තිමේදී දාවිත්ගේ සහෝදරයා වූ ෂිමෙයිගේ*+ පුත්‍රයා වන යොනාතාන්+ ඔහුව මරා දැමුවේය. 22  ගාත්හි ජීවත් වූ රෙෆායිවරු සතරදෙනා+ දාවිත් සහ ඔහුගේ සේවකයන්ගේ අතින් මැරුම් කෑවෝය.+

පාදසටහන්

ටාගම් ලියවිල්ලේ සඳහන් වන්නේ, ‘මේරබ් බිහි කළ (සාවුල්ගේ දියණිය වන මීකල් බලාගත්) පුත්‍රයන් පස්දෙනාවද’ කියාය. 2සාමු. 6:23 බලන්න.
මූ.අ., “රාෆා ගෝත්‍රිකයෝ.” යෝධයන් මෙන් උස මහත වූ එම ගෝත්‍රයේ අයව හඳුන්වනු ලැබුවේ මුල් පියාගේ නමින්ය.
එනම්, කිලෝග්‍රෑම් 3.42ක් පමණ.
1ලේක 20:4හි, “ගෙෂෙර්” ලෙස සඳහන් වේ.
1ලේක 20:7හි, “ෂිමෙයා” ලෙසද 1සාමු 16:9හි, “ෂම්මාහ්” ලෙසද සඳහන් වේ.