2 ලේකම් 29:1-36

29  හෙසකියා+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු විසිනවයක් පාලනය කළේය. ඔහුගේ මව සෙකරියාගේ දියණිය වූ අබියාය.+  තම මුතුන්මිත්තා වූ දාවිත් මෙන්+ හෙසකියාද යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ දිගටම කළේය.+  ඔහු රජකමට පත් වූ අවුරුද්දේ මුල්ම මාසයේදීම යෙහෝවා දෙවිගේ ගෘහයේ දොරටු විවෘත කර ඒවා අලුත්වැඩියා කළේය.+  ඔහු පූජකයන්ව හා ලෙවීවරුන්ව නැඟෙනහිර දෙසින් පිහිටි එළිමහන් බිමකට රැස් කරවා+  ඔවුන්ට මෙසේ පැවසීය. “ලෙවීවරුනි, මට සවන් දෙන්න. පවිත්‍ර වී, පරිශුද්ධ සේවය සඳහා සූදානම් වෙන්න.+ ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාගේ ගෘහයද පවිත්‍ර කරන්න. ශුද්ධස්ථානයෙන් සියලුම අපවිත්‍ර දේවල් පිටතට ගෙන යන්න.+  අපේ පියවරුන් යෙහෝවා දෙවිට ද්‍රෝහි වී+ ඔහු පිළිකුල් කරන දේවල් කළා.+ ඔවුන් ඔහුට පිටු පා ඔහුගෙන් ඉවත්ව ගියා.+ යෙහෝවා දෙවිගේ ශුද්ධස්ථානයේදී ඔහුට කළ නමස්කාරයද ඔවුන් අත්හැර ගියා.+  ඔවුන් ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාවේ දොරටු වසා දැමුවා.+ ඔවුන් එහි පහන් දැල්වූයේවත්+ සුවඳ ද්‍රව්‍ය දැව්වේවත්+ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඒ ශුද්ධ භූමිය තුළ ඊශ්‍රායෙල්හි දෙවිට ඔවුන් දවන පූජා ඔප්පු කළේවත් නැහැ.+  ඒ නිසා යෙහෝවා දෙවි යූදා හා යෙරුසලමෙහි වැසියන් සමඟ උදහස් වී+ ඔවුන්ව වෙනත් ජාතීන් ඉදිරියේ නින්දාවට ලක් වෙන්න ඉඩහැරියා.+ එය ඔවුන්ව මොන තරම් පුදුමයට පත් කරවන්නක් වුණාද!+ ඔවුන්ට සිදු වූ දේ දුටු සියල්ලන් හොඳටම භය වුණා.+ ඒ සියල්ලේ ප්‍රතිඵල දැන් ඔබටත් ඔබේම ඇස්වලින් දකින්න ලැබෙනවා නේද?  ඒ ක්‍රියාවන් නිසා අපේ මුතුන්මිත්තන් කඩු පහරින් මිය ගියා.+ අපේ දූපුතුන්ව හා භාර්යාවන්ව වහලුන් හැටියට ගෙන ගියා.+ 10  ඒ නිසා දැන් මගේ එකම ආශාව ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා සමඟ ගිවිසුමක් ඇති කරගැනීමයි.+ එතකොට අපිට විරුද්ධව ඇවුළුණු ඔහුගේ උදහස පහ වෙලා යයි. 11  මගේ පුත්‍රයෙනි, ඔබට ලැබී ඇති වගකීම ගැන සුළුවෙන් හිතන්න එපා.+ තමන් ඉදිරියේ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්නත්+ දිගටම සේවය කරන්නත්+ යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබවයි.”+ 12  ලෙවීවරු+ ඔහු පැවසූ දේට එකඟව ක්‍රියා කිරීමට වහාම පියවර ගත්හ. ඔවුන්ගේ නම් මෙසේය. කෝහාත්ගෙන් පැවතෙන්නන්+ අතරින් අෂරියාගේ පුත් යෝවෙල් සහ අමාසායිගේ පුත් මාහත්ද මෙරාරීගෙන් පැවතෙන්නන්+ අතරින් අබ්දීගේ පුත් කිෂ් සහ යෙහල්ලෙලෙල්ගේ පුත් අෂරියාද ගේර්ෂොන්ගෙන් පැවතෙන්නන්+ අතරින් සිම්මාගේ පුත් යෝවා සහ යෝවාගේ පුත් ඒදන්ද 13  එලිෂාෆාන්ගෙන් පැවතෙන්නන්+ අතරින් ෂිම්රි සහ යෙවුයෙල්ද ආසාෆ්ගෙන් පැවතෙන්නන්+ අතරින් සෙකරියා සහ මත්තනියාද 14  හේමාන්ගෙන් පැවතෙන්නන්+ අතරින් යෙහීයෙල් සහ ෂිමෙයිද යෙදූතුන්ගෙන් පැවතෙන්නන්+ අතරින් ෂෙමායා සහ උස්සියෙල්ද යන අයය. 15  සෙසු ලෙවීවරුන්වද රැස් කරගත් ඔවුහු මුලින්ම පවිත්‍ර වී,+ රජු අණ කළ ලෙස+ යෙහෝවා දෙවිගේ ගෘහය පවිත්‍ර කිරීමට පියවර ගත්තෝය.+ ඔවුහු එය කළේ යෙහෝවා දෙවි පවසා තිබූ ආකාරයටය. 16  යෙහෝවා දෙවිගේ ගෘහය පවිත්‍ර කිරීම සඳහා එයට ඇතුල් වූ පූජකයෝ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ සියලුම අපවිත්‍ර දේවල් යෙහෝවා දෙවිගේ ගෘහයේ මළුවට ගෙනාවෝය.+ ඉන්පසු ලෙවීවරු මළුවෙන් පිටතට ඒ අපවිත්‍ර දේවල් රැගෙන ගොස් කිද්‍රොන් නිම්නයට වීසි කළෝය.+ 17  ඔවුන් මෙම පවිත්‍ර කිරීමේ කාර්යය ආරම්භ කළේ පළමු මාසයේ මුල්ම දවසේදීය. ඔවුහු එම මාසයේ අටවන දවස වන විට යෙහෝවා දෙවිගේ ගෘහයේ ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාව+ පවිත්‍ර කිරීමට පටන්ගත්තෝය. යෙහෝවා දෙවිගේ ගෘහය පවිත්‍ර කිරීමට ඔවුන්ට දවස් අටක් ගත විය. මෙසේ ඔවුහු සියලුම පවිත්‍ර කිරීමේ වැඩකටයුතු පළමු මාසයේ දහසයවන දිනේදී+ නිම කළෝය. 18  ඉන්පසු හෙසකියා රජු ළඟට පැමිණි ඔවුහු මෙසේ පැවසූහ. “අපි යෙහෝවා දෙවිගේ මුළු ගෘහයත් දවන පූජා ඔප්පු කරන පූජාසනයත්+ සියලුම භාජනත්+ රොටි පිදීමට භාවිත කරන මේසයත්+ ඒ සඳහා භාවිත කරන සියලුම බඳුනුත්+ පරිශුද්ධ සේවය සඳහා පවිත්‍ර කළා. 19  ඒ විතරක් නෙවෙයි, ආහස් රජුගේ+ දුෂ්ට පාලන සමයේදී+ අහක දැමූ භාජන+ වෙනුවට අපි අලුත් ඒවා හැදුවා. අපි ඒවාත් පවිත්‍ර කළා.+ දැන් යෙහෝවා දෙවිගේ පූජාසනය ඉදිරියේ ඒවා තබා තිබෙනවා.” 20  හෙසකියා රජ+ උදෑසනම නැඟිට+ නුවරේ සිටි අධිපතීන්+ සමඟ යෙහෝවා දෙවිගේ ගෘහයට ගියේය. 21  යූදා රාජ්‍යය, ශුද්ධස්ථානය හා දේශය වෙනුවෙන් ඔවුහු පාප පූජාවක් ලෙස+ ගොනුන් හත්දෙනෙකුවද+ බැටළුවන් හත්දෙනෙකුවද බැටළු පැටවුන් හත්දෙනෙකුවද එළුවන් හත්දෙනෙකුවද ගෙනාවෝය. ඉන්පසු එම සතුන්ව යෙහෝවා දෙවිගේ පූජාසනය මත ඔප්පු කරන ලෙස හෙසකියා රජ ආරොන්ගෙන් පැවත ආ පූජකයන්ට+ පැවසුවේය. 22  මුලින්ම පූජකයෝ ගොනුන්ව මරා+ උන්ගේ ලේ+ පූජාසනය මත ඉසුවෝය.+ ඊළඟට ඔවුහු බැටළුවන්ව මරා+ උන්ගේ ලේත් පූජාසනය මත ඉසුවෝය.+ පසුව ඔවුහු බැටළු පැටවුන්ව මරා උන්ගේ ලේත් පූජාසනය මත ඉසුවෝය. 23  අවසන් වශයෙන් පාප පූජාවක් ලෙස ඔප්පු කිරීමට ගෙනා එළුවන්ව,+ රජු හා රජු සමඟ රැස්ව සිටි අය ළඟට ගෙනා පූජකයෝ එම එළුවන් පිට තම අත් තැබුවෝය.+ 24  ඉන්පසු ඔවුහු උන්ව මරා උන්ගේ ලේ රැගෙන මුළු ඊශ්‍රායෙල් සෙනඟගේ පව්වලට සමාව ලබාගන්නා පිණිස+ පාප පූජාවක් ලෙස ඔප්පු කළෝය. ඔවුන් එසේ කළේ දවන පූජාව සහ පාප පූජාව මුළු ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන්ම+ ඔප්පු කළ යුතු බව+ රජු පැවසූ නිසාය. 25  ඒ අතරතුර රජුගේ අණ පරිදි ලෙවීවරු+ යෙහෝවා දෙවිගේ ගෘහයෙහි අත්තාළම්,+ වීණා+ සහ කුඩා වීණා+ අතැතිව සිටගෙන සිටියෝය. ඔවුන් එසේ සිටියේ යෙහෝවා දෙවි දාවිත් රජු මාර්ගයෙන්ද+ අනාගතවක්තෘවරුන් වූ ගාත්+ සහ නාතන්+ මාර්ගයෙන්ද අණ කර තිබූ ආකාරයටය.+ 26  මෙසේ ලෙවීවරු දාවිත් රජුගේ කාලයේ සෑදූ සංගීත භාණ්ඩ අතැතිවද+ පූජකයෝ හොරණෑ අතැතිවද+ සිටගෙන සිටියෝය. 27  එවිට හෙසකියා රජ දවන පූජාව පූජාසනය මත තබා එය ඔප්පු කරන ලෙස අණ කළේය. දවන පූජාව ඔප්පු කිරීමට නියමිත වේලාව පැමිණි විට යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගැයීමත්+ හොරණෑ පිඹීමත් ආරම්භ විය. දාවිත් රජුගේ කාලයේ සෑදූ සංගීත භාණ්ඩ වාදනය කරන අතරතුර ඊට පසුබිම් වාදනයක් ලෙස හොරණෑ පිඹිනු ලැබීය. 28  දවන පූජාව ඔප්පු කරන අතරතුර හොරණෑ හඬ මැදින් ප්‍රශංසා ගී ගයන ලදි.+ රැස්ව සිටි සියලුදෙනා ඒ කටයුතු නිම වන තුරුම තම හිස් බිමට පහත් කරගෙන සිටියෝය.+ 29  පූජාව ඔප්පු කර අවසන් වූ විගස රජද ඔහු සමඟ සිටි අයද දණින් වැටුණෝය.+ 30  දාවිත් රජු+ සහ අනාගතවක්තෘ ආසාෆ්+ රචනා කළ ගී ගායනා කරමින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන ලෙස හෙසකියා රජ සහ ඔහුගේ අධිපතීහු+ ලෙවීවරුන්ට පැවසුවෝය. දණින් වැටී හිස පහත් කරගෙන+ සිටි ඔවුහු ඉතා ප්‍රීතියෙන්+ ප්‍රශංසා ගී ගායනා කළෝය. 31  හෙසකියා රජ ඔවුන්ට මෙසේ පැවසුවේය. “දැන් ඔබ යෙහෝවා දෙවිට සේවය කරන්න සූදානම්.+ ඒ නිසා යෙහෝවා දෙවිගේ ගෘහයට ස්තුති පූජා+ සහ වෙනත් පූජා+ රැගෙන යන්න.” එවිට රැස්ව සිටි සියලුදෙනාම ස්තුති පූජාද වෙනත් පූජාද ගෙනාවෝය. දවන පූජා+ ඉදිරිපත් කිරීමට සතුටු වූ අය ඒවා ගෙනාවෝය. 32  සෙනඟ දවන පූජා සඳහා ගවයන් සැත්තෑවක්ද බැටළුවන් සියයක්ද බැටළු පැටවුන් දෙසියයක්ද ගෙනාවෝය. මේ සියල්ල දවන පූජා ලෙස යෙහෝවා දෙවිට ඔප්පු කරන ලදි.+ 33  ශුද්ධ පූජා ලෙස ගවයන් හයසියයක්ද බැටළුවන් තුන්දහසක්ද ගෙනෙන ලදි. 34  නමුත් පූජකයන්+ සුළු පිරිසක් සිටි නිසා දවන පූජා සඳහා ගෙනා සියලුම සතුන්ව හම ගසා පූජාවට සූදානම් කිරීමට ඔවුන්ට නොහැකි විය.+ එහෙයින් ඔවුන්ගේ සහෝදරයන් වූ+ ලෙවීවරු, දවන පූජා සූදානම් කිරීමේ කාර්යය නිම වන තුරුත්+ පූජකයන් සියලුදෙනාම පවිත්‍ර වන තුරුත්+ එහි සිටි පූජකයන්ට සහය වූහ. මන්ද තමන්ව පවිත්‍ර කරගැනීම ගැන පූජකයන්ට වඩා ලෙවීවරු සැලකිලිමත් වූහ.+ එමනිසා ඔවුහු ඉක්මනින් එම කාර්යයට සහයෝගය දැක්වූවෝය. 35  එපමණක්ද නොව දවන පූජාද+ හවුල් පූජා+ සඳහා ඔප්පු කළ තෙල් කොටස්ද+ දවන පූජා සමඟ ඔප්පු කරන පාන පූජාද+ ඉතා විශාල ප්‍රමාණයක් එදින ඔප්පු කරන ලදි. මේ අයුරින් යෙහෝවා දෙවිගේ ගෘහයේ වැඩකටයුතු යළි ආරම්භ කරනු ලැබීය.+ 36  සෑම දෙයක්ම මෙතරම් ඉක්මනින් සහ සාර්ථකව ඉටු කරගැනීමට+ සැබෑ දෙවි තම සෙනඟට ආශීර්වාද කළ නිසා ඒ ගැන හෙසකියා රජද මුළු සෙනඟද ප්‍රීතියෙන් ඉපිල ගියෝය.+

පාදසටහන්