2 ලේකම් 11:1-23

11  රෙහබෝවම් රජ යෙරුසලමට පැමිණි වහාම+ ඊශ්‍රායෙල් රාජ්‍යයට විරුද්ධව සටන් කර මුළු රාජ්‍යයම නැවත තමන් යටතට ගැනීම සඳහා සැලසුම් යෙදුවේය. ඒ සඳහා ඔහු යූදා සහ බෙන්ජමින්+ යන ගෝත්‍ර දෙකෙන් යුද්ධයට දක්ෂ එක්ලක්ෂ අසූදහස්දෙනෙකුව තෝරාගත්තේය.+  එවිට සැබෑ දෙවිගේ සේවකයෙකු වූ ෂෙමායාට+ යෙහෝවා දෙවි මෙසේ පැවසීය.  “යූදාහි රජු වන සලමොන්ගේ පුත් රෙහබෝවම්ටත්+ යූදා හා බෙන්ජමින් ගෝත්‍රවලට අයත් සියලුදෙනාටත්  යෙහෝවා දෙවි වන මම පවසන මේ දේ කියන්න. ‘මේ සියල්ල සිදු වුණේ මගේ අවසරය ඇතුවයි.+ ඒ නිසා ඔබේ සහෝදරයන්ට විරුද්ධව සටන් නොකර+ ආපසු ඔබේ නිවෙස්වලට යන්න.’” ඔවුහු යෙහෝවා දෙවිගේ වචනයට කීකරු වී යෙරොබොවම්ට විරුද්ධව යුද්ධයට නොගොස්+ ආපසු තම නිවෙස්වලට ගියෝය.  යෙරුසලමෙහි දිගටම වාසය කළ රෙහබෝවම් රජ යූදා දේශයෙහි පවුරුවලින් වට වූ සුරක්ෂිත නුවරවල් ඉදි කළේය.  ඔහු එලෙස ඉදි කළ නුවරවල් නම් බෙත්ලෙහෙම,+ ඒටාම්,+ තෙකෝවා,+  බෙත්-ෂූර්,+ සෝකෝ,+ අදුල්ලාම්,+  ගාත්,+ මරේෂාහ්,+ ෂිප්,+  අදොරයිම්, ලාකිෂ්,+ අෂේකා,+ 10  ෂොරා,+ ආයාලොන්+ සහ හෙබ්‍රොන්ය.+ යූදා සහ බෙන්ජමින් යන ගෝත්‍රවලට අයිති ප්‍රදේශවල තිබූ එම නුවරවල් සියල්ල ඔහු විසින් සුරක්ෂිත නුවරවල් බවට පත් කරන ලදි. 11  ඔහු එම නුවරවල ආරක්ෂාව තර කළ අතර+ එම නුවරවල් අධීක්ෂණය කිරීමට ප්‍රධානීන්ව පත් කළේය.+ පවුරුවලින් වට වූ එම නුවරවල ඔහු ආහාර, තෙල් සහ වයින්ද ගබඩා කළේය. 12  ඔහු පලිස්ද+ හෙල්ලද+ එම නුවරවල තැබුවේය. ඒ නුවරවල ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමක තිබිණ. මෙසේ යූදා සහ බෙන්ජමින් ගෝත්‍රවලට අයත් ප්‍රදේශ ඔහු යටතේ දිගටම තිබිණ. 13  ඊශ්‍රායෙල් දේශය පුරා විසිරී සිටි පූජකයෝ සහ ලෙවීවරු රෙහබෝවම් රජු වෙතට පැමිණියෝය. 14  ලෙවී ගෝත්‍රයට අයත් සියලුදෙනා තමන්ට උරුමව තිබූ ඉඩම්+ හා තණබිම්+ අත්හැර යූදා ගෝත්‍රයට අයත් ප්‍රදේශයට හා යෙරුසලමට පැමිණියෝය.+ ඔවුන් එසේ කළේ යෙරොබොවම් රජු+ සහ ඔහුගේ පුත්‍රයන් යෙහෝවා දෙවි ඉදිරියේ පූජකයන් ලෙස සේවය කළ අයව සේවයෙන් ඉවත් කළ නිසාය.+ 15  එමෙන්ම යෙරොබොවම් රජ එළුවන්ගේ හැඩයට සමාන දෙවිවරුන්ගේ+ සහ වසු පැටවුන්ගේ රූප සාදා+ ඒවා තැබීමට පූජනීය ස්ථාන ඉදි කර එහි සේවය කිරීම සඳහා වෙනත් පූජක පන්තියක්ද පත් කළේය.+ 16  ඊශ්‍රායෙල්හි අනිකුත් ගෝත්‍රවලට අයත් පිරිසක්ද ලෙවීවරුන් සමඟ යෙරුසලමට පැමිණියෝය.+ මුළු හදවතින්ම යෙහෝවා දෙවිට ළං වී ඔහුගේ මඟ පෙන්වීම් පැතීමට අදිටන් කරගත් ඔවුහු යෙරුසලමට පැමිණ තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට පූජා ඔප්පු කළෝය.+ 17  ඔවුහු සලමොන් රජුගේ පුත් රෙහබෝවම්ගේ පාලනයට වසර තුනක් පුරා සහයෝගය දැක්වූහ. මෙසේ ඔවුන් දැක්වූ සහයෝගය නිසා යූදා රාජ්‍යයේ බලය තවත් තහවුරු විය.+ ඒ කාලය පුරාම ඔවුහු දාවිත්ව සහ සලමොන්ව ආදර්ශයට ගෙන ජීවත් වූහ.+ 18  රෙහබෝවම් රජු මහලත් නම් තැනැත්තිය සමඟ විවාහ විය. ඇගේ පියා දාවිත් රජුගේ පුත්‍රයෙකු වූ යෙරිමොත්ය. ඇගේ මව යෙස්සේගේ පුත් එලියාබ්ගේ+ දියණිය වූ අබිහයිල්ය. 19  කල් යත්ම මහලත්ට යෙවුෂ්, ෂෙමරියා සහ සාහම් යන පුත්‍රයෝ උපන්නෝය. 20  රෙහබෝවම් රජු අබ්සලොම්ගේ+ මිනිපිරිය වූ මයකා සමඟද විවාහ විය.+ ඇයට අබියා,+ අත්තයි, සීසා සහ ෂෙලොමිත් උපන්නෝය. 21  රෙහබෝවම් රජුට භාර්යාවෝ දහඅටදෙනෙක්ද උපභාර්යාවෝ හැටදෙනෙක්ද සිටි අතර ඔහුට දාව පුත්‍රයෝ විසිඅටදෙනෙක්ද දූවරු හැටදෙනෙක්ද උපන්නෝය. නමුත් තමාගේ සියලුම භාර්යාවන්+ හා උපභාර්යාවන් අතරින් ඔහු වැඩියෙන්ම ආදරේ කළේ අබ්සලොම්ගේ මිනිපිරිය වූ මයකාටය. 22  එමනිසා රෙහබෝවම් රජ මයකාගේ පුත් අබියාව රජකමට පත් කිරීමේ අරමුණින් ඔහුගේ සහෝදරයන් අතරින් ඔහුව ප්‍රධානියා ලෙස පත් කළේය. 23  ඔහු බුද්ධිමත්ව කල්පනා කර+ ඔහුගේ පුත්‍රයන්ගෙන් සමහරදෙනෙකුව යූදා හා බෙන්ජමින් ගෝත්‍රවලට අයත් ප්‍රදේශවල+ තිබූ පවුරුවලින් වට වූ සුරක්ෂිත නුවරවලට+ යැවීය. ඔහු ඔවුන්ට ආහාර විශාල ප්‍රමාණයක් සපයා දුන් අතර+ බොහෝ භාර්යාවන්ද සොයා දුන්නේය.+

පාදසටහන්