2 ලේකම් 10:1-19

10  රෙහබෝවම්ව+ රජකමට පත් කිරීම සඳහා සියලු ඊශ්‍රායෙල්වරු ෂීකෙම් නුවරෙහි+ රැස් වූහ. එහෙයින් රෙහබෝවම්ද එතැනට ගියේය.  ඒ කාලය වන විට සලමොන් රජු වෙතින් පලා ගිය නෙබාත්ගේ පුත් යෙරොබොවම්+ පදිංචිව සිටියේ ඊජිප්තුවේය.+ රෙහබෝවම් රජකමට පත් වූ බව යෙරොබොවම්ට ආරංචි වූ විට ඔහු ඊජිප්තුවේ සිට ආපසු පැමිණියේය.+  එවිට ඊශ්‍රායෙල්වරු යෙරොබොවම්වද කැඳවාගෙන ගොස් රෙහබෝවම් රජුව හමු වී ඔහුට මෙසේ පැවසුවෝය.+  “ඔබේ පියා අප පිට දරාගන්න බැරි බරක් පැටෙව්වා.+ දැන් ඔබ අපිට කරුණාවන්තව සලකමින් අපේ බර+ සැහැල්ලු කරන්න. අපට පවරා තිබෙන වැඩ කොටස අඩු කරන්න කියා අපි ඔබෙන් ඉල්ලනවා. ඔබ එසේ කළොත් අපි ඔබට සැමදා සේවය කරන්න පොරොන්දු වෙනවා.”+  ඔහු ඊට මෙසේ පිළිතුරු දුන්නේය. “මට දවස් තුනක් කල් දෙන්න. ඉන්පසු ඇවිත් මාව හමු වෙන්න.” එහෙයින් සෙනඟ එතැනින් පිටත්ව ගියෝය.  රෙහබෝවම් රජ තම පියා වූ සලමොන්ට උපදෙස් දුන් වැඩිමහල්ලන් ළඟට ගොස්, “ඔබ හිතන හැටියට මම මේ අයට මොන වගේ පිළිතුරක් දිය යුතුද”+ කියා ඇසුවේය.+  ඔවුහු රජුට මෙසේ උපදෙස් දුන්නෝය. “ඔබ මේ සෙනඟගේ ඉල්ලීම ඉටු කර ඔවුන්ව සතුටු කරනවා නම් එයින් යහපතක් සිදු වෙයි.+ ඔවුන් ඔබට සැමදා සේවය කරයි.”+  නමුත් ඒ වැඩිමහල්ලන් දුන් උපදෙස් ගැන ඔහු එතරම් තැකීමක් නොකළේය.+ ඒ වෙනුවට ඔහු කුඩා කාලයේ සිටම තමන් සමඟ එකට හැදී වැඩුණු එවකට ඔහුගේ උපදේශකයන්ව සිටි+ තරුණයන්ගෙන් අදහස් විමසුවේය.+  “‘ඔබේ පියා අප පිට පැටවූ බර සැහැල්ලු කරන්න’+ කියා මගෙන් ඉල්ලා සිටින මේ සෙනඟට මම මොන වගේ පිළිතුරක් දිය යුතුද”+ කියා ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. 10  ඔහු සමඟ එකට හැදී වැඩුණු ඒ තරුණයෝ ඔහුට මෙසේ පිළිතුරු දුන්නෝය. “‘ඔබේ පියා අපිට දරාගන්න බැරි බරක් අප පිට පැටෙව්වා. දැන් ඔබ අපට කරුණාවන්තව සලකමින් ඒ බර සැහැල්ලු කරන්න’ කියා ඔබට පැවසූ ඒ අයට මෙහෙම කියන්න.+ ‘මම මගේ පියාට වඩා තදින් ක්‍රියා කරනවා.*+ 11  මගේ පියා දරාගන්න බැරි බරක් ඔබ පිට පටවන්න ඇති. නමුත් මම ඊටත් වඩා ලොකු බරක් ඔබ පිට පටවනවා.+ මගේ පියා ඔබට පහර දුන්නේ කසයෙන්. නමුත් මම ඔබට පහර දෙන්නේ දරුණු කටු ඇමුණූ කසවලිනුයි.’”+ 12  “දවස් තුනකින් ඇවිත් මාව හමු වෙන්න” කියා රජු පැවසූ නිසා යෙරොබොවම් සෙනඟ සමඟ තුන්වන දින රෙහබෝවම් රජුව හමු වීමට පැමිණියේය.+ 13  රෙහබෝවම් රජ වැඩිමහල්ලන් දුන්+ උපදෙස් පිළි නොගෙන+ සෙනඟට සැරපරුෂ ලෙස කතා කළේය.+ 14  ඔහු තමා සමඟ හැදී වැඩුණු තරුණයන්ගේ උපදෙස්වලට අනුව+ සෙනඟට මෙසේ කීවේය. “ඔබ පිට තිබෙන දරාගන්න බැරි බරට මම තවත් ලොකු බරක් එකතු කරනවා. මගේ පියා ඔබට පහර දුන්නේ කසවලින්. නමුත් මම ඔබට පහර දෙන්නේ දරුණු කටු ඇමුණූ කසවලිනුයි.”+ 15  මෙසේ පවසමින් රජ සෙනඟගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. සැබෑ දෙවි වන යෙහෝවා එවැනි දෙයක් සිදු වීමට ඉඩහැරියේ+ ෂීලෝහි වැසියෙකු වූ+ අහියා මාර්ගයෙන්+ නෙබාත්ගේ පුත් යෙරොබොවම්ට+ තමන් කී දේ ඉටු වන පිණිසය.+ 16  රජු තම ඉල්ලීම ඉටු නොකරන බව තේරුම්ගත් ඊශ්‍රායෙල්වරු රජුට මෙසේ කීවෝය. “අපිට දාවිත්ගේ පෙළපතින් කිසිම ප්‍රයෝජනයක් නැහැ.+ යෙස්සේගේ පුත්‍රයාගෙන් කිසි උරුමයක් ලැබෙයි කියා අපට බලාපොරොත්තු වෙන්නත් බැහැ.+ ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබ එක් එක් කෙනා ඔබේ දෙවිවරුන් වෙතට ගොස් ඔවුන්ට නමස්කාර කරන්න.+ දාවිත්ගේ පෙළපත දාවිත්ම බලාගත්තාවේ.”+ එසේ පවසමින් සෙනඟ ඔවුන්ගේ නිවෙස් බලා ගියෝය. 17  එහෙත් රෙහබෝවම් රජ යූදා දේශයට අයත් නුවරවල විසූ ඊශ්‍රායෙල්වරුන්ව දිගටම පාලනය කළේය.+ 18  සේවයට බඳවාගත් කම්කරුවන්ගේ වැඩකටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත් කර තිබූ හදොරාම්ව,+ රෙහබෝවම් රජ වැඩ බැලීමට යැවීය. එවිට ඊශ්‍රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහුව මරා දැමුවෝය.+ ඊට භය වූ රෙහබෝවම් රජ අශ්ව රථයක නැඟී යෙරුසලමට පලා ගොස් තම දිවි ගලවාගත්තේය.+ 19  අද දක්වාම ඊශ්‍රායෙල්වරු දාවිත්ගේ පෙළපතට විරුද්ධව ක්‍රියා කරති.+

පාදසටහන්

1රාජා 12:10හි පාදසටහන බලන්න.