2 රාජාවලිය 20:1-21

20  ඒ කාලයේදී හෙසකියා රජ අසනීප වී මරණාසන්නව සිටියේය.+ දවසක් අනාගතවක්තෘ වූ ආමොෂ්ගේ පුත් යෙසායා+ ඔහු වෙතට පැමිණ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබට මෙසේ පැවසුවා. ‘ඔබ සුවය ලබන්නේ නැත. ඔබ මිය යන්නෙහිය.+ ඒ නිසා දැන් ඔබේ ගෙයි වැසියන්ව කැඳවා පවුලේ කාරණා සැලසුම් කරන්න.’”+  එවිට හෙසකියා රජ බිත්තිය දෙසට හැරී+ යෙහෝවා දෙවිට යාච්ඤා කරමින්+ මෙසේ කීවේය.  “යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව,+ මුළු හදවතින්ම+ ඔබට සේවය කළ හැටිත්+ ඔබ යහපත්යයි සලකන දේ කළ හැටිත්+ සිහි කරන මෙන් බැගෑපත්ව ඔබෙන් අයැදිමි.”+ එසේ කියමින් හෙසකියා රජ බොහෝ සෙයින් හැඬුවේය.+  යෙසායා එතැනින් පිටත්ව මැද මළුවට යන්නත් කලින් යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසුවේය.+  “නැවත ගොස්, මාගේ සෙනඟගේ නායකයා+ වන හෙසකියාට මෙසේ කියන්න. ‘ඔබේ මුතුන්මිත්තා වූ දාවිත්ගේ දෙවි වන යෙහෝවා+ ඔබට මෙසේ පැවසුවා. “මම ඔබ හෙළූ කඳුළු දුටුවෙමි.+ ඔබේ යාච්ඤාවටද+ මම සවන් දුන්නෙමි.+ ඒ නිසා දැන් ඔබව සුව කරන්නෙමි.+ දවස් තුනකින් ඔබට යෙහෝවා දෙවිගේ ගෘහයට යන්න පුළුවන් වෙයි.+  මම ඔබට තව අවුරුදු පහළවක් ජීවත් වීමට ඉඩහරින්නෙමි. ඇසිරියාවේ රජුගේ අතින් ඔබවත් මේ නගරයත් ගලවාගෙන,+ මාගේ නාමය නිසාත් මාගේ සේවක දාවිත් වෙනුවෙනුත් මේ නගරය ආරක්ෂා කරන්නෙමි.”’”+  එවිට යෙසායා සේවකයන්ට මෙසේ කීවේය. “වේළාගත් අත්තික්කා කුට්ටියක්* ගෙනෙන්න.”+ ඔවුහු එය ගෙනැවිත් හෙසකියාගේ තුවාලය මත තැබුවෝය.+ ඉන්පසු හෙසකියාගේ රෝගී තත්වය ටිකෙන් ටික සුව විය.+  හෙසකියා යෙසායාගෙන් මෙසේ ඇසුවේය. “යෙහෝවා දෙවි මාව සුව කර දවස් තුනකින් මට යෙහෝවා දෙවිගේ ගෘහයට නැවත යන්න ලැබෙන බවට දෙන ලකුණ කුමක්ද?”+  එවිට යෙසායා මෙසේ කීවේය. “යෙහෝවා දෙවි තමන් කී දේ ඉටු කරන බව සහතික කිරීමට ඔබට ලකුණක් දෙයි.+ යෙහෝවා දෙවි දිය යුතු ලකුණ කුමක්ද කියා ඔබම කියන්න. ඔබ කැමති, ලකුණක් හැටියට පඩි පෙළට වැටෙන සෙවණැල්ල පඩි දහයක් ඉදිරියට යනවාටද නැත්නම් පඩි දහයක් ආපස්සට යනවාටද?” 10  එවිට හෙසකියා රජ මෙසේ කීවේය. “සෙවණැල්ල පඩි දහයක් ඉදිරියට යෑම සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. නමුත් සෙවණැල්ල පඩි දහයක් ආපස්සට යෑම අසාමාන්‍ය දෙයක්.+ එය මට හොඳ ලකුණක් වේවි.” 11  ඉන්පසු අනාගතවක්තෘ යෙසායා යෙහෝවා දෙවිට යාච්ඤා කළේය. එවිට දෙවි, ආහස්ගේ පඩි පෙළ ලෙස හඳුන්වන පඩි පෙළ දිගේ වැටුණු සෙවණැල්ල පඩි දහයක් ආපස්සට යෑමට සැලැස්වූවේය.+ 12  හෙසකියා රජ අසනීපව සිටි බව බැබිලෝනියේ+ රජු වූ බලදාන්ගේ පුත් බෙරොදක්-බලදාන්ට+ ආරංචි වී ඔහු හෙසකියා රජුට ලිපි ලියා+ ඒ සමඟ තෑග්ගක්ද එව්වේය. 13  හෙසකියා රජ එම පණිවිඩකරුවන් කී දේට සවන් දුන්නේය. ඉන්පසු ඔහු තම වස්තු ගබඩාවේ තිබුණු සියල්ල ඔවුන්ට පෙන්වූවේය.+ ඔහු එහි තිබූ රන් හා රිදීද+ බෝල්සම් තෙල්ද+ අනර්ඝ තෙල්ද ඔහුගේ යුධායුධ ගබඩාවද ඔහුගේ අනිකුත් වස්තු සියල්ලද ඔවුන්ට පෙන්වූවේය. හෙසකියා තම මාලිගාවෙත් මුළු රාජධානියෙත් තිබූ සෑම දෙයක්ම ඔවුන්ට පෙන්වූවේය.+ 14  ඉන්පසු අනාගතවක්තෘ යෙසායා හෙසකියා රජු හමු වීමට පැමිණ,+ “රජතුමනි, අර මිනිස්සු ආවේ කොහෙන්ද? ඔවුන් මොනවද කිව්වේ”+ කියා ඇසුවේය. හෙසකියා රජ මෙසේ කීවේය. “ඔවුන් ආවේ දුර ඈත පිහිටි බැබිලෝනියේ සිටයි.” 15  එවිට යෙසායා, “ඔවුන් ඔබේ මාලිගාවේ මොනවද බැලුවේ” කියා ඇසුවේය. හෙසකියා රජ මෙසේ කීවේය. “මගේ මාලිගාවේ තිබෙන හැම දෙයක්ම ඔවුන් බැලුවා. ඒ වගේම මගේ ගබඩාවේ තිබෙන හැම වස්තුවක්ම මම ඔවුන්ට පෙන්නුවා.”+ 16  එවිට යෙසායා හෙසකියා රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි කියන මේ දේට ඇහුම්කන් දෙන්න.+ 17  ‘“බලන්න! ඔබේ මාලිගාවේ තිබෙන සියල්ලත්+ මේ දක්වා ඔබේ මුතුන්මිත්තන් රැස් කර තිබෙන සියල්ලත් බැබිලෝනියට ගෙන යන දවස් පැමිණෙන්නේය.+ මෙහි කිසිවක් ඉතුරු නොවන්නේය”+ කියා යෙහෝවා දෙවි පැවසුවා. 18  “ඔබේම පුත්‍රයන්ගෙන් සමහරෙකුව ඔවුහු ගෙන යන්නෝය.+ ඔවුහු බැබිලෝනියේ රජුගේ මාලිගාවේ+ නිලධාරීන් ලෙස සේවය කරනු ඇත.”’”+ 19  එය අසා හෙසකියා රජ යෙසායාට මෙසේ කීවේය. “ඔබ මාර්ගයෙන් යෙහෝවා දෙවි කී දේ මම සතුටින් භාරගන්නවා.+ මා ජීවත්ව සිටින තාක් කල් සමාදානයෙන් හා සුරක්ෂිතභාවයෙන්*+ ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒ ඇති.”+ 20  හෙසකියා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහුගේ බලවත් ක්‍රියාද ඔහු සෑදූ පොකුණ+ හා අගල+ ගැනද නුවරට වතුර ගෙනා ආකාරය ගැනද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 21  කල් යත්ම හෙසකියා රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ පසුව ඔහුගේ පුත් මනස්සේ+ රජකමට පත් විය.

පාදසටහන්

1සාමු 25:18හි පාදසටහන බලන්න.
මූ.අ., “සත්‍යයෙන්.”