2 රාජාවලිය 15:1-38

15  ඊශ්‍රායෙල්හි රජු වූ යෙරොබොවම්ගේ පාලන සමයේ විසිහත්වන අවුරුද්දේදී යූදාහි රජු වූ අමෂියාගේ+ පුත් අෂරියා*+ රජකමට පත් විය.  අෂරියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු දහසයකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු පනස්දෙකක් පාලනය කළේය.+ ඔහුගේ මව යෙරුසලමෙහි ජීවත් වූ යෙකොලියාය.  ඔහුගේ පියා වූ අමෂියා මෙන් ඔහුද යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ දිගටම කළේය.+  නමුත් ඔහු ඒ දේශයේ බොරු නමස්කාරය සඳහා වෙන් කර තිබූ පූජනීය ස්ථාන ඉවත් කිරීමට අපොහොසත් විය.+ එබැවින් ජනයාද ඒ පූජනීය ස්ථාන මත සුවඳ දුම් හා පූජා දිගටම ඔප්පු කළෝය.+  පසුව යෙහෝවා දෙවි, අෂරියා රජුට ලාදුරු රෝගයෙන් පහර දුන්නේය.+ ඔහු මිය යන තෙක්ම ලාදුරු රෝගියෙකුව සිටියේය.+ ඔහු වෙනම නිවසක ජීවත් වූ අතර ඔහුට පැවරී තිබුණු සියලුම වගකීම්වලින් ඔහුව නිදහස් කර තිබිණ.+ ඒ අතරතුර රජමාලිගාවේ සියලු වැඩකටයුතු බලා කියා ගනිමින් දේශය පාලනය කළේ+ ඔහුගේ පුත් යෝතම්ය.+  අෂරියා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් සහ ඔහු කළ දේවල් ගැන යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+  කාලයක් ගත වූ පසු අෂරියා රජ මිය ගියේය.+ ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද දාවිත්ගේ නුවරෙහි තැන්පත් කරන ලදි. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් යෝතම් රජකමට පත් විය.+  යූදාහි රජු වූ අෂරියාගේ පාලන සමයේ තිස්අටවන අවුරුද්දේදී+ යෙරොබොවම්ගේ පුත් සෙකරියා+ ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු සමාරියේ සිට මාස හයක් පාලනය කළේය.  නමුත් ඔහු තම මුතුන්මිත්තන් මෙන් යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවලින් ඔහු වැළකී සිටියේ නැත.+ 10  පසුව යාබෙෂ්ගේ පුත් ෂල්ලුම් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර,+ ඉබ්ලෙයාම් නගරයේදී+ ඔහුව මරා+ රජකම තම අතට ගත්තේය. 11  සෙකරියාගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැන ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 12  “ඔබෙන් පැවතෙන්නන්+ පරම්පරා හතරක් ඊශ්‍රායෙල්හි රජකම් කරනු ඇත” කියා+ යෙහෝවා දෙවි යේහුට දුන් පොරොන්දුව+ එලෙසම ඉටු විය.+ 13  යූදාහි රජු වූ උසියාගේ+ පාලන සමයේ තිස්නවවන අවුරුද්දේදී යාබෙෂ්ගේ පුත් ෂල්ලුම් රජකමට පත් විය. ඔහු සමාරියේ සිට මාසයක්* පාලනය කළේය.+ 14  ඉන්පසු ගාදීගේ පුත් මෙනහෙම්,+ තිර්ෂා නගරයේ+ සිට සමාරියට පැමිණ යාබෙෂ්ගේ පුත් ෂල්ලුම්ව මරා+ රජකම තම අතට ගත්තේය. 15  ෂල්ලුම්ගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ කුමන්ත්‍රණය ගැනද+ ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ. 16  පසුව මෙනහෙම්, තිර්ෂා නගරයෙන් පිටත්ව තිප්සා නගරයට පහර දීමට ගියේය. එහි වැසියන් නගරයේ දොරටු විවෘත නොකළ නිසා ඔහු ඒ නගරය සම්පූර්ණයෙන්ම විනාශ කර, එහි ගැබිනි ස්ත්‍රීන් සියලුදෙනාවම කඩුවෙන් කපා දැමුවේය.+ 17  යූදාහි රජු වූ අෂරියාගේ පාලන සමයේ තිස්නවවන අවුරුද්දේදී+ ගාදීගේ පුත් මෙනහෙම් ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු සමාරියේ සිට අවුරුදු දහයක් පාලනය කළේය. 18  නමුත් ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවලින් ඔහු වැළකී සිටියේ නැත.+ ඔහු තම ජීවිත කාලය පුරාම එම පාපවල නියැලුණේය. 19  ඒ කාලයේ ඇසිරියාවේ රජු වූ+ පූල්+ විසින් දේශය ආක්‍රමණය කරනු ලැබීය. එවිට මෙනහෙම් රජ, තම රාජ්‍ය බලය තහවුරු කරගැනීම සඳහාත් පූල්ගෙන් උපකාර ලබාගැනීම සඳහාත්+ ඔහුට රිදී තලෙන්ත දහසක්+ දුන්නේය.+ 20  මෙනහෙම් රජ එම රිදී සියල්ල ඊශ්‍රායෙල්හි සිටි ධනවතුන්ගෙන්+ එකතු කරගත්තේය. ඔහු එක් අයෙකුගෙන් රිදී ෂෙකෙල් පනහ බැගින් ලබාගෙන ඇසිරියාවේ රජුට දුන්නේය. එය ලබාගත් පසු ඇසිරියාවේ රජ ඊශ්‍රායෙල්වරුන්ට පහර නොදී ආපසු හැරී ගියේය. 21  මෙනහෙම්+ රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැනත් ඔහු කළ සියල්ල ගැනත් ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 22  අවසානයේදී මෙනහෙම් රජු මිය ගිය අතර ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් පෙකහියා+ රජකමට පත් විය. 23  යූදාහි රජු වූ අෂරියාගේ පාලන සමයේ පනස්වන අවුරුද්දේදී මෙනහෙම්ගේ පුත් පෙකහියා ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු සමාරියේ සිට අවුරුදු දෙකක් පාලනය කළේය.+ 24  ඔහුත් යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවලින් ඔහු වැළකී සිටියේ නැත.+ 25  පසුව ඔහුගේ සහයට සිටි නිලධාරියා+ වන රෙමලියාගේ පුත් පේකා+ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කළේය.+ පේකා, ගිලියද් දේශයේ වැසියන් පනස්දෙනෙකුගේ උපකාරය ඇතුව සමාරියේ පිහිටි රජමාලිගාවේ බලකොටුවේදීම+ රජුටත් අර්ගොබ්ටත් අරියාටත් පහර දී ඔවුන්ව මරා රජකම තම අතට ගත්තේය. 26  පෙකහියා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 27  රෙමලියාගේ පුත්+ පේකා+ ඊශ්‍රායෙල්හි රජකමට පත් වූයේ යූදාහි රජු වූ අෂරියාගේ පාලන සමයේ පනස්දෙවන අවුරුද්දේදීය. ඔහු සමාරියේ සිට අවුරුදු විස්සක් පාලනය කළේය. 28  ඔහුද යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවලින් ඔහු වැළකී සිටියේ නැත.+ 29  ඊශ්‍රායෙල්හි රජු වූ පේකාගේ කාලයේදී ඇසිරියාවේ රජු වූ+ තිග්ලත්-පිලෙසෙර්,+ දේශයට පැමිණ ඊයොන්,+ ආබෙල්-බෙත්-මයකා,+ යනෝවා, කෙදෙෂ්+ සහ හාෂොර්+ අල්ලාගත්තේය. ඔහු ගිලියද් දේශයද+ ගලීලයද+ මුළු නෆ්තලී දේශයද+ අල්ලාගෙන, එහි වැසියන්ව ඇසිරියාවට ගෙන ගියේය.+ 30  පසුව ඒලාහ්ගේ පුත් හෝෂෙයා,+ රෙමලියාගේ පුත් පේකාට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කර,+ ඔහුව මරා+ රජකම තම අතට ගත්තේය. මෙය සිදු වූයේ උසියාගේ පුත් යෝතම්ගේ පාලන සමයේ විසිවන අවුරුද්දේදීය.+ 31  පේකාගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 32  ඊශ්‍රායෙල්හි රජු වූ රෙමලියාගේ පුත් පේකාගේ පාලන සමයේ දෙවන අවුරුද්දේදී යූදාහි රජු වූ උසියාගේ පුත්+ යෝතම්+ රජකමට පත් විය. 33  යෝතම් රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු දහසයක් පාලනය කළේය. ඔහුගේ මව සාදොක්ගේ දියණිය වූ යෙරුෂාය.+ 34  ඔහු තම පියා වූ උසියා මෙන්+ යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ දිගටම කළේය.+ 35  නමුත් දේශයේ බොරු නමස්කාරය සඳහා තිබූ පූජනීය ස්ථාන ඉවත් කිරීමට ඔහු අපොහොසත් විය. එබැවින් ජනයාද ඒ පූජනීය ස්ථාන මත සුවඳ දුම් හා පූජා දිගටම ඔප්පු කළෝය.+ යෙහෝවා දෙවිගේ ගෘහයේ ඉහළ දොරටුව ගොඩනැඟුවේ ඔහුය.+ 36  යෝතම්ගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 37  ඒ කාලයේදී යෙහෝවා දෙවි යූදා දේශයට විරුද්ධව යුද්ධ කිරීමට සිරියාවේ රජු වූ රෙෂින්ට+ සහ රෙමලියාගේ පුත් පේකාට+ ඉඩ දුන්නේය.+ 38  අවසානයේදී යෝතම් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද දාවිත්ගේ නුවරෙහි තැන්පත් කරන ලදි.+ ඔහුගෙන් පසුව ඔහුගේ පුත් ආහස්+ රජකමට පත් විය.

පාදසටහන්

2රාජා 14:21හි පාදසටහන බලන්න.
මුල් භාෂාවේ භාවිත කර ඇති වචනය නව සඳ පෙනීමත් සමඟ ආරම්භ වන මාසයට යොමු දැක්වේ.