1 සාමුවෙල් 27:1-12

27  දාවිත් මෙසේ සිතුවේය. “කොයි වෙලාවේ හරි මම සාවුල් රජුගේ අතට අහු වෙයි. ඔහුගේ අතින් ගැලවෙන්න නම් පිලිස්තිවරුන්ගේ+ දේශයට පලා යනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.+ ඊශ්‍රායෙල් දේශයෙන් මම පලා ගිහින් කියලා ඔහු දැනගත්තාම මාව හොයන එක ඔහු අත්හරියි.”+  පසුව දාවිත් සහ ඔහු සමඟ සිටි මිනිසුන් හයසියදෙනා+ ගාත්හි රජු වන ආකිෂ්+ වෙත ගියෝය. ආකිෂ් මායොක්ගේ පුත්‍රයාය.  දාවිත් ගාත්හි ආකිෂ් සමඟ දිගටම වාසය කළේය. ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන යෙෂ්‍රෙයෙල්හි අහිනොවම්+ හා කර්මෙල්හි නාබල්ගේ භාර්යාව වූ අබිගායිල්ද+ ඔහු සමඟ සිටියෝය. දාවිත් සමඟ සිටි පුරුෂයෝද ඔවුනොවුන්ගේ පවුල් සමඟ එහි සිටියෝය.+  කල් යත්ම දාවිත් ගාත් වෙත පලා ගිය බව සාවුල් රජුට ආරංචි විය. එබැවින් ඔහු දාවිත් පසුපස හඹා යෑම අත්හැරියේය.+  පසුව දාවිත් ආකිෂ් රජුට මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, මම ඔබ සමඟ මේ රාජකීය නුවරේ ජීවත් වෙන එක සුදුසු නැහැ. ඔබේ කරුණාව ලබන්න තරම් මම වටිනවා නම් මට ගම්බද පළාතක ජීවත් වෙන්න අවසර දෙන්න.”  එදින ආකිෂ් රජ, දාවිත්ට ෂික්ලග්+ නුවරෙහි ජීවත් වීමට අවසර දුන්නේය. ෂික්ලග් නුවර මේ දක්වාම යූදාහි රජවරුන්ට උරුම නුවරක් ලෙස වෙන් කර තිබෙන්නේ ඒ නිසාය.  දාවිත් පිලිස්තිවරුන්ගේ ගම්බද පළාතේ අවුරුද්දකුත් මාස හතරක් ජීවත් විය.+  දාවිත් හා ඔහු සමඟ සිටි පුරුෂයෝ ගෙෂූර්වරුන්ටද+ ගිර්ෂිවරුන්ටද අමලෙක්වරුන්ටද+ විරුද්ධව සටනට ගියෝය. ඒ ජාතීහු තේලාම්+ සිට ෂුර්+ දක්වාත් ඊජිප්තුව දක්වාත් ජීවත් වූහ.  දාවිත් ඒ ජාතීන්ට පහර දී සියලු පුරුෂයන්වද ස්ත්‍රීන්වද මරා දැමුවේය.+ ඔහු ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්ද එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද ඔටුවන්ද බූරුවන්ද පැහැරගත්තේය. පසුව ඔහු ආකිෂ් රජු වෙත හැරී ගියේය. 10  එවිට ආකිෂ් රජ, “ඔබ අද මේ දේවල් පැහැරගත්තේ කාගෙන්ද” කියා දාවිත්ගෙන් ඇසුවේය. දාවිත්ද, “මේ දේවල් ගත්තේ, යූදාහි දකුණු පැත්තේ+ ජීවත් වන වැසියන්ගෙන් හා යෙරාමෙයෙල්වරුන්ගේ දේශයට දකුණින්+ ජීවත් වන වැසියන්ගෙන් හා කේනිවරුන්ගේ දේශයට දකුණින්+ ජීවත් වන වැසියන්ගෙන්” කියා රජුට පැවසීය.+ 11  දාවිත් තමා පහර දුන් දේශයන්හි සිටි කිසි පුරුෂයෙකුවත් ස්ත්‍රියකවත් ගාත් වෙත ගෙන ආවේ නැත. “ඔවුන්ව අපි ගාත් වෙත ගෙන ආවොත්, ‘මෙන්න මෙහෙම තමයි දාවිත් අපිට කළේ’ කියමින් ඔවුන් අපිව පාවා දෙයි” කියා ඔහු සිතුවේය. එබැවින් ඔහු ඔවුන් එක් කෙනෙකුවත් ඉතුරු නොකර විනාශ කළේය.+ (දාවිත් පිලිස්තිවරුන්ගේ ගම්බද පළාතේ ජීවත් වූ සියලු දවස්වලදී එසේ කළේය.) 12  ආකිෂ් රජද දාවිත්ව විශ්වාස කළේය.+ ඔහු මෙසේ සිතුවේය. “දාවිත්ගේ සෙනඟ ඔහුට වෛර කරන නිසා+ ඔහු හැමදාටම මගේ සේවකයෙක් ලෙස ජීවත් වෙයි.”

පාදසටහන්