1 ලේකම් 23:1-32

23  තෘප්තිමත් ජීවිතයක් ගත කළ දාවිත් රජ මහලු වියට පත් වූ පසු+ තම පුත් සලමොන්ව+ ඊශ්‍රායෙල්හි රජු ලෙස පත් කළේය.  පසුව ඔහු ඊශ්‍රායෙල්හි සියලු අධිපතීන්ද+ පූජකයන්ද+ ලෙවීවරුන්ද+ රැස් කෙරෙව්වේය.  එම අවස්ථාවේදී සියලුම ලෙවීවරුන්ව ගණනය කරන ලදි. වයස අවුරුදු තිහක් සහ ඊට වැඩි ලෙවීවරුන්ගේ සංඛ්‍යාව තිස්අටදහසකි.+ ඔවුහු සියලුදෙනාම ශක්තිමත් පුරුෂයෝය.  ඔවුන් අතරින් යෙහෝවා දෙවිගේ ගෘහයේ වැඩකටයුතු අධීක්ෂණය කළ අයගේ සංඛ්‍යාව විසිහතරදහසකි. නිලධාරීන්+ සහ විනිසුරුවන්ගේ+ සංඛ්‍යාව හයදහසකි.  දොරටු පාලකයන්ගේ+ සංඛ්‍යාව හාරදහසකි. සංගීත භාණ්ඩ+ වාදනය කරමින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කළ අයගේ+ සංඛ්‍යාව හාරදහසකි. දාවිත් රජ පැවසුවේ දෙවිට ප්‍රශංසා කිරීම සඳහා ඒ සංගීත භාණ්ඩ තැනූ බවයි.  දාවිත් රජ ඔවුන් සියලුදෙනාවම ලෙවීගේ පුත්‍රයන්+ තිදෙනාගේ නම්වලින් හැඳින්වූ පෙළපත්වලට අනුව කණ්ඩායම් තුනකට බෙදුවේය.+ ඒ පෙළපත් නම් ගේර්ෂොන්, කෝහාත් සහ මෙරාරීය.  ගේර්ෂොන් නම් කණ්ඩායමේ ලාදාන් සහ ෂිමෙයිද සිටියෝය.  ලාදාන්ගේ පුත්‍රයන් තිදෙනා නම් යෙහීයෙල්,+ ෂේතාම් සහ යෝවෙල්ය.+ යෙහීයෙල් ප්‍රධානියෙකි.  ෂෙලොමොත්, හසීයෙල් සහ හාරාන් නම් පුත්‍රයෝ තිදෙනෙක් ෂිමෙයිට සිටියෝය. ඔවුහු ලාදාන්ගේ පෙළපතේ ප්‍රධානීන්ය. 10  ෂිමෙයිගේ පුත්‍රයන් හතරදෙනා නම් යාහත්, ෂීනා,* යෙවුෂ් සහ බෙරීයාය. 11  ඔවුන් අතරේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ යාහත්ය. දෙවෙනියා සීසාහ්ය. යෙවුෂ් සහ බෙරීයාට පුත්‍රයන් බොහෝදෙනෙකු නොසිටි නිසා ඔවුන් දෙදෙනාවම එක පෙළපතක් ලෙස ගණන් ගන්නා ලදි.+ ඔවුන්ට ඉටු කිරීමට තිබුණේද එකම පැවරුමකි. 12  කෝහාත්ගේ පුත්‍රයන්+ හතරදෙනා නම් අම්රාම්, ඉෂ්හාර්,+ හෙබ්‍රොන්+ සහ උස්සියෙල්ය.+ 13  අම්රාම්ගේ පුත්‍රයන් නම් ආරොන්+ සහ මෝසෙස්ය.+ ආරොන්ව විශේෂයෙන්ම තෝරාගත්තේ+ අතිශුද්ධස්ථානයේ+ පරිශුද්ධ සේවයක් පිරිනැමීම සඳහාය. මෙය ඔහුට සහ ඔහුගේ පුත්‍රයන්ට සදහටම පැවරුණු වගකීමකි. ඔවුන්ගේ වගකීමට අයත් වූයේ යෙහෝවා දෙවිට පූජා ඔප්පු කිරීමත්+ දෙවි ඉදිරියේ විවිධ සේවාවන් ඉටු කිරීමත්+ දෙවිගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කිරීමත්ය.+ 14  සැබෑ දෙවිගේ+ සේවකයෙක් වූ මෝසෙස්ගේ පුත්‍රයන්ව ලෙවීවරුන්ගේ ගෝත්‍රයට අයත් අය ලෙස ගණන් ගන්නා ලදි.+ 15  මෝසෙස්ගේ පුත්‍රයන් නම් ගේර්ෂොම්+ සහ එලියේසර්ය.+ 16  ගේර්ෂොම්ට පුත්‍රයෝ සිටියෝය. ඔහුගෙන් පැවත ආ පෙළපතේ ප්‍රධානියා වූයේ ඔහුගේ පුත් ෂෙබුයෙල්ය.+ 17  එලියේසර්ට සිටියේ එක පුත්‍රයෙකි. ඔහුගේ නම රෙහෙබියාය.+ ඔහු එලියේසර්ගෙන් පැවත ආ පෙළපතේ ප්‍රධානියාය. රෙහෙබියාට පුත්‍රයෝ බොහෝදෙනෙක් සිටියෝය. 18  ඉෂ්හාර්ට+ සිටි පුත්‍රයන් අතුරින් පෙළපතේ ප්‍රධානියා වූයේ ෂෙලොමිත්ය.+ 19  හෙබ්‍රොන්ගේ කුලුඳුල් පුත්‍රයා යෙරියාය. පෙළපතේ ප්‍රධානියා ඔහුය. දෙවෙනි පුත්‍රයා අමරියාය. තුන්වෙනියා යහෂියෙල්ය. හතරවෙනියා යෙකමෙයාම්ය.+ 20  උස්සියෙල්ගේ+ කුලුඳුල් පුත්‍රයා මීකාය. පෙළපතේ ප්‍රධානියා ඔහුය. දෙවන පුත්‍රයා ඉෂ්ෂියාය. 21  මෙරාරීගේ පුත්‍රයන්+ නම් මාලී සහ මූෂීය.+ මාලීට එලියාසර්+ සහ කිෂ් යන නම්වලින් පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. 22  එලියාසර් මිය ගියේය. නමුත් ඔහුට පුත්‍රයෝ සිටියේ නැත. ඔහුට සිටියේ දූවරුන් පමණි. කිෂ්ගේ පුත්‍රයෝ ඔවුන්ව විවාහ කරගත්තෝය.+ 23  මූෂීට සිටි පුත්‍රයන් තිදෙනා නම් මාලී, ඒදෙර් සහ යෙරෙමොත්ය.+ 24  ලෙවීවරුන්ගේ පෙළපත්වල ප්‍රධානියෝ ඔවුහුය.+ ඔවුන්ගෙන් පැවත ආ අවුරුදු විස්සක් හෝ ඊට වඩා වයසින් වැඩි අයව+ නම් වශයෙන් ලැයිස්තුගත කර ඔවුන්ට යෙහෝවා දෙවිගේ ගෘහයේ විශේෂ වගකීම් භාර දී තිබිණ.+ 25  එසේ කළේ දාවිත් රජු මෙසේ පවසා තිබූ නිසාය. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා තම සෙනඟට සාමකාමී කාලයක් උදා කර දී තිබෙනවා.+ දෙවි යෙරුසලමෙහි සදහටම වාසය කරනවා.+ 26  එමනිසා මින්පසු ශුද්ධ කූඩාරමත් එහි සේවය සඳහා භාවිත කරන උපකරණත් තැනින් තැනට ගෙන යන්න ලෙවීවරුන්ට අවශ්‍ය වෙන්නේ නැහැ.”+ 27  දාවිත් රජු අවසන් වරට දුන් උපදෙස්වලට අනුව+ අවුරුදු විස්සක් හෝ ඊට වැඩි වයසකින් යුත් ලෙවීවරුන්ව ගණනය කරන ලදි. 28  යෙහෝවා දෙවිගේ ගෘහයේ සේවය කළ ආරොන්ගේ පුත්‍රයන්ට+ උපකාර කිරීම ඔවුන්ගේ වගකීම විය. මළුවල+ හා භෝජන ශාලාවල+ විවිධ කාර්යයන් කිරීමද සෑම ශුද්ධ දෙයක්ම පවිත්‍රව තබාගැනීමද+ දෙවිගේ ගෘහයේ වෙනත් සේවාවන් ඉටු කිරීමද ඔවුන්ගේ කාර්යයට අයත් විය. 29  පිදීමේ රොටි,+ ධාන්‍ය පූජා සඳහා භාවිත කළ සිහින් පිටි,+ මුහුන් නොදැමූ+ සිහින් රොටි,+ තැටියේ පිලිස්සූ+ රොටි, තෙල් දමා ඇනූ පිටි+ සහ විවිධාකාර මිනුම් උපකරණ+ බලාගැනීමේ වගකීම තිබුණේද ඔවුන්ටය. 30  එමෙන්ම උදේ සවස+ ඔවුහු යෙහෝවා දෙවිට ස්තුති+ ප්‍රශංසාද+ කළෝය. 31  සබත් දවස්වලදීත්+ නව සඳ+ පායන දවස්වලදීත් උත්සව පවත්වන කාලවලදීත්+ යෙහෝවා දෙවිට දවන පූජා ඔප්පු කළ විට ඔවුහු ඊට සහය වූහ. මෙසේ ඔවුහු යෙහෝවා දෙවි ඉදිරියේ නිරතුරුවම සේවය කළෝය. ඒ ඒ කාර්යයන් සඳහා ලෙවීවරුන් නියමිත සංඛ්‍යාවක් යොදවා තිබූ අතර ඔවුහු ඔවුන්ට ලබා දී තිබූ මඟ පෙන්වීම්වලට අනුව සියලුම සේවාවන් ඉටු කළෝය. 32  ඔවුහු සම්මුඛ වීමේ කූඩාරම හා ශුද්ධස්ථානය+ රැකබලා ගත් අතර+ යෙහෝවා දෙවිගේ ගෘහයේ සේවය කළ තම සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන්ට කිසි බාධාවකින් තොරව ඔවුන්ගේ සේවාවන් ඉටු කිරීමට සහය වූහ.+

පාදසටහන්

11වන පදයෙහි, “සීසාහ්” ලෙස සඳහන් වේ.