1 ලේකම් 13:1-14

13  දාවිත් රජ දහසකින් යුත් කණ්ඩායම් කෙරෙහි පත් කර තිබූ ප්‍රධානීන්ගෙනුත් සියයකින් යුත් කණ්ඩායම් කෙරෙහි පත් කර තිබූ ප්‍රධානීන්ගෙනුත් සියලුම අධිපතීන්ගෙනුත් අදහස් විමසා,+  රැස්ව සිටි ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ පැවසීය. “මා මේ පවසන දේට ඔබ එකඟ නම් අපේ දෙවි යෙහෝවාගේ අනුමැතියත් මෙයට තිබෙනවා නම් ඊශ්‍රායෙල් දේශය පුරා පදිංචිව සිටින+ අපගේ සෙසු සහෝදරයන්වත් ඔවුන්ගේ ගම්බිම්වල+ ජීවත් වන පූජකයන්වත්+ ලෙවීවරුන්වත්+ කැඳවා,  අපගේ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ මේ නුවරට රැගෙන එමු.” ඔහු එසේ පැවසුවේ සාවුල් රජුගේ කාලයේ සිටි අය ඊට නිසි ගෞරවයක් දක්වා නොතිබුණු නිසාය.+  රැස්ව සිටි සියලුදෙනාම දාවිත් රජුගේ අදහසට එකඟ වූහ.+  සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කිර්යත්-යෙයාරීම්+ යන ස්ථානයේ සිට රැගෙන ඒමේ+ අවස්ථාවට සහභාගි වීම සඳහා දාවිත් රජ ඊජිප්තු ගඟ+ අසල සිට හමාත් නුවරට+ ඇතුල් වන ස්ථානය දක්වා විසූ සියලුම ඊශ්‍රායෙල්වරුන්ව එක් රැස් කළේය.+  කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ සැබෑ දෙවි වන යෙහෝවාගේ නාමය දරන දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඒ වන විට තිබුණේ යූදා ගෝත්‍රයට අයිති ප්‍රදේශයක් වූ බායලා නම් නුවරෙහිය.+ එම නුවර කිර්යත්-යෙයාරීම් ලෙසද හඳුන්වන ලදි. දාවිත් රජ හා මුළු ඊශ්‍රායෙල් ජනතාව එය රැගෙන ඒම සඳහා එම නුවරට ගියෝය.  ඔවුන් සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අබිනාදාබ්ගේ නිවසේ සිට රැගෙන ගියේ අලුත් කරත්තයක් මත තබාගෙනය.+ එය දක්කාගෙන ගියේ උස්සාහ් සහ අහියෝය.+  දාවිත් රජ හා මුළු ඊශ්‍රායෙල් සමූහය සංගීත භාණ්ඩ එනම්, හොරණෑ,+ රබන්,+ අත්තාළම්, වීණා+ සහ කුඩා වීණා+ වාදනය කරමින්ද ගී ගයමින්ද+ මහත් උද්‍යෝගයෙන් සැබෑ දෙවිගේ නමස්කාරයේ කොටසක් වූ එම අවස්ථාවට සහභාගි වූහ.+  කීදොන් නම් කමත+ අසලදී හරකුන් කුලප්පු වූ නිසා කරත්තය පෙරළෙන්න ගියේය. එවිට ගිවිසුම් පෙට්ටිය වැටෙන්න නොදී උස්සාහ් එය අල්ලාගත්තේය.+ 10  ගිවිසුම් පෙට්ටියට අත තැබූ නිසා+ යෙහෝවා දෙවි උස්සාහ් සමඟ මහත් සේ උදහස් විය. ඒ අවස්ථාවේදී දෙවි ඔහුට පහර දුන්නේය. ඔහු දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේම මැරී වැටුණේය.+ 11  යෙහෝවා දෙවි උදහස් වී උස්සාහ්ට ඒ මොහොතේදීම පහර දුන් නිසා දාවිත්ගේ සිතේ කෝපයක් ඇති විය.+ ඒ සිද්ධිය නිසා එම ස්ථානයට පෙරෙෂ්-උස්සාහ් යන නම තබන ලදි. අද දක්වාම එම ස්ථානය හඳුන්වන්නේ ඒ නමින්ය. 12  මේ සිද්ධිය නිසා දාවිත් රජුට දෙවි ගැන මහත් බියක් ඇති වී,+ “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය මා ළඟට ගෙනෙන්නේ කොහොමද”+ කියා කල්පනා කළේය. 13  පසුව ඔහු ගිවිසුම් පෙට්ටිය තම නුවරට නොගෙනෙන්න තීරණය කර, එය ගාත්හි+ වැසියෙකු වූ ඕබෙද්-ඒදොම්ගේ නිවසට ගෙන ගියේය.+ 14  සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඔහුගේ නිවසේ+ මාස තුනක් පුරා තිබිණ. ඒ නිසා යෙහෝවා දෙවි ඕබෙද්-ඒදොම්ටත් ඔහුගේ ගෙවැසියන්ටත් ආශීර්වාද කළේය.+

පාදසටහන්