හොෂෙයා 4:1-19

4  ඊශ්‍රායෙල්වරුනි, යෙහෝවා දෙවිගේ වචනයට සවන් දෙන්න. අවංකකම හා ප්‍රේමය* මේ දේශයේ වැසියන් තුළ නැත.+ දෙවිව නොදන්නා අය මෙන් ඔවුහු ක්‍රියා කරති.+ එබැවින් දේශයේ වැසියන්ට විරුද්ධව යෙහෝවා දෙවිට නඩුවක් තිබේ.+  ශාප කිරීම්,+ වංචා කිරීම්,+ මිනී මැරීම්,+ සොරකම්+ හා අනාචාරය දේශයේ අස්සක් මුල්ලක් නෑර පැතිර තිබේ.+ දේශය පුරා එක පිට එක මිනී මැරීම් සිදු වේ.+  එබැවින් මුළු දේශයම වැලපෙන කාලයක් පැමිණෙන්නේය.+ එහි සියලු වැසියෝ බෙලහීන වන්නෝය. වනමෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද මුහුදේ මත්ස්‍යයන්ද සමඟ ඔවුහු විනාශ වී යන්නෝය.+  “කිසිවෙක් මේ සෙනඟ සමඟ වාද කරන්නවත්+ ඒ අයට අවවාද කරන්නවත් නොයා යුතුයි. මන්ද මේ සෙනඟ පූජකයන්ට විරුද්ධව වාද කරන සෙනඟක් හා සමානයි.+  යමෙකු රාත්‍රියේදී වැටෙන්නාක් මෙන් ඔබ දහවල් කාලයේදීද වැටෙනු ඇත.+ අනාගතවක්තෘවරු පවා ඔබ සමඟ වැටෙනු ඇත.+ මම ඔබේ මව විනාශ කර දමන්නෙමි.+  මගේ සෙනඟ දැනගැන්මට අනුව ක්‍රියා නොකරන නිසා ඔවුහු නාස්ති වී යති.+ ඔබ දැනුම ප්‍රතික්ෂේප කළ නිසා+ මමත් ඔබව ප්‍රතික්ෂේප කර පූජකයෙකු ලෙස මට සේවය කිරීමට ඔබට ඉඩ නොදෙමි.+ ඔබේ දෙවි දුන් නීතිය ඔබ අමතක කළ නිසා+ මමද ඔබේ පුත්‍රයන්ව අමතක කරමි.+  පූජකයන්ගේ ගණන වැඩි වෙන්න වැඩි වෙන්න ඔවුහු තව තවත් මට විරුද්ධව පව් කරන්නෝය.+ ඔවුහු මට ගෞරව කරනවා වෙනුවට මට නින්දා කරති.+  මගේ සෙනඟ පව් කරන තුරු ඔවුහු ආශාවෙන් බලා සිටිති. මන්ද සෙනඟ කරන පව්වලින් වාසි ප්‍රයෝජන ලබන්නේ ඔවුන්මය.+  “එබැවින් සෙනඟට අත් වන විනාශයම පූජකයන්ටත් අද්දකින්න සිදු වෙයි.+ ඔවුන් කරන දේවලට මා ඉදිරියේ ගණන් දෙන්න ඔවුන්ට සිදු වනු ඇත.+ ඔවුන්ගේ ක්‍රියාවලට මම ඔවුන්ට සුදුසු ප්‍රතිඵල දෙන්නෙමි.+ 10  ඔවුහු කොතරම් කෑවත් තෘප්තියට පැමිණෙන්නේ නැත.+ ඔවුහු ඔවුන් අතරේ සිටින ස්ත්‍රීන්ව ගණිකාවන් මෙන් සලකමින් ඔවුන් සමඟ අනාචාරයේ යෙදෙන්නෝය. නමුත් ඔවුන්ට දරුපල ලැබෙන්නේ නැත.+ මන්ද ඔවුහු දැන් යෙහෝවා දෙවි වන මගේ කීම් ගණනකටවත් නොගන්නෝය.+ 11  වේශ්‍යාකම් කිරීමෙන්ද පරණ සහ අලුත් වයින් පානය කිරීමෙන්ද සිතුවිලි විකෘති වී යහපත් චේතනා නැති වී යයි.+ 12  මගේ සෙනඟ තමුන්ම සාදාගත් ලී රූපයකට+ කන්නලව් කරති.+ ඔවුන්ගේම සැරයටියෙන් මඟ පෙන්වීම් ලබති. ඔවුන්ගේ සිත් වේශ්‍යාකමට ඇදී ගොස් ඇති නිසා ඔවුහු නොමඟ යන්නෝය.+ ඔවුහු වේශ්‍යාකම් කර මගේ පාලනය ප්‍රතික්ෂේප කරන්නෝය.+ 13  ඔවුහු කඳු මුදුන්වල පූජා ඔප්පු කරති.+ උස්බිම් මත සුවඳ දුම්ද ඔප්පු කරති.+ හොඳ සෙවණක් ලබා දෙන දැවැන්ත ගස් යටද ස්ටෝරැක්ස් ගස් යටද වෙනත් ගස් යටද ඔවුහු පූජා ඔප්පු කරති.+ එබැවින් ඔබේ දූවරු වේශ්‍යාකම් කරති. ඔබේ පුත්‍රයන්ගේ භාර්යාවෝද අනාචාරයේ යෙදෙති. 14  “ඔබේ දූවරුන් වේශ්‍යාකම් කළත් ඔබේ ලේලියන් අනාචාරයේ යෙදුණත් මම ඔවුන්ට දඬුවම් නොකරමි. මන්ද පුරුෂයෝද ගණිකාවන් සමඟ හුදෙකලා තැන්වලට යති.+ ඔවුහු දේවාලවල සිටින ගණිකාවන්+ සමඟ එකතු වී පූජා ඔප්පු කරති. කිසි අවබෝධයක් නැති මේ සෙනඟ+ ගමන් කරන්නේ විනාශයටය. 15  ‘ඊශ්‍රායෙල්වරු වේශ්‍යාකම් කරන්නෝය.+ නමුත් යූදා වැසියෙනි, ඔබත් එම පාපයටම වැටෙන්න එපා.+ ඔබ ගිල්ගාල් නගරයටවත්+ බෙත්-ආවෙන් නගරයටවත් නොයන්න.+ ජීවමාන යෙහෝවා දෙවිගේ නාමයෙන් නැවත නොදිවුරන්න.+ 16  ඊශ්‍රායෙල්වරුන් දැන් හැසිරෙන්නේ මුරණ්ඩු එළදෙනක මෙනි.+ එසේනම්, ආරක්ෂිත ස්ථානයක සිටින බැටළු පැටවෙකු මෙන් යෙහෝවා දෙවි ඔවුන්ව රැකබලා ගන්නේ කෙසේද? 17  එෆ්‍රායිම් වැසියෝ රූප නමස්කාරයේ යෙදෙති.+ ඔවුන් තමන්ට කැමති ලෙස හැසුරුණාවේ!+ 18  ඔවුහු තමන්ගේ බීර අවසන් වන තෙක්ම පානය කර ඇත.+ ඔවුහු තමන් අතරේ සිටින ස්ත්‍රීන්ව ගණිකාවන් මෙන් සලකමින් ඔවුන් සමඟ අනාචාරයේ යෙදෙන්නෝය.+ ඔවුන්ගේ දේශය රකින්නෝ+ ගෞරවයට වඩා නින්දාවට ඇලුම් කරති.+ 19  ඔවුන්ව තද සුළඟකින් ගසාගෙන යනු ඇත.+ තමන් ඔප්පු කළ පූජා ගැන ඔවුහුම ලැජ්ජාවට පත් වන්නෝය.’”+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”