ලෙවී කතාව 21:1-24

21  යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. “පූජකයන් වන ආරොන්ගේ පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘සෙනඟ අතරින් යමෙකු මිය ගිය විට එම තැනැත්තා වෙනුවෙන් සිදු කරන වත්පිළිවෙත්වලට පූජකයෙකු සහභාගි නොවිය යුතුයි. මන්ද එසේ කළොත් ඔහු අපවිත්‍ර වන්නේය.+  නමුත් ඔහුගේ ලේ නෑයෙකු මිය ගියොත් එනම්, ඔහුගේ මව හෝ පියා හෝ පුතා හෝ දුව හෝ සහෝදරයා හෝ  කන්‍යාවක වන ඔහුගේ සහෝදරිය හෝ මිය ගියොත් එම තැනැත්තා වෙනුවෙන් සිදු කරන වත්පිළිවෙත්වලට ඔහුට සහභාගි වීමට* පුළුවන.  නමුත් ඔහුට නෑ වන විවාහක ස්ත්‍රියක මිය ගියොත් ඇය වෙනුවෙන් සිදු කරන වත්පිළිවෙත්වලට සහභාගි නොවිය යුතුයි. එසේ කළොත් පූජකයෙකු වන ඔහු අපවිත්‍ර වන්නේය.  පූජකයෙකු තම හිස බූ ගෑමෙන්+ හෝ තම රැවුල* විකෘති ලෙස කැපීමෙන්+ හෝ වැළකී සිටිය යුතුයි. ඔහුගේ ශරීරය කපා නොගත යුතුයි.+  පූජකයන් දෙවි වන මා ඉදිරියේ ශුද්ධව සිටිය යුතුයි.+ මාගේ නාමය කෙලෙසීමෙන් වැළකී සිටිය යුතුයි.+ මන්ද ඔවුන්ගේ දෙවි වූ යෙහෝවා වන මට අයිති ආහාර+ එනම්, ගින්නෙන් දවන ලද පූජා ඔප්පු කරන්නේ ඔවුන්ය. එබැවින් ඔවුන් ශුද්ධව සිටිය යුතුයි.+  පූජකයෙකු ගණිකාවක+ හෝ අගෞරවයට පත් වූ ස්ත්‍රියක හෝ දික්කසාද වූ ස්ත්‍රියක+ හෝ සමඟ විවාහ නොවිය යුතුයි.+ මන්ද ඔහුගේ දෙවි වන මා ඔහුව සලකන්නේ ශුද්ධ කෙනෙකු ලෙසයි.  ඔහු දෙවි වන මට අයිති ආහාර ඔප්පු කරන නිසා එම පරිශුද්ධ සේවය සඳහා ඔහුව කැප කළ යුතුයි.+ ඔහු ශුද්ධව සිටිය යුතුයි.+ මන්ද ශුද්ධ සෙනඟක් ලෙස ඔබව වෙන් කර තබන යෙහෝවා දෙවි වන මා ශුද්ධය.+  “‘පූජකයෙකුගේ දුව ගණිකාවක ලෙස හැසිරෙමින් අගෞරවයට පත් වුණොත් ඇය නින්දාවට පත් කරන්නේ ඇගේ පියාවය. ඇයව මරා ගින්නෙන් පිලිස්සිය යුතුයි.+ 10  “‘පූජකයන් අතරින් උත්තම පූජකයා ලෙස තෝරා හිස මත ශුද්ධ තෛලය වත් කරනු ලැබූ+ තැනැත්තා පූජක වස්ත්‍ර ඇඳිය යුතුයි.+ මන්ද පූජකයෙකු ලෙස සේවය කිරීමට ඔහුට බලය දී තිබේ. ඔහු තම හිසකෙස් අවුල් කරගැනීමෙන්+ හෝ ඇඳුම් ඉරාගැනීමෙන්+ හෝ වැළකී සිටිය යුතුයි. 11  ඔහු මළ සිරුරක් වෙතට ළං නොවිය යුතුයි.+ මිය ගිය තැනැත්තා ඔහුගේ පියා හෝ මව හෝ වේවා ඔවුන් වෙනුවෙන් සිදු කරන වත්පිළිවෙත්වලටවත් ඔහු සහභාගි නොවිය යුතුයි. 12  එම වත්පිළිවෙත්වලට සහභාගි වන පිණිස ඔහු ශුද්ධස්ථානයෙන් පිටතට නොයා යුතුයි. එසේ කළොත් ඔහු තම දෙවිගේ ශුද්ධස්ථානය කෙලෙසන්නේය.+ මන්ද තම දෙවිගේ ශුද්ධ තෛලයද+ ශුද්ධ සංකේතයද* ඔහු පිටය. මා යෙහෝවා දෙවිය. 13  “‘පූජකයෙකු විවාහ විය යුත්තේ කන්‍යාවක+ සමඟය. 14  ඔහු වැන්දඹුවක හෝ දික්කසාද වූ ස්ත්‍රියක හෝ අගෞරවයට පත් වූ ස්ත්‍රියක හෝ ගණිකාවක ලෙස හැසිරෙන ස්ත්‍රියක හෝ සමඟ විවාහ නොවිය යුතුයි. ඔහු තම සෙනඟ අතරින් තම භාර්යාව ලෙස තෝරාගත යුත්තේ කන්‍යා ස්ත්‍රියකවයි. 15  තමන්ගෙන් පැවත එන දරුවන් අපවිත්‍ර නොවන පිණිස+ ඔහු එසේ කළ යුතුයි. මන්ද යෙහෝවා දෙවි වන මම පරිශුද්ධ සේවය සඳහා ඔහුව වෙන් කර තබන්නෙමි.’”+ 16  යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට කතා කරමින් මෙසේ කීවේය. 17  “ආරොන්ට මෙසේ කියන්න. ‘ඔබේ පරම්පරාවේ ශරීරයේ යම් දෝෂයක් ඇතුව ඉපදෙන කිසිම කෙනෙකු+ දෙවිට අයිති ආහාර ඔප්පු කරන පිණිස පූජාසනය ළඟට නොපැමිණිය යුතුයි.+ 18  ශරීරයේ යම් දෝෂයක් ඇති කිසිවෙකු පූජාසනයට ළං නොවිය යුතුයි. අන්ධ කෙනෙකු හෝ කොර කෙනෙකු හෝ නහයේ යම් දෝෂයක් ඇති කෙනෙකු හෝ අංගවිකල කෙනෙකු+ හෝ 19  අත පය කැඩුණු කෙනෙකු හෝ 20  කුදු කෙනෙකු හෝ කෙසඟ කෙනෙකු* හෝ ඇස්වල රෝගයක් ඇති කෙනෙකු හෝ දදයක් ඇති කෙනෙකු හෝ සමේ දිලීර රෝගයක් ඇති කෙනෙකු හෝ වෘෂණ කෝෂ තැළුණු කෙනෙකු+ හෝ පූජාසනයට ළඟා නොවිය යුතුයි. 21  පූජක ආරොන්ගෙන් පැවත එන දරුවෙකුට ශරීරයේ එවැනි දෝෂයක් ඇත්නම්, ගින්නෙන් පූජා ඔප්පු කරන පිණිස ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියට නොපැමිණිය යුතුයි.+ ඔහුගේ ශරීරයේ දෝෂයක් ඇති නිසා ඔහු තම දෙවිට අයිති ආහාර ඔප්පු කරන පිණිස පූජාසනයට ළං නොවිය යුතුයි.+ 22  එහෙත් තම දෙවිට අයිති ආහාරවලින් කොටසක් ඔහුට අනුභව කළ හැක. ශුද්ධ දෙයින්ද+ ඉතා ශුද්ධ දෙයින්ද+ ඔහුට කොටසක් ගත හැකියි. 23  නමුත් ඔහු තිරය ළඟට නොපැමිණිය යුතුයි.+ පූජාසනය ළඟටද ඔහු නොපැමිණිය යුතුයි.+ මන්ද ඔහුගේ ශරීරයේ දෝෂයක්+ ඇත. ඔහු මගේ ශුද්ධස්ථානය නොකෙලෙසිය+ යුතුයි. මන්ද යෙහෝවා දෙවි වන මම පූජකයන්ව ශුද්ධ අය ලෙස වෙන් කර තබන්නෙමි.’”+ 24  මෝසෙස් දෙවි කී සියල්ල ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද මුළු ඊශ්‍රායෙල් සෙනඟටද කීවේය.

පාදසටහන්

මූ.අ., “අපවිත්‍ර වීමට.”
ලෙවී 19:27හි පාදසටහන බලන්න.
නික් 29:6හි පාදසටහන බලන්න.
මෙයින් යොමු දක්වන්නේ අසාමාන්‍ය ලෙස කුඩා පුද්ගලයෙකුට හෝ යම් අසනීපයක් නිසා කෙසඟ සිරුරක් ඇති පුද්ගලයෙකුට විය හැකියි.