යොෂුවා 3:1-17

3  යොෂුවා හා මුළු ඊශ්‍රායෙල් සෙනඟ උදෑසනින්ම නැඟිට ෂිට්ටිම්+ නම් ප්‍රදේශයෙන් පිටත්ව ගියෝය. ඉන්පසු ඔවුහු යොර්දාන් ගඟ අසලට පැමිණ එහි රාත්‍රිය ගත කළෝය.  දින තුනකට පසු+ සෙනඟව බලාගැනීමට පත් කර සිටි නායකයෝ+ කඳවුර පුරා ගොස්  සෙනඟට මෙසේ අණ කළෝය. “ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන් ඔබේ දෙවි වන යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය උසුලාගෙන+ යනවා දකින විට ඔබත් ඔබේ කූඩාරම් අකුළාගෙන ඔවුන් පසුපස යන්න.  ඔබ මීට පෙර මේ ප්‍රදේශය හරහා ගමන් කර නැති නිසා ඔබට මඟ පෙන්වීමට ගිවිසුම් පෙට්ටිය උසුලාගෙන යන පූජකයන් ඔබට ඉදිරියෙන් ගමන් කරයි. නමුත් ඔබත් ගිවිසුම් පෙට්ටියත් අතර රියන් දෙදහසක* පමණ පරතරයක් තිබිය යුතුයි.+ ගිවිසුම් පෙට්ටියට ළං නොවීමට වගබලා ගන්න.”  පසුව යොෂුවා සෙනඟ අමතා, “හෙට යෙහෝවා දෙවි ඔබ සියලුදෙනා ඉදිරියේ පුදුම දනවන දේවල්+ කරන්න යන බැවින් දැන් පවිත්‍ර වෙන්න”+ කියා කීවේය.  යොෂුවා පූජකයන්ට මෙසේ කීවේය. “ඔබ සියලුදෙනා ගිවිසුම් පෙට්ටිය+ ඔසවාගෙන සෙනඟට ඉදිරියෙන් යන්න.” එහෙයින් ඔවුහු ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන සෙනඟට ඉදිරියෙන් ගමන් කළෝය.  එවිට යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ පැවසුවේය. “අද මම මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඉදිරියේ ඔබව ගෞරවයට පත් කරන්නෙමි.+ එවිට මා මෝසෙස් සමඟ සිටියාක් මෙන්+ ඔබ සමඟත් සිටින බව සෙනඟ තේරුම්ගනු ඇත.+  ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන යන පූජකයන්ට ඔබ මෙසේ පවසන්න.+ ‘ඔබ යොර්දාන් ගඟ අද්දරට පැමිණි විට වතුරට පා තබා එතනම නතර වී සිටින්න.’”+  පසුව යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ කීවේය. “ළඟට ඇවිත් ඔබේ දෙවි වන යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. 10  දෙවි දැන් කානානිවරුන්වද හිත්තීවරුන්වද හිවීයවරුන්වද පෙරිස්සිවරුන්වද ගිර්ගාෂිවරුන්වද අමෝරිවරුන්වද යෙබූසිවරුන්වද+ ඔබ ඉදිරියෙන් අනිවාර්යයෙන්ම පන්නා දමයි. එවිට ඔබ අතරේ සිටින+ ඔබේ දෙවි ජීවමාන දෙවි කෙනෙක් බව ඔබ ස්ථිර වශයෙන්ම තේරුම්ගනියි. 11  පූජකයන් ඔබට පෙරටුවෙන් ගමන් කර මුළු පොළොවටම අධිපති වන දෙවිගේ ගිවිසුම් පෙට්ටිය යොර්දාන් ගඟ මැදට ගෙන යයි. 12  ඊශ්‍රායෙල් ගෝත්‍ර දොළහ නියෝජනය කිරීම සඳහා සෑම ගෝත්‍රයෙන්ම එක් පුරුෂයෙක් බැගින් තෝරාගන්න.+ 13  මුළු පොළොවටම අධිපති වන යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන යන පූජකයන් යොර්දාන් ගඟට පා තබන සැණින් ගඟේ ඉහළ සිට ගලා බසින ජල පහර නතර වෙයි. ගඟ හරහා වේල්ලක් බැන්දාක් මෙන් එම ජල කඳ එක තැන නතර වෙයි.”+ 14  පසුව සෙනඟ කූඩාරම් අකුළාගෙන යොර්දාන් ගඟෙන් එගොඩ වීමට සූදානම් වූහ. පූජකයෝ ගිවිසුම් පෙට්ටිය+ ඔසවාගෙන සෙනඟට ඉදිරියෙන් ගියෝය. 15  එය අස්වැන්න නෙළන කාලය විය. සාමාන්‍යයෙන් ඒ කාලයේදී යොර්දාන් ගඟේ ජලය පිටාර ගලන්නේය.+ නමුත් ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන ගිය පූජකයන් යොර්දාන් ගඟ අද්දරට පැමිණ වතුරට පා තැබූ සැණින් 16  ගඟේ ඉහළ සිට ගලා ආ ජල පහර නැවතුණේය. ජල පහර නතර වූයේ සෙනඟ සිටි ස්ථානයට ඈතින් පිහිටි ෂාරෙතාන්+ ප්‍රදේශය අසල තිබූ ආදම් නම් නුවර ළඟය. ජල කඳ වේල්ලකින් සිර කර තබන්නාක් මෙන් එක තැන නතර විය.+ ඉතුරු ජලය මහ අරබා නිම්නයේ පිහිටි ලුණු මුහුදට+ ගලා ගියේය. මෙසේ යොර්දාන් ගඟේ ජලය සිඳී ගිය අතර සෙනඟ එතැනින් එගොඩ වී යෙරිකෝව දෙසට ගමන් කළෝය. 17  මුළු ඊශ්‍රායෙල් සෙනඟ වියළි භූමිය හරහා ගමන් කරමින් යොර්දාන් ගඟෙන් එගොඩ විය.+ ඔවුහු සියල්ලන්ම එගොඩ වන තෙක් යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන සිටි පූජකයෝ යොර්දාන් ගඟ මැද සිටගෙන සිටියෝය.+

පාදසටහන්

එනම්, මීටර් 890ක පමණ.