යොෂුවා 2:1-24

2  නූන්ගේ පුත් යොෂුවා දේශයේ තොරතුරු සොයා බැලීමට මිනිසුන් දෙදෙනෙකුව තෝරාගෙන, “ඔබ යෙරිකෝව හා ඒ අවට දේශය සෝදිසි කර බලන්න” කියා ඔවුන්ට කීවේය. එසේ කියා ඔහු ඔවුන්ව ෂිට්ටිම්+ නම් ප්‍රදේශයේ සිට රහසිගතව පිටත් කර යැව්වේය. ඔවුහු රාහබ්+ නම් ගණිකාවකගේ නිවසට පැමිණ එහි නවාතැන් ගැනීමට තීරණය කළෝය.  මේ අතරතුර යෙරිකෝවේ රජුට මෙසේ දන්වන ලදි. “අද රෑ ඊශ්‍රායෙල් ජාතිකයන් කිහිපදෙනෙක් නගරයට ආවා. ඔවුන් ඇවිත් ඉන්නේ දේශයේ තොරතුරු සොයා බලන්නයි.”  එවිට රජ රාහබ්ට පණිවිඩයක් යවමින් මෙසේ දැන්වූවේය. “ඔබේ ගෙදරට ආ මිනිසුන්ව අපට භාර දෙන්න. ඔවුන් ඇවිත් ඉන්නේ මේ දේශයේ තොරතුරු සොයා බලන්නයි.”+  නමුත් රාහබ් ඒ මිනිසුන් දෙදෙනාව සඟවා තමන් වෙතට පැමිණි රජුගේ පණිවිඩකරුවන්ට මෙසේ කීවාය. “මිනිස්සු නම් ආවා. නමුත් ඒ අය කොහේ ඉඳන් ආවාද කියා කියන්න මම දන්නේ නැහැ.  ඔවුන් කළුවර වැටෙද්දී නගරයෙන් පිට වෙලා ගියා. නගරයේ දොරටු වහන වේලාවේදී+ වගේ තමයි ඔවුන් ගියේ. නමුත් ඔවුන් කොහේට ගියාද කියන්න නම් මම දන්නේ නැහැ. ඉක්මනට ගියොත් ඒ මිනිසුන්ව අල්ලගන්න ඔබට පුළුවන් වෙයි.”  (මේ වන විට රාහබ් ඒ මිනිසුන් දෙදෙනාව තම පියස්සට+ රැගෙන ගොස් එහි පේළියට දමා තිබුණු හණ දඬු යට සඟවා තිබුණාය.)  එහෙයින් රජුගේ පණිවිඩකරුවෝ ඒ මිනිසුන්ව අල්ලාගැනීමට යොර්දාන් ගඟේ තොටුපොළ+ පැත්තට දිව ගියෝය. පණිවිඩකරුවන් නුවරෙන් පිටත්ව ගිය විගස නුවරේ දොරටුව වසන ලදි.  පියස්ස උඩ සිටි ඔත්තුකරුවන් නිදාගැනීමට පෙර රාහබ් ඔවුන් ළඟට ගොස්  මෙසේ කීවාය. “යෙහෝවා දෙවි ඔබට මේ දේශය ලබා දෙයි කියා මට හොඳටම විශ්වාසයි.+ ඔබේ සෙනඟ අපේ දේශය ළඟටම ඇවිත් කියලා දැනගත්තාම අපි හැමෝම හොඳටම භය වුණා.+ ඒ නිසා දේශයේ කිසි වැසියෙකුට ඔබට විරුද්ධව නැඟී සිටින්න තරම් ධෛර්යයක් නැහැ.+ 10  ඔබ ඊජිප්තු දේශයෙන් පිටත්ව එද්දී යෙහෝවා දෙවි ඔබ ඉදිරියේ රතු මුහුදේ ජලය වියළෙන්න සැලැස්වූ හැටි අපිට ආරංචි වුණා.+ ඒ වගේම යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ ජීවත් වූ සීහොන්+ සහ ඕග්+ යන අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාව ඔබ විනාශ කළ හැටිත්+ අපිට අහන්න ලැබුණා. 11  මේ දේවල් ආරංචි වුණාම අපි හොඳටම භය වුණා.+ අහසටත් පොළොවටත් අධිපති+ වෙන කවුරුත් නෙමෙයි, ඔබේ දෙවි යෙහෝවා බව ස්ථිරයි. ඒ නිසා අපෙන් කාටවත් ඔබට විරුද්ධව නැඟී සිටින්න තරම් ශක්තියක් නැහැ.+ 12  මම ඔබට ප්‍රේමණීයව* සැලකුවා වගේ ඔබත් මගේ පියාගේ නිවසේ ඉන්න හැමෝටම+ ප්‍රේමය* පෙන්වනවා කියා යෙහෝවා දෙවිගේ නමින් දිවුරා පොරොන්දු වෙන්න.+ ඔබ ඒ පොරොන්දුව ස්ථිර වශයෙන්ම ඉටු කරන බවට මට ලකුණක් දෙන්න.+ 13  ඔබ මගේ පියාගෙත්+ මවගෙත් මගේ සහෝදර සහෝදරියන්ගෙත් ඔවුන්ගේ ගෙයි වැසියන්ගෙත් ජීවිත බේරා දෙනවා කියා පොරොන්දු වෙන්න.”+ 14  එවිට ඒ මිනිසුන් දෙදෙනා ඇයට මෙසේ කීවෝය. “අප ගැන කාටවත් කියන්න එපා. ඔබ අපට ප්‍රේමණීයව සැලකූ නිසා යෙහෝවා දෙවි අපට මේ දේශය උරුමයක් හැටියට දුන් පසු අපිත් ඔබට ප්‍රේමණීයව* සලකන්නම්. අපි ඔබට පොරොන්දු වූ දේ ඒ විදිහටම ඉටු කරන්නම්.+ අපි අපේ පොරොන්දුව කඩ කළොත් දෙවිගෙන් අපට දඬුවම් ලැබේවා!”+ 15  රාහබ්ගේ නිවස නගරය වටා ඉදි කර තිබූ පවුරට අලළා තනා තිබිණ. එහෙයින් ඇය ලණුවක ආධාරයෙන් නිවසේ ජනේලයෙන් පහළට බහින්න ඔත්තුකාරයන්ට උපකාර කළාය.+ 16  ඔවුන් පිටත්ව යන්න කලින් ඇය ඔවුන්ට මෙසේ කීවාය. “කඳුකර ප්‍රදේශයට ගිහින් එහේ දවස් තුනක් හැංගිලා ඉන්න. ඔබව අල්ලගන්න එන අයට ඔබව හොයාගන්න බැරුව ගියාම නැවත හැරිලා නගරයට යයි. ඊටපස්සේ ඔබ ඔබේ ගමන යන්න.” 17  එවිට ඒ මිනිසුන් දෙදෙනා ඇයට මෙසේ කීවෝය. “ඔබේ ඉල්ලීම පිට අපි දිවුරලා ඔබට වුණු පොරොන්දුව කඩ කළා කියා කාටවත් කියන්න ලැබෙන්නේ නැහැ. මොකද අපි ඒ පොරොන්දුව ඒ විදිහටම ඉටු කරනවා.+ 18  අපි ඔබේ දේශය අල්ලගන්න ළඟදීම එනවා. අපි දැන් බැහැලා යන ජනේලයේ ගැටගසා තිබෙන මේ රතු ලණුව ගලවන්න එපා. මේ ලණුව නිසා අපට ඔබේ නිවස හඳුනාගන්න පුළුවන් වෙයි. ඔබේ පියාවත් මවවත් ඔබේ සහෝදරයන්වත් ඔබේ පියාගේ සියලු ගෙයි වැසියන්වත් මේ නිවසට රැගෙන එන්න.+ 19  නමුත් කාටවත් මේ නිවසින් පිටතට යන්න දෙන්න එපා. කවුරු හරි කෙනෙක් මේ නිවසින් පිටතට ගියොත්+ අපි ඒ තැනැත්තාගේ ජීවිතයට වග කියන්නේ නැහැ. නමුත් ඔබ සමඟ මේ නිවසේ ඉන්න කාටවත් කරදරයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. එහෙම වුණොත් ඒ තැනැත්තාගේ ජීවිතයට අපි වග කියනවා. 20  ඒත් ඔබ අපව පාවා දුන්නොත්+ ඔබට දුන් පොරොන්දුවෙන් අපි නිදහස්. අපට දොස් කියන්න කිසිම කෙනෙකුට බැහැ.” 21  එවිට ඇය මෙසේ කීවාය. “හොඳයි. හැම දෙයක්ම ඒ විදිහටම සිදු වේවා!” ඇය එසේ කී පසු ඔවුහු පිටත්ව ගියෝය. ඇය රතු ලණුව ජනේලයේ ගැටගසා තැබුවාය. 22  ඔත්තුකාරයෝ කඳුකර ප්‍රදේශයට ගොස් දවස් තුනක් සැඟවී සිටියෝය. ඔවුන්ව සොයා ගිය මිනිස්සු සෑම තැනම ඔවුන්ව සෙවූ නමුත් ඔවුන්ව සොයාගැනීමට නොහැකි වූ නිසා ආපසු නගරය බලා ගියෝය. 23  ඉන්පසු කඳුකරයේ සැඟවී සිටි ඔත්තුකරුවෝ දෙදෙනා එතැනින් පිටත් වී ගඟෙන් එගොඩ වූහ. ඔවුහු නූන්ගේ පුත් යොෂුවා වෙතට ගොස් සිදු වූ සියල්ල ඔහුට දන්වමින් මෙසේ කීවෝය. 24  “යෙහෝවා දෙවි මුළු දේශයම අපේ අතට භාර දී තිබෙනවා.+ දේශයේ වැසියන් අප ගැන හොඳින් දන්නවා. ඒ නිසා අපිට විරුද්ධව නැඟී සිටින්න තරම් ශක්තියක් ඔවුන්ට නැහැ.”+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමයකින්.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමයකින්.”