යෙසායා 23:1-18

23  තීර්+ දේශයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි. තර්ෂිෂ්හි+ නාවිකයෙනි, හඬා වැලපෙන්න! මන්ද ඔබේ වරාය+ විනාශ වී ඇති බව කිත්තිම්+ දේශයේදී ඔබට ආරංචි වනු ඇත.  වෙරළබඩ තීරයේ වැසියෙනි, නිහඬ වන්න. මුහුද තරණය කර ඔබ වෙතට පැමිණි සීදොන්+ දේශයේ වෙළෙන්දෝ ඔබව ධනවත් කළෝය.  ෂිහොර්+ ප්‍රදේශයෙන් ලබාගත් ධාන්‍යද නයිල් ගඟ අවට පෙදෙස්වලින් ලබාගත් අස්වැන්නද මහා ජල කඳන් හරහා ප්‍රවාහණය කිරීම ඔබේ ජීවනෝපාය විය. ජාතීහු ඔබ නිසා ලාභ ලැබුවෝය.+  සීදොන් දේශයේ වැසියෙනි,+ ලැජ්ජා වන්න! මුහුදේ සුරක්ෂිත ස්ථානයේ වෙසෙන්නෙනි, ඔබත් ලැජ්ජා වන්න. මන්ද මුහුද මෙසේ කීවේය. “මම ප්‍රසව වේදනා වින්දේවත් දරුවන් වැදුවේවත් නැත. මම තරුණ තරුණියන්ව උස් මහත් කළේද නැත.”+  ඊජිප්තුවට අත් වූ විපත ගැන ආරංචි වූ විට+ සිදු වුණාක් මෙන් තීර් දේශය ගැන අසන විටත් ජනයාට දරාගත නොහැකි වේදනාවක් ඇති වෙයි.+  වෙරළබඩ තීරයේ වැසියෙනි, තර්ෂිෂ් දේශයට පලා ගොස් හඬා වැලපෙන්න.  අතීතයේ සිට ප්‍රීතිමත් නුවරක්ව සිටි ඔබට සිදු වුණේ කුමක්ද? ඔබේ සෙනඟ ඈත රටවලට ගමන් කර එහි පදිංචි වූහ.  රජවරුන්ට කිරුළ පැළඳූ තීර් දේශයට විරුද්ධව මේ තීන්දුව දුන්නේ කවුද?+ වෙළෙඳුන්ව අධිපතීන් හා නම්බුකාර අය මෙන් සැලකූ ඒ දේශයට විරුද්ධව මේ තීන්දුව දුන්නේ කවුද?+  මේ තීන්දුව දුන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.+ උඩඟුකමට හේතු වන සෑම අලංකාර දෙයක්ම නැති කර දමන පිණිසත්+ මෙලොවෙහි වැසියන්ගේ ගෞරවයට පාත්‍ර වූ සියල්ලන්ව පහත් කරන පිණිසත් ඔහු ඒ දේ නියම කර තිබේ.+ 10  තර්ෂිෂ්හි දියණිය,+ නයිල් ගඟ පිටාර ගලන්නාක් මෙන් ඔබත් දේශය පුරා විසිර යන්න. මන්ද ඔබටම කියා වරායක් දැන් නැත.+ 11  දෙවි තම හස්තය මුහුද හරහා දිගු කර රාජ්‍යයන් කැලඹුවේය.+ යෙහෝවා දෙවි ෆිනීෂිය දේශයේ බලකොටු බිඳ දැමීමට අණ කළේය.+ 12  ඔහු මෙසේ පවසන්නේය. “පීඩා විඳින සීදොන්+ කන්‍යා දියණිය, ඔබ යළි කිසිදා ප්‍රීති වන්නේ නැත.+ ඔබ කිත්තිම්+ දෙසට යන්න. එහෙත් එහි ගිය පසුත් ඔබට සහනයක් ලැබෙන්නේ නැත.” 13  තීර් දේශය වනසතුන්ගේ නිජබිමක් බවට පත් කරන්නේ+ ඇසිරියානු+ ජාතිකයන් නොව කල්දිවරුන්ය.+ ඔවුහු දේශය වටලාගෙන එයට පහර දෙන පිණිස බැම්මක් ගොඩනඟන්නෝය.+ එහි රාජකීය බලකොටු නැති නාස්ති කර+ දේශය නටබුන් ගොඩක් බවට පත් කරන්නෝය.+ 14  තර්ෂිෂ්හි නාවිකයෙනි, විලාප නඟන්න! මන්ද ඔබේ බලකොටුව විනාශ වනු ඇත.+ 15  එක් රජෙකුගේ පාලන සමයේදී එනම්, අවුරුදු හැත්තෑවක් තුළදී තීර් දේශය මිනිසුන්ගේ මතකයෙන් ගිලිහී යනු ඇත.+ අවුරුදු හැත්තෑව අවසානයේදී, මෙම ගීයේ සඳහන් ගණිකාවගේ තත්වයට තීර් දේශය පත් වනු ඇත. 16  “මතකයෙන් ගිලිහී ගිය ගණිකාව,+ වීණාවක් රැගෙන නුවර වටේ ඇවිදින්න. මිහිරි නාදයට වීණාව වයමින් ඔබ කවුද කියා ඔවුන්ට සිහි වන තුරු ගී ගයන්න.” 17  එහෙත් අවුරුදු හැත්තෑව අවසානයේදී යෙහෝවා දෙවි නැවතත් තීර් දේශය වෙතට තම අවධානය යොමු කරයි. ඇය නැවතත් ගණිකාවක මෙන් හැසිර පොළොවේ සියලු රජවරුන්ගෙන්+ කුලී ලබාගන්නීය.+ 18  නමුත් ඇයට ගෙවන කුලියත් ඇය උපයන ලාභයත්+ යෙහෝවා දෙවිට කැප වූ දෙයක් බවට පත් වන්නේය. ඒ කිසිවක් රැස් කර තබාගන්න ඇයට නොහැකි වෙයි. මන්ද ඒ සියල්ල යෙහෝවා දෙවිගේ සේවකයන්ගේ ප්‍රයෝජනය පිණිස වෙන් කරනු ලබන්නේය.+ ඔවුහු ඒවායින් කා බී වටිනා සළුපිළි මිල දී ගෙන තෘප්තියට පත් වන්නෝය.+

පාදසටහන්