නෙහෙමියා 4:1-23

4  අප පවුර නැවත ගොඩනඟමින් සිටි බව සන්බලට්ට+ ආරංචි වූ වහාම ඔහු මහත් කෝපයකින්+ යුදෙව්වන්ට නින්දා+ කරන්න පටන්ගත්තේය.  ඔහු තම සගයන්+ හා සමාරියේ හමුදාව ඉදිරියට ගොස් මෙසේ කීවේය. “කිසි දෙයක් කරකියාගත නොහැකි යුදෙව්වන් මොනවාද මේ කරන්න හදන්නේ? මෙතරම් විශාල කාර්යයක් තනිවම නිම කරන්න ඔවුන්ට පුළුවන්ද? ඔවුන් ගල් පවුර තනන්න හදන්නේ ගිනිබත් වූ සුන්බුන්වලින්ද?+ මේ වැඩේ දවසකින් දෙකකින් නිම කරලා ඒ ස්ථානයේ පුදපූජා ඔප්පු කරන්නද+ ඔවුන්ගේ අදහස?”  ඒ අවස්ථාවේදී ඔහු සමඟ සිටි අම්මොන් ජාතික+ ටොබියා+ මෙසේ පැවසීය. “ඒකත් පවුරක්ද? ඔය පවුරට හිවලෙක්+ නැග්ගත් ඒක කඩාගෙන වැටෙයි.”  ඒ කාලයේදී මම දෙවිට මෙසේ කන්නලව් කළෙමි. “දෙවියනි, අපේ කන්නලව්වලට සවන් දෙන්න.+ අප අපේ සතුරන්ගේ නින්දා අපහාසවලට ලක් වෙලා.+ දෙවියනි, ඔවුන් අපට කරන නින්දාව+ ඔවුන් පිටටම පැමිණේවා! කොල්ලකරුවන් වස්තුවක් පැහැරගන්නාක් මෙන් ඔවුන්ව පැහැරගෙන, වහල්කමට රැගෙන යෑමට සතුරන්ට ඉඩහරින්න.  දෙවියනි, ඔවුන්ගේ පව්කාර ක්‍රියා නොසලකාහරින්න නම් එපා.+ ඔවුන් ඉදි කිරීමේ කටයුතු කරන අයගේ මුහුණටම අපහාස කළා! ඉතින් දෙවියනි, ඔවුන් අපිට විරුද්ධව කළ අපරාධ අමතක කරන්න එපා.”  අපි මේ අභියෝග හමුවේ පවුරේ ඉදි කිරීම් කටයුතු දිගටම කරගෙන ගියෙමු. කල් යත්ම, පවුරේ කැඩී බිඳී තිබුණු සියලුම තැන් අලුත්වැඩියා කර එහි නියමිත උස ප්‍රමාණයෙන් අඩක් දක්වා ගොඩනැඟීමට අපට හැකි විය. මන්ද සියලුදෙනා මහත් උනන්දුවෙන් එම කාර්යයට අතහිත දුන්නෝය.+  යෙරුසලමේ පවුරු නැවත ගොඩනැඟීමේ කාර්යය සාර්ථකව කෙරීගෙන යන බවත් පවුරේ කැඩී බිඳී තිබුණු තැන් අලුත්වැඩියා කරගෙන යන බවත් සන්බලට්,+ ටොබියා,+ අරාබි ජාතිකයන්,+ අම්මොන්වරුන්+ සහ අෂ්දොද්වරුන්+ යන අයට ආරංචි වූ විට ඔවුහු බොහෝ සෙයින් කෝප වූහ.  එහෙයින් යෙරුසලමට ඇවිත් අපට විරුද්ධව සටන් කර අපගේ කාර්යයට බාධා කරන්න ඔවුහු කුමන්ත්‍රණය කළෝය.+  ඒ නිසා, අපි අපේ දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කර+ මුර කිරීම සඳහා දිවා රෑ දෙකේදීම මිනිසුන්ව පත් කළෙමු. 10  එහෙත් යූදාහි වැසියෝ මෙසේ කීවෝය. “බර උසුලන අය+ දැන් හොඳටම හෙම්බත් වෙලයි ඉන්නේ. තවමත් ඉවත දමා නැති සුන්බුන්+ බොහොමයක් තිබෙනවා. මේ පවුර අපට තනිව ගොඩනඟන්න බැහැ.” 11  මීට අමතරව, අපගේ සතුරෝ මෙසේ සැලසුම් යොදමින් සිටියෝය. “අපි හොර රහසේම ඔවුන් ඉන්න තැනට යමු. අපි ළඟට යනකම්ම ඔවුන් මොකුත් දැනගන්න එකක් නැහැ.+ අපි ඔවුන්ව මරා මේ වැඩේ නතර කරලා දාමු.” 12  අපේ සතුරුන් අසල ජීවත් වූ යුදෙව්වරුන් වැඩට පැමිණි විට ඔවුහු අපට මෙසේ පැවසූහ. “හැම පැත්තකින්ම අපව වට කරලා අපිට පහර දෙන්න අපේ සතුරන් සැලසුම් කරනවා.” එවැනි වාර්තා අපට දස වරක්ම අසන්න ලැබිණ. 13  එහෙයින් ආරක්ෂාව සඳහා පවුර පිටුපස තිබූ පහත් ඉඩම්වල මුරකරුවන්ව තබා කඩු,+ හෙල්ල+ සහ දුනුවලින් මම ඔවුන්ව සන්නද්ධ කළෙමි. තම තමන්ගේ පවුල්වලට අයත් කොටස ආරක්ෂා කරන පිණිස මම ඔවුන්ව පත් කළෙමි. 14  සෙනඟ බියෙන් සිටින බව තේරුම්ගත් විගස මම වංශවත් අයටත්+ නිලධාරීන්ටත්+ පොදු ජනයාටත් මෙසේ පැවසුවෙමි. “ඔවුන්ට භය වෙන්න එපා.+ නිතරම ශ්‍රේෂ්ඨ,+ ගරුබිය උපදවන+ දෙවි වන යෙහෝවාව සිහි කරන්න. ඔබේ සහෝදරයන් වෙනුවෙනුත්+ ඔබේ දූපුතුන් හා භාර්යාවන් වෙනුවෙනුත් ඔබේ නිවෙස් වෙනුවෙනුත් සටන් කරන්න.” 15  ඔවුන් කරන්න අදහස් කළ දේ අපට ආරංචි වූ බව අපේ සතුරන්ට දැනගන්න ලැබිණ. සැබෑ දෙවි ඔවුන්ගේ සැලසුම් අසාර්ථක කර තිබූ බැවින්+ අපි සියලුදෙනා ඉදි කිරීම් කටයුතුවලට නැවත යොමු වුණෙමු. 16  සතුරන්ගේ කුමන්ත්‍රණය හෙළි වූ දා පටන් මා යටතේ සේවය කළ තරුණයන්ගෙන් අඩක්+ අලුත්වැඩියා කටයුතුවල නිරත වෙමින් සිටියෝය. ඉතුරු පිරිස ආරක්ෂක යුධ ඇඳුම්වලින් සැරසී+ හෙල්ල, පලිස් හා දුනු අතැතිව සුපරීක්ෂාකාරීව සිටියෝය. යූදාහි සියලු වැසියන්ට අධිපතීන්ගේ+ පූර්ණ සහයෝගය ලැබිණ. 17  පවුරුවල වැඩ කරමින් සිටි අය සහ ගොඩනැඟිලි ද්‍රව්‍ය උසුලාගෙන යන අය තමන්ගේ කාර්යය ඉටු කළේ එක් අතකිනි. මන්ද ඔවුහු අනික් අතේ+ ආයුධයක්+ තබාගෙන සූදානමින් සිටියෝය. 18  ඉදි කිරීම්+ කටයුතු කළ සියලුදෙනා තම ඉණේ කඩුවක්ද බැඳගෙන සිටියෝය.+ හොරණෑව පිඹීමට+ සූදානම්ව සිටි තැනැත්තා නිතරම මා අසල සිටගෙන සිටියේය. 19  මම වංශවත් අයටත් නිලධාරීන්ටත්+ පොදු ජනයාටත් මෙසේ පැවසුවෙමි. “මේ අතිවිශාල පවුර අලුත්වැඩියා කිරීමට එක් එක් කෙනාගෙන් ගොඩක් දුරස්ව වැඩ කරන්න සිදු වෙනවා. 20  ඒ නිසා යම් ස්ථානයකින් ඔබට හොරණෑ හඬ ඇසුණොත් සියලුදෙනාම ඒ ස්ථානයට එක් රැස් විය යුතුයි. කිසිම සැකයක් නැහැ, අපේ දෙවි අපි වෙනුවෙන් සටන් කරයි.”+ 21  අප අතර සිටි පිරිසෙන් අඩක්ම හිමිදිරි උදෑසන සිට රාත්‍රිය උදා වන තුරු අලුත්වැඩියා කටයුතුවල නිරත වෙමින් සිටි අතරේදී ඉතුරු පිරිස හෙල්ල අතැතිව අපව ආරක්ෂා කළෝය. 22  මේ අතර මම ජනයාට මෙසේද පැවසුවෙමි. “රාත්‍රියේදී ඔබ සියලුදෙනා ඔබේ සේවකයන් සමඟ යෙරුසලමෙහි නතර වී සිටින්න.+ එවිට රාත්‍රියේදී මුර සේවයේ යෙදෙන්නත් දිවා කාලයේදී ඉදි කිරීම් වැඩකටයුතුවල නිරත වෙන්නත් ඔබට පුළුවන් වෙයි.” 23  මගේ සහෝදරයනුත්+ මගේ සේවකයනුත්+ මා සමඟ සිටි ආරක්ෂක නිලධාරීනුත්+ මමත්+ ඇඳුම් මාරු කරන්නේවත් නැතුව දකුණතේ ආයුධයක්+ තබාගෙන රාත්‍රිය පුරාම සෝදිසියෙන් සිටියෙමු.

පාදසටහන්