නික්මයාම 9:1-35

9  ඉන්පසු යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ පාරාවෝ ළඟට ගොස් මෙසේ කියන්න.+ ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවේය. “මට නමස්කාර කරන පිණිස මගේ සෙනඟට යන්න අවසර දෙන්න.  නමුත් ඔබ දිගටම මට සවන් නොදී ඔවුන්ට යන්න නොදුන්නොත්+  යෙහෝවා දෙවි වන මම* ඔබේ අශ්වයන්ටද බූරුවන්ටද ඔටුවන්ටද ගවයන්ටද බැටළුවන්ටද+ දරුණු වසංගතයකින්+ පහර දෙන්නෙමි.+  යෙහෝවා දෙවි වන මම, ඊජිප්තුවරුන්ගේ සත්ව රැළට පහර දුන්නත් ඊශ්‍රායෙල්වරුන්ගේ සත්ව රැළට පහර නොදෙන්නෙමි. ඊශ්‍රායෙල් ජනයාට අයිති එක සතෙක්වත් විනාශ වන්නේ නැත.”’”+  වසංගතය ගෙනෙන දවස නියම කරමින් යෙහෝවා දෙවි මෙසේ කීවේය. “යෙහෝවා දෙවි වන මා ඒ දේ කරන්නේ හෙට දිනයේදීය.”+  පසුවදා යෙහෝවා දෙවි තමා කී ලෙසම සත්ව රැළට පහර දුන්නේය. ඊජිප්තුවරුන්ගේ සියලු සත්වයන් මැරුණු+ නමුත් ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ එක සතෙක්වත් මැරුණේ නැත.  ඊශ්‍රායෙල්වරුන්ගේ සත්ව රැළට සිදු වූයේ කුමක්ද කියා විමසා බලන පිණිස පාරාවෝ තම සේවකයන්ව යැව්වේය. ඔවුන්ගේ එක සතෙකුවත් විනාශ වී නැති බව ඔහුට දැනගන්න ලැබිණ. නමුත් පාරාවෝ දිගටම මුරණ්ඩු ලෙස ක්‍රියා කළේය.+ ඔහු සෙනඟට යන්න නොදුන්නේය.  යෙහෝවා දෙවි මෝසෙස්ට හා ආරොන්ට මෙසේ කීවේය. “අත් දෙක පිරෙන්න පෝරණුවකින්+ අළු ගන්න. ඉන්පසු මෝසෙස් ඒවා පාරාවෝ ඉදිරියේ අහසට විසි කළ යුතුයි.  ඒ අළු, දූවිලි මෙන් මුළු ඊජිප්තු දේශය පුරාම පැතිරෙන්නේය. එවිට ඊජිප්තු දේශයේ ජීවත් වන සියලු මනුෂ්‍යයන්ගේ හා සතුන්ගේ ශරීරවල සැරව ගෙඩි+ හටගනු ඇත.” 10  ඔවුහු පෝරණුවකින් අළු ගෙන පාරාවෝ ඉදිරියට ගියෝය. මෝසෙස් ඒ අළු අහසට විසි කළේය. එවිට මනුෂ්‍යයන්ගේ හා සතුන්ගේ ශරීර පුරා සැරව ගෙඩි+ හටගත්තේය. 11  මන්තර ගුරුකම් කරන පූජකයන්ට මෝසෙස් ඉදිරියට පැමිණීමට නොහැකි වන තරමට ඔවුන්ගේ ශරීර පුරා සැරව ගෙඩි හටගෙන තිබිණ. සියලුම ඊජිප්තුවරුන්ගේ ශරීරවල සැරව ගෙඩි හටගත්තේය.+ 12  එහෙත් යෙහෝවා දෙවි, මෝසෙස්ට කී ලෙසම පාරාවෝ ඔවුන්ට සවන් දුන්නේ නැත. පාරාවෝ මෙවරද තම සිත මුරණ්ඩු කරගත්තේය.+ යෙහෝවා දෙවිද එයට ඉඩහැරියේය. 13  එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ උදේ පාන්දරින්ම නැඟිට පාරාවෝ ඉදිරියට ගොස්+ මෙසේ කියන්න. ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පවසන්නේය. “මට නමස්කාර කරන පිණිස මගේ සෙනඟට යන්න දෙන්න.+ 14  ඔබ එසේ නොකළොත් මම ඔබටත් ඔබේ සේවකයන්ටත් ඔබේ සෙනඟටත් සෑම පීඩාවකින්ම පහර දෙන්නෙමි. මා එසේ ක්‍රියා කරන්නේ මට සමාන කිසි දෙවි කෙනෙක් මේ පොළොවේ කොතැනකවත් නැති බව ඔබ දැනගන්නා පිණිසයි.+ 15  ඔබටත් ඔබේ සෙනඟටත් වසංගතයකින් පහර දී මේ පොළෝතලයෙන් ඔබව නැත්තටම නැති කර දමන්න මට හැකිකම තිබිණ.+ 16  නමුත් මා මේ වන තුරු ඔබට ජීවත් වීමට ඉඩහැරියේ+ ඔබට මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මාගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.+ 17  ඔබ තවමත් මගේ සෙනඟට යන්න නොදී අහංකාර ලෙස ක්‍රියා කරන්නෙහිද?+ 18  මම හෙට මේ වේලාවේදී මහා හිම කැට වර්ෂාවක් දේශය මතට ඇද හැළෙන්න සලස්වන්නෙමි. එවැනි වර්ෂාවක් මීට පෙර කිසි දිනක ඊජිප්තු දේශයට ඇද හැළුණේ නැත.+ 19  දැන් සේවකයන් යවා එළිමහනේ සිටින ඔබේ සතුන්ව හා ඔබට අයිති සෑම දෙයක්ම ආරක්ෂිත ස්ථානයකට ගෙන්වාගන්න. මන්ද එළිමහනේ සිටින ඕනෑම මනුෂ්‍යයෙක් හෝ සතෙක් හිම කැට වර්ෂාවට+ හසු වී මිය යනු ඇත.”’” 20  පාරාවෝගේ සේවකයන් අතරින් යෙහෝවා දෙවි කී දේට භය වූ අය තම සේවකයන්ව හා සත්ව රැළ ගෙට ගත්තෝය.+ 21  නමුත් යෙහෝවා දෙවි කී දේ නොතැකූ අය තම සේවකයන්ට හා සත්ව රැළට එළිමහනේ සිටීමට ඉඩහැරියෝය.+ 22  පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඊජිප්තු දේශය පිටට එනම්, එහි සියලු වැසියන්, සත්වයන් හා වගාබිම් පිටට හිම කැට+ වැටෙන පිණිස ඔබේ අත අහස දෙසට දිගු කරන්න.”+ 23  මෝසෙස්ද තම සැරයටිය අහස දෙසට දිගු කළේය. එවිට යෙහෝවා දෙවි ගර්ජනා හා අකුණු සැර මැද මහා හිම කැට වර්ෂාවක්+ ඇද හැළෙන්න සැලැස්වූවේය. මෙසේ, යෙහෝවා දෙවි ඊජිප්තු දේශය පිටට මහා හිම කැට වර්ෂාවක් ගෙනාවේය. 24  එය ඉතා දරුණු වර්ෂාවක් විය. අකුණු සැර මැද පොළොවට හිම කැට ඇද හැළුණේය. මින් පෙර කවදාවත් ඊජිප්තු දේශය මතට ඒ හා සමාන වර්ෂාවක් ඇද හැළී තිබුණේ නැත.+ 25  හිම කැට වර්ෂාව මුළු ඊජිප්තු දේශය පුරාම ඇති විය. ඒ නිසා එළිමහනේ සිටි මනුෂ්‍යයෝද සත්වයෝද සම්පූර්ණයෙන්ම විනාශ වූහ. එමෙන්ම සියලු වගාබිම්ද සියලු ගස් කොළන්ද විනාශ වී ගියේය.+ 26  ඊශ්‍රායෙල් ජනයා ජීවත් වූ ගෝෂෙන් දේශයට පමණක් ඒ වර්ෂාව ඇද හැළුණේ නැත.+ 27  පසුව පාරාවෝ පණිවිඩයක් යවා මෝසෙස්ව හා ආරොන්ව තමා වෙතට කැඳවා මෙසේ කීවේය. “මා පාපයක් කළ බව පිළිගන්නවා.+ යෙහෝවා දෙවියන් ධර්මිෂ්ඨයි.+ වරද මගේ හා මගේ සේවකයන්ගේ අතෙයි. 28  යෙහෝවා දෙවියන්ට කන්නලව් කර ගිගුරුම් හඬ දෙමින් ඇද හැළෙන මේ හිම කැට වර්ෂාව නතර කරන්න කියා කියන්න.+ මම ඔහුගේ සෙනඟට මේ දේශයෙන් පිටව යන්න අවසර දෙන්නම්.” 29  මෝසෙස්ද පාරාවෝට මෙසේ කීවේය. “මම නුවරින් පිටත්ව ගිය විගසම මගේ අත් ඔසවා යෙහෝවා දෙවිට කන්නලව් කරන්නම්.+ එවිට ගිගුරුම් දෙමින් ඇද හැළෙන මේ වර්ෂාව නතර වෙයි. එසේ සිදු වෙන්නේ පොළොවේ අයිතිකරු යෙහෝවා දෙවි බව ඔබ දැනගන්නා පිණිසයි.+ 30  නමුත් ඒ සියල්ල සිදු වූ පසුවද ඔබත් ඔබේ සේවකයනුත් යෙහෝවා දෙවිට ගරුබිය නොදක්වන බව මම හොඳාකාරව දන්නවා.”+ 31  ඒ දවස්වල බාර්ලි කරල් හටගෙන තිබූ අතර හණ පැළෑටිවල* මල් පීදී තිබිණ.+ ඒ සියල්ල හිම කැට වර්ෂාවෙන් නාස්ති වී ගියේය. 32  නමුත් ඒ වන විට තිරිඟු හා තණ හාල්*+ කරල් හටගෙන නොතිබුණු නිසා ඒවා නාස්ති නොවීය. 33  මෝසෙස්, පාරාවෝ ඉදිරියෙන් පිටත්ව ගියේය. ඔහු නුවරින් පිටතට ගොස් තම අත් ඔසවා යෙහෝවා දෙවිට කන්නලව් කළේය. එවිට ගිගුරුම් දෙමින් ඇද හැළුණු හිම කැට වර්ෂාව සම්පූර්ණයෙන්ම නතර විය.+ 34  වර්ෂාව නතර වූ බව දුටු පාරාවෝ නැවත වරක් තම සිත මුරණ්ඩු කරගනිමින් පව් කළේය.+ ඔහුගේ සේවකයෝද එලෙස ක්‍රියා කළෝය. 35  යෙහෝවා දෙවි, මෝසෙස්ට කී ලෙසම පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන සෙනඟට යන්න නොදුන්නේය.+

පාදසටහන්

නික් 3:19හි පාදසටහන බලන්න.
කෙඳි ලබාගැනීම සඳහා ඊජිප්තුවෙහි වගා කළ පැළෑටි වර්ගයකි. එම කෙඳි, රෙදි සෑදීම සඳහා භාවිත කෙරිණ.
කුරක්කන් වැනි ධාන්‍ය වර්ගයකි.