නික්මයාම 8:1-32

8  පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “පාරාවෝ ළඟට ගොස් මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසන්නේය. “මට නමස්කාර කරන පිණිස මගේ සෙනඟට යන්න දෙන්න.+  ඔබ ඔවුන්ට යන්න නොදුන්නොත් මැඩි වසංගතයකින් මම ඔබේ මුළු දේශයටම පහර දෙන්නෙමි.+  එවිට නයිල් ගඟ මැඩියන්ගෙන් පිරී ඉතිරී යනු ඇත. උන් ගඟෙන් එළියට ඇවිත් ඔබේ මාලිගාවටද ඔබේ නිදන කාමරයටද ඔබේ යහනටද ඔබේ සේවකයන්ගේ ගෙවල්වලටද පනින්නෝය. ඔබේ සෙනඟගේ ඇඟටද ඔබේ උදුන් හා පිටි භාජන තුළටද උන් පනින්නෝය.+  උන් ඔබේ ඇඟටත් ඔබේ සෙනඟගේ හා ඔබේ සියලු සේවකයන්ගේ ඇඟටත් පනිනු ඇත.”’”+  යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. “‘ඊජිප්තු දේශය මැඩියන්ගෙන් පිරී යන පිණිස එහි ඇළදොළ,* ගංගා හා පොකුණු දෙසට ඔබේ සැරයටිය+ දිගු කරන්න’ කියා ආරොන්ට කියන්න.”  ආරොන්ද ඊජිප්තු දේශයේ ජලාශ දෙසට තම අත දිගු කළේය. එවිට මැඩියෝ වතුරෙන් මතු වී මුළු දේශය පුරාම පැතිර ගියෝය.  එහෙත් මන්තර ගුරුකම් කරන පූජකයෝද තම මන්තර බලයෙන් ඊජිප්තු දේශයෙහි මැඩියන් ඇති වීමට සැලැස්වූවෝය.+  පසුව පාරාවෝ මෝසෙස්ව හා ආරොන්ව කැඳවා මෙසේ කීවේය. “ඔබ යෙහෝවා දෙවිට කන්නලව් කර+ මා වටාත් මගේ සෙනඟ වටාත් සිටින මේ මැඩියන්ව නැති කර දමන්න කියා කියන්න. ඔබේ දෙවි වන යෙහෝවාට පූජා ඔප්පු කිරීමට මම ඔබේ සෙනඟට යන්න දෙන්නම්.”+  එවිට මෝසෙස්, පාරාවෝට මෙසේ කීවේය. “ඔබ වටාත් ඔබේ නිවෙස්වලත් සිටින මැඩියන්ව නයිල් ගඟට පමණක් සීමා කරන පිණිස ඔබ වෙනුවෙනුත් ඔබේ සේවකයන් හා ඔබේ සෙනඟ වෙනුවෙනුත් මම කන්නලව් කළ යුත්තේ කවදාද කියා ඔබ මට කියන්න.” 10  පාරාවෝ පිළිතුරු දෙමින්, “හෙටම අපි වෙනුවෙන් කන්නලව් කරන්න” කියා කීවේය. මෝසෙස්ද, “ඔබ කියූ ලෙසම සිදු වෙයි. එසේ සිදු වෙන්නේ අපේ දෙවි වන යෙහෝවාට සමාන තවත් දෙවි කෙනෙක් නැති බව ඔබ දැනගන්නා පිණිසයි.+ 11  මැඩියෝ ඔබෙන් හා ඔබේ ගෙවල්වලින්ද ඔබේ සේවකයන්ගෙන්ද ඔබේ සෙනඟගෙන්ද ඉවත් වී යයි. උන් ගඟට පමණක් සීමා වෙයි.”+ 12  මෝසෙස් හා ආරොන්, පාරාවෝ ඉදිරියෙන් පිටත්ව ගියෝය. ඉන්පසු මෝසෙස්, පාරාවෝ වෙතින් මැඩියන් ඉවත් කරන ලෙස යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ 13  යෙහෝවා දෙවිද මෝසෙස්ගේ කන්නලව්වට සවන් දුන්නේය.+ එවිට ගෙවල්වල, මිදුල්වල හා වතුපිටිවල සිටි මැඩියෝ මිය ගියෝය. 14  ජනයා උන්ව එකතු කර සෑම තැනකම ගොඩ ගැසූහ. මුළු දේශය පුරාම දුගඳක් පැතිර ගියේය.+ 15  මැඩි වසංගතයෙන් සහනයක් ලැබූ බව දුටු පාරාවෝ, යෙහෝවා දෙවි කී ලෙසම තම සිත මුරණ්ඩු කරගත්තේය.+ ඔහු මෝසෙස්ට හා ආරොන්ට සවන් දුන්නේ නැත.+ 16  එහෙයින් යෙහෝවා දෙවි නැවත මෝසෙස්ට මෙසේ කීවේය. “ආරොන්ට මෙසේ කියන්න. ‘ඔබේ සැරයටියෙන්+ පොළොවට ගසන්න. එවිට ඊජිප්තු දේශය පුරාම ඇති දූවිලි, වැලි මැක්කන් බවට පත් වෙයි.’” 17  ඔවුහුද එලෙස කළෝය. ආරොන් තම සැරයටියෙන් පොළොවට ගැසූ විට දේශය පුරා තිබූ දූවිලි, වැලි මැක්කන් බවට හැරුණේය.+ උන් මිනිසුන්ගේ හා සතුන්ගේ ඇඟට නැග්ගෝය. 18  මන්තර ගුරුකම් කරන පූජකයන්ද තම මන්තර බලය යොදාගෙන+ දූවිල්ල, වැලි මැක්කන් බවට පත් කරන්න වෑයම් කළත් ඔවුහු අසාර්ථක වූහ.+ වැලි මැක්කෝ මිනිසුන්ගේද සතුන්ගේද ඇඟවල්වල සිටියෝය. 19  මන්තර ගුරුකම් කරන පූජකයෝ එය දැක, “මෙය දෙවිගේ+ බලයෙන්*+ කළ දෙයක්” කියා පාරාවෝට කීවෝය. නමුත් යෙහෝවා දෙවි කී ලෙසම පාරාවෝ තව තවත් මුරණ්ඩු වී+ ඔවුන් කී දේ ගණනකටවත් නොගත්තේය. 20  එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “උදේ පාන්දරින්ම නැඟිට පාරාවෝ ගඟ ළඟට එන වේලාවේදී ඔහු හමු වීමට+ ගොස් ඔහුට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි ඔබට මෙසේ පැවසුවේය. “මට නමස්කාර කරන පිණිස මගේ සෙනඟට යන්න දෙන්න.+ 21  ඔබ ඔවුන්ට යන්න නොදෙන්නේ නම් මම ඔබ පිටත් ඔබේ සේවකයන් හා ඔබේ සෙනඟ පිටත් ඔබේ ගෙවල් ඇතුළටත් ගඩු මැස්සන්*+ එවන්නෙමි. එවිට ඊජිප්තුවරුන්ගේ ගෙවල්ද ඔවුන් ජීවත් වන ප්‍රදේශයද ගඩු මැස්සන්ගෙන් පිරී යනු ඇත. 22  එහෙත් මගේ සෙනඟ පදිංචි වී සිටින ප්‍රදේශය වන ගෝෂෙන් මම ආරක්ෂා කරන්නෙමි. මා ඒ ප්‍රදේශයට ගඩු මැස්සන්ව යවන්නේ නැත.+ පොළොව පුරාම බලය විදහාපෙන්වන මා, යෙහෝවා දෙවි බව ඔබ දැනගන්නා පිණිස+ මම එසේ කරන්නෙමි. 23  මම මගේ සෙනඟ ඔබේ සෙනඟගෙන් වෙන් කරන්නෙමි.+ හෙට දවසේදී ඔබට එය දැකගන්න ලැබෙයි.” ’” 24  යෙහෝවා දෙවි තමා කී ලෙස කළේය. පාරාවෝගේ මාලිගාවටත් ඔහුගේ සේවකයන්ගේ ගෙවල්වලටත් ඊජිප්තුවේ සියලු ප්‍රදේශවලටත් ගඩු මැස්සෝ රංචු පිටින් ආවෝය.+ මැස්සන් නිසා දේශය නාස්ති විය.+ 25  අන්තිමේදී පාරාවෝ මෝසෙස්ව සහ ආරොන්ව කැඳවා, “නුඹලාගේ දෙවිට මේ දේශයේ සිටම නමස්කාර කරන්න”+ කියා කීවේය. 26  නමුත් මෝසෙස් ඔහුට මෙසේ කීවේය. “අපට එසේ කරන්න බැහැ. අපේ දෙවි වන යෙහෝවාට අපි ඔප්පු කරන පූජා ඊජිප්තුවරුන්ට පිළිකුලක් වෙයි.+ අපි ඊජිප්තුවරුන්ගේ ඇස් පනාපිටම එවැනි දෙයක් කළොත් ඔවුන් අපට ගල් ගසයි. 27  ඒ නිසා අපේ දෙවි වන යෙහෝවා කියූ ලෙස අපි දවස් තුනකට පාළුකරයට ගොස් ඔහුට පූජා ඔප්පු කරන්නම්.”+ 28  එවිට පාරාවෝ ඔවුන්ට මෙසේ කීවේය. “නුඹලාගේ දෙවි වන යෙහෝවාට පූජා ඔප්පු කිරීමට මම නුඹලාට පාළුකරයට+ යන්න දෙන්නම්.+ නමුත් ඊට වඩා දුර යන්න එපා. දැන් මා වෙනුවෙන් ඔබේ දෙවිට කන්නලව් කරන්න.”+ 29  එය අසා මෝසෙස් ඔහුට මෙසේ කීවේය. “මම දැන් මෙතැනින් පිටත්ව ගොස් යෙහෝවා දෙවිට ඔබ වෙනුවෙන් කන්නලව් කරන්නම්. හෙට දවස වන විට ඔබ වෙතිනුත් ඔබේ සේවකයන් හා සෙනඟ වෙතිනුත් ගඩු මැස්සෝ ඉවත් වී යන්නෝය. නමුත් කලින් වතාවලදී මෙන් මේ වතාවේදීත් ඔබ අපව රවටා, යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට සෙනඟට යන්න නොදී සිටින්න එපා.”+ 30  එසේ කියා පාරාවෝ ඉදිරියෙන් මෝසෙස් පිටත්ව ගොස් යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ 31  යෙහෝවා දෙවිද මෝසෙස්ගේ ඉල්ලීම ඉටු කළේය.+ ගඩු මැස්සෝ පාරාවෝ වෙතින්ද ඔහුගේ සේවකයන් හා ඔහුගේ සෙනඟ වෙතින්ද ඉවත්ව ගියෝය.+ එක මැස්සෙක්වත් ඉතුරු නොවීය. 32  නමුත් පාරාවෝ මේ වතාවේදීත් තම සිත මුරණ්ඩු කරගත්තේය. ඔහු සෙනඟට යන්න නොදුන්නේය.+

පාදසටහන්

නික් 7:19හි පාදසටහන බලන්න.
මූ.අ., “දෙවිගේ ඇඟිල්ලෙන්.”
අශ්වයන් ආදි සතුන්ගේ සිරුරෙහි වසන පරපෝෂිත කීටයෙකු ඇති මැසි වර්ගයකි.