එස්තර් 6:1-14

6  එදින රාත්‍රියේ රජුට නින්ද නොගිය නිසා+ රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ල+ ගෙනෙන ලෙස රජ තම සේවකයන්ට අණ කළේය. එවිට රජුගේ සේවකයෝ එම ලියවිල්ල ගෙනැවිත් රජුට ඇසෙන්න කියෙව්වෝය.  ඔවුන් කියවූ කොටසේ රජුගේ දොරටු පාලකයන් දෙදෙනෙකු වූ+ බිග්තාන් හා තෙරෙෂ්, අහෂ්වේරොෂ් රජුව මරා දැමීමට කළ කුමන්ත්‍රණය මොර්දෙකයි නම් තැනැත්තා හෙළි කළ ආකාරය+ ගැන සඳහන් වී තිබිණ.  එය රජුට ඇසුණු විට, “මොර්දෙකයි කළ ඒ යහපත් ක්‍රියාවට ගෞරවය පිරිනැමීමක් වශයෙන් ඔහුට ලබා දුන්නේ කුමක්ද” කියා සේවකයන්ගෙන් ඇසීය. එවිට සේවකයෝ, “ඒ වෙනුවෙන් මොර්දෙකයිට කිසිම දෙයක් ලබා දුන්නේ නැහැ”+ කියා රජුට පිළිතුරු දුන්නෝය.  පසුව රජ තම සේවකයන්ට කතා කර, “මළුවට ඇවිත් සිටින්නේ කවුද කියා බලන්න” යයි කීවේය. ඒ අවස්ථාවේදී හාමාන් තමන් සෑදූ කණුවේ මොර්දෙකයිව එල්ලා දැමීමට රජුගෙන් අවසර ලබාගැනීම සඳහා+ රජුගේ නිවසේ පිටත මළුවට පැමිණ සිටියේය.+  ඔහුව දුටු රජුගේ සේවකයෝ, “රජතුමනි, පිටත මළුවේ සිටගෙන සිටින්නේ හාමාන්”+ කියා රජුට කීවෝය. එවිට රජ, “ඔහුට එන්න කියන්න” යයි කීවේය.  හාමාන්, රජු ඉදිරියට පැමිණි විට රජ ඔහුගෙන් මෙසේ ඇසීය. “රජ්ජුරුවන් යම් කෙනෙකුට ගෞරවය ලබා දීමට කැමති නම් එවැනි කෙනෙක් වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද?”+ එවිට හාමාන්, “රජතුමා ඉතින් මට මිස ගෞරවයෙන් සැලකීමට කැමති වෙන කාටද”+ කියා සිතුවේය.  එහෙයින් හාමාන් රජුට මෙසේ කීවේය. “රජතුමනි, ඔබ ගෞරවය ලබා දීමට කැමති තැනැත්තාට මේ දේවල් කරන්න.  රජ්ජුරුවන් නැඟ යන, රාජකීය හිස පළඳනාවකින් සරසා සිටින අශ්වයෙකුවද+ රජ්ජුරුවන් අඳින රාජ වස්ත්‍රයක්ද+ ගෙනැවිත්  ගෞරවය ලබා දීමට කැමති ඒ තැනැත්තාට එම වස්ත්‍රය අන්දවා ඔහුව අශ්වයා පිට හිඳුවා නුවරෙහි+ ප්‍රධාන මංසන්ධිය වටා ගෙන යන්න.+ එසේ කිරීමේ වගකීම රජුගේ උසස් අධිපතීන්ගෙන් කෙනෙකුට+ භාර දෙන්න. එම තැනැත්තාව අසු පිට නංවාගෙන යන විට ඔහුට පෙරටුවෙන් යන සේවකයන්ට මෙසේ පැවසීමට අණ කරන්න. ‘ගෞරවය ලබා දීමට රජ්ජුරුවන් කැමති වූ තැනැත්තාට රජු ලබා දෙන ගෞරවය දෙස බලන්න!’+ 10  එවිට රජ හාමාන්ට මෙසේ කීවේය. “රාජ වස්ත්‍රයක්ද අශ්වයෙක්ද රැගෙන රජුගේ දොරටුව අසල සිටින යුදෙව් ජාතික මොර්දෙකයි වෙතට ඉක්මනින් යන්න. ඔබ පැවසූ සෑම දෙයක්ම ඔහුට කරන්න. එයින් කිසිවක් අඩු නොකරන්න.”+ 11  හාමාන් රාජ වස්ත්‍රය+ හා අශ්වයාව මොර්දෙකයි+ වෙතට රැගෙන ගියේය. ඔහු මොර්දෙකයිට එම වස්ත්‍රය අන්දවා ඔහුව අසු පිට නංවාගෙන නුවරෙහි ප්‍රධාන මංසන්ධිය+ වටා ගෙන ගියේය. ඔහුව එලෙස රැගෙන යන විට, “ගෞරවය ලබා දීමට රජ්ජුරුවන් කැමති වූ තැනැත්තාට+ රජු ලබා දෙන ගෞරවය දෙස බලන්න” කියා හඬ නඟා පවසන ලදි.+ 12  ඉන්පසු මොර්දෙකයි නැවත රජුගේ දොරටුව අසලට ගියේය.+ නමුත් හාමාන් තම හිස වසාගෙන ඉතා දුකින් නිවසට හැරී ගියේය.+ 13  තමන්ට සිදු වූ සියල්ල ගැන හාමාන් තම බිරිඳ වූ ෂෙරෙෂ්ටද+ තම මිත්‍රයන් සියලුදෙනාටද පැවසුවේය. එවිට ඔහුගේ උපදේශකයෝද+ ඔහුගේ බිරිඳද ඔහුට මෙසේ කීවෝය. “ඔබේ වැටීමට හේතු වූ මොර්දෙකයි යුදෙව්වෙක් නිසා ඔහුට විරුද්ධව නැඟී සිටින්න ඔබට කිසිසේත් හැකි වන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම ඔහු ඉදිරියේ පරාජයට පත් වෙනවා.”+ 14  ඔවුන් මේ දේවල් හාමාන්ට පවසමින් සිටියදී රජුගේ නිලධාරීහු පැමිණ එස්තර් බිසව සූදානම් කළ භෝජන සංග්‍රහයට+ හාමාන්ව ඉක්මනින්ම කැඳවාගෙන ගියෝය.+

පාදසටහන්