එසකියෙල් 7:1-27

7  යෙහෝවා දෙවි තවදුරටත් මට මෙසේ පැවසීය.  “මනුෂ්‍ය පුත්‍රය, මුළු විශ්වයටම අධිපති වූ යෙහෝවා දෙවි වන මා ඊශ්‍රායෙල් දේශයට විරුද්ධව පවසන්නේ මෙයයි. ‘මුළු දේශයේම අවසානය ළඟා වී තිබේ.+  ඒ අවසානය දැන් අත ළඟටම පැමිණ තිබේ.+ ඔබට විරුද්ධව මාගේ කෝපය ප්‍රකාශ කර, ඔබ කළ දේවලට අනුව මම ඔබව විනිශ්චය කරන්නෙමි.+ ඔබ කළ සියලුම පිළිකුල්සහගත දේවල ප්‍රතිඵල විඳින්න ඔබට සිදු වෙනවා ඇත.  මට ඔබ ගැන කිසි දුකක්වත්+ අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත. මන්ද ඔබ කර තිබෙන දේවලට අනුව මේ සියලු දඬුවම් ඔබ පිටට පැමිණිය යුතුමය. ඔබ කළ පිළිකුල්සහගත දේවල ප්‍රතිඵල ඔබ අනිවාර්යයෙන්ම අද්දකින්නහුය.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබ සැමට සිදු වෙනවා ඇත.’+  “මුළු විශ්වයටම අධිපති වූ යෙහෝවා දෙවි වන මම, ඔවුන්ට මෙසේද පවසමි. ‘බලන්න, විපත්තියක් පැමිණෙන්නේය! එය මෙතෙක් සිදු නොවූ දරුණු විපතකි.+  ඔබේ අවසානය පැමිණෙනවා ඇත.+ එය හදිස්සියේම ඔබ පිටට පැමිණෙන්නේය. අනිවාර්යයෙන්ම එය පැමිණෙනවා ඇත.+  දේශයේ වැසියෙනි, විපත්තිය නමැති මල් මාලය ඔබට පළඳවනු ලැබේ. ඒ දවස අනිවාර්යයෙන්ම පැමිණෙනවා ඇත. එය අත ළඟටම පැමිණ තිබේ.+ ඒ දවසේදී මහා ඝෝෂාවක් ඇසෙනු ඇත. එහෙත් එය කඳුවලින් නැඟෙන ප්‍රීති ඝෝෂාවක් නම් නොවේ.  “‘වැඩි කලක් යන්න මත්තෙන් ඔබට විරුද්ධව මාගේ උදහස වගුරුවන්නෙමි.+ මාගේ කෝපය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරන්නෙමි.+ ඔබ කළ දේවලට අනුව මා ඔබව විනිශ්චය කරන්නෙමි.+ ඒ නිසා ඔබ කළ සියලු පිළිකුල්සහගත ක්‍රියාවල ප්‍රතිඵල විඳින්න ඔබට සිදු වෙයි.  මට ඔබ ගැන කිසි දුකක්වත්+ අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත.+ මන්ද ඔබ කර තිබෙන දේවලට අනුව මේ සියලු දඬුවම් ඔබ පිටට පැමිණිය යුතුමයි. ඔබ කළ පිළිකුල්සහගත දේවල ප්‍රතිඵල ඔබ අනිවාර්යයෙන්ම අද්දකින්නහුය.+ එවිට ඔබට පහර දෙන්නේ යෙහෝවා දෙවි වන මා බව ඔබ සැමට පිළිගන්න සිදු වෙනවා ඇත.+ 10  “‘ඒ දවස පැමිණෙන්නේය.+ මෙන්න, ඒ දවස! විපත්තිය නමැති මල් මාලය ඔබට පැළඳවීමට කාලය අත ළඟය.+ අහංකාරකම වැජඹෙන කාලය පැමිණ ඇත.+ ඔබට දඬුවම් කිරීමට වේවැල සූදානම් කර තිබේ.+ 11  දුෂ්ටකමට දඬුවම් කිරීම සඳහා සැහැසියාව වේවැලක් සේ භාවිත කරනු ඇත.+ ධන සම්පත් තිබුණත් කීර්තිය තිබුණත් ඒ දඬුවමෙන් කිසිවෙකුට ගැලවිය නොහැක. කවුරු කුමක් කළත් ඉන් ගැලවිය නොහැක. 12  ඒ දවසත් ඒ කාලයත් පැමිණිය යුතුමය. මිල දී ගත් තැනැත්තාට ප්‍රීති වීමටවත්+ විකුණූ තැනැත්තාට දුක් වීමටවත් හේතුවක් නැත. මන්ද එහි සියලු වැසියන්ට විරුද්ධව දෙවිගේ උදහස එක හා සමානව ඇවිළ ඇත. 13  විකුණූ තැනැත්තාට තමා විකුණූ දේ දිවි ඇති තුරා නැවත ලැබෙන්නේ නැත. මන්ද මේ දර්ශනයේ පණිවිඩය මුළු සෙනඟටම අදාළ වන්නේය. ඔවුන්ගෙන් කිසිවෙක්වත් ආපසු පැමිණෙන්නේ නැත. තම දිවි ගලවාගැනීමට ඔවුන් යොදන කිසිම උපායක් සාර්ථක නොවන්නේය. 14  “‘ඔවුන් හොරණෑව පිඹ+ සියලුදෙනාව යුද්ධයට සූදානම් කරගෙන සිටියත් කිසිවෙක් යුද්ධයට යන්නේ නැත. මන්ද ඔවුන් සියලුදෙනාටම විරුද්ධව මාගේ උදහස ඇවිළ තිබේ.+ 15  නුවරින් පිටත සිටින අය කඩුවෙන්+ පහර කන්නෝය. නුවර ඇතුළෙහි සිටින අය සාගතයටත් වසංගතයටත් ගොදුරු වන්නෝය.+ යමෙකු කෙතේ සිටියොත් ඔහු කඩුවෙන් මිය යනු ඇත. නුවර ඇතුළේ සිටියොත් සාගතයටත් වසංගතයටත් ගොදුරු වනු ඇත.+ 16  ජීවිත ගලවාගෙන පලා යන සියල්ලන්+ කඳුවලට වී තමන් කළ වැරදි ගැන සිතමින් තැනිතලාවල ගැවසෙන පරෙවියන් මෙන් හඬනවා ඇත.+ 17  ඔවුන් සියලුදෙනාගේම දෑත් අප්‍රාණික වන්නේය.+ ඔවුන්ගේ දණහිස් තෙමී යන්නේය.*+ 18  ඔවුහු ගෝණි රෙදි ඇඳගෙන+ බියෙන් වෙවුලන්නෝය.+ ඔවුහු තමන්ගේ හිස බූ ගාගෙන+ ලැජ්ජාවෙන් මුහුණ පහත් කරගෙන සිටින්නෝය.+ 19  “‘ඔවුහු තමන් සතු රිදී වීථියට විසි කරන්නෝය. රත්තරන් පවා ඔවුන්ට පිළිකුලක් වනු ඇත. යෙහෝවා දෙවි තම උදහස ප්‍රකාශ කරන දවසේදී ඔවුන්ට තමන් සතුව තිබෙන රන් රිදීවලින් ගැලවීම ලබාගත නොහැක.+ ඔවුන්ට එයින් කිසි තෘප්තියක් ලැබෙන්නේ නැත. එයින් තමන්ගේ කුස පුරවාගන්නවත් ඔවුන්ට නොලැබෙයි. මන්ද ඔවුන් සතු ධනයම ඔවුන්ව වරදට හසු කර ඔවුන්ගේ වැටීමට හේතු වී ඇත.+ 20  ඔවුහු තම විසිතුරු ආභරණ ගැන මහත් ආඩම්බරයෙන් සිටින්නෝය. ඔවුහු තමන් සතු රන් රිදීවලින් පිළිකුල්සහගත රූප+ හා වෙනත් අපවිත්‍ර දේවල් සාදා ඇත.+ මා ඒ සියල්ල ඔවුන් ඉදිරියේ පිළිකුල් දේවල් බවට පත් කරන්නේ ඒ නිසාය.+ 21  මම විදේශිකයන්ටද පොළොවේ වෙසෙන දුෂ්ටයන්ටද ඔවුන්ගේ වටිනා දේ කොල්ල කෑමට ඉඩහරින්නෙමි.+ කොල්ලකරුවෝ ඒ සියල්ල අපවිත්‍ර කරන්නෝය. 22  “‘මම මාගේ මුහුණ ඔවුන්ගෙන් ඉවතට හරවාගන්නෙමි.+ ඔවුහු මාගේ ශුද්ධස්ථානය* කෙලෙසන්නෝය. කොල්ලකරුවෝ ඒ තුළට කඩාවැද එය කෙලෙසනවා ඇත.+ 23  “‘විලංගු සූදානම් කරගන්න.+ මන්ද අසාධාරණ විනිශ්චයන් නිසා දේශය ලෙයින් තෙත් වී තිබේ.+ නුවරද සැහැසියාවෙන් පිරී ඇත.+ 24  මම ජාතීන් අතරේ සිටින දරුණුම අයව කැඳවන්නෙමි.+ ඔවුහු ඇවිත් ජනයාගේ නිවෙස්වල පදිංචි වන්නෝය.+ අහංකාරකමින් ඉදිමී සිටින බලවතුන්ව මම පහත් කරන්නෙමි.+ ඔවුන්ගේ ශුද්ධස්ථානද කෙලෙසනු ලබනවා ඇත.+ 25  ඔවුහු මහත් සේ වේදනා විඳින්නෝය. ඔවුන් සාමය පැතුවත් ඔවුන්ට එය ලැබෙන්නේ නැත.+ 26  විපත්ති එක පිට එක ඔවුන් පිටට පැමිණෙන්නේය.+ ඔවුන්ට කෙළවරක් නැතුව නරක ආරංචි අසන්න ලැබේ. ජනයා අනාගතවක්තෘවරයෙකුගෙන් දර්ශනයක් ලබන්න උත්සාහ කළත් ඔවුන්ට එයින් කිසි පලක් නොවෙයි.+ පූජකයන්ගෙන් නීතිය ගැන නිසි අවබෝධයක් ලබාගන්නවත් වැඩිහිටියන්ගෙන් හොඳ උපදෙස් ලබාගන්නවත් ඔවුන්ට නොහැකි වෙයි.+ 27  රජ පවා වැලපෙන්නේය.+ අධිපතීන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේය.+ දේශයේ වැසියන්ගේ දෑත් වෙවුලන්නේය. ඔවුන්ගේ ක්‍රියාවලට අනුව මම ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමි.+ මම ඔවුන්ව විනිශ්චය කර ඔවුන්ට ලැබිය යුතු දඬුවම ලබා දෙන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වෙනවා ඇත.’”+

පාදසටහන්

දණහිස් තෙමී යන්නේ බිය වූ ඔවුන්ගෙන් මූත්‍රා පිට වන නිසාය.
හෝ, “රහස් ස්ථානය.”