එසකියෙල් 6:1-14

6  යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය.  “මනුෂ්‍ය පුත්‍රය, ඔබ ඊශ්‍රායෙල් දේශයේ කඳු දෙසට හැරී ඒවාට+ විරුද්ධව අනාවැකි කියන්න.+  ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘ඊශ්‍රායෙල් දේශයේ කඳු සියල්ලෙනි, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබට පවසන මේ වදන්වලට සවන් දෙන්න.+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි කඳුවලටත් හෙල්වලටත්+ දිය පහරවලටත් නිම්නවලටත් පවසන්නේ මෙයයි. “මම ඔබට විරුද්ධව කඩුවක් ගෙනෙන්නෙමි. මම ඔබේ පූජනීය ස්ථාන අනිවාර්යයෙන්ම විනාශ කර දමන්නෙමි.+  ඔබ සාදාගත් පූජාසන විනාශ කරනු ලබන්නේය.+ ඔබ සුවඳ දුම් ඔප්පු කරන පූජාසනද කඩා බිඳ දමනු ලබන්නේය. ඔබේ සෙනඟ ඔබ සාදාගත් පිළිකුල්සහගත රූප ඉදිරියෙහිම මැරී වැටෙන්නෝය.+  මම ඊශ්‍රායෙල්වරුන්ගේ මළ සිරුරු ඔවුන්ගේම පිළිකුල්සහගත රූප ඉදිරියෙහි තබන්නෙමි. ඔවුන් සාදාගත් පූජාසන වටේට ඔවුන්ගේ ඇටකටු විසුරුවා දමන්නෙමි.+  ඔබගේ සෑම නුවරක්ම+ පාළුවට ගොස් විනාශ වී යන අතර+ එහි තිබූ පූජනීය ස්ථානද නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ ඔබේ පූජාසන කඩා බිඳ දමනු ලබන්නේය. ඔබේ පිළිකුල්සහගත රූපද+ සුවඳ දුම් ඔප්පු කරන පූජාසනද+ විනාශ කරනු ලබන්නේය.+ ඔබ සාදාගත් ඒ සෑම දෙයක්ම සුනුවිසුනු වී යන්නේය.  ඔබේ ඇස් ඉදිරිපිටම ඔබේ සෙනඟ මැරී වැටෙන්නෝය.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.*+  “‘“එහෙත් ඒ දේ සිදු වන විට ඔබ අතර සිටින කුඩා පිරිසකට බේරී ජීවත් වෙන්න මම ඉඩහරින්නෙමි. ඔවුහු කඩුවෙන් ගැලවී ජාතීන් අතරටද විවිධ දේශයන් වෙතටද විසිර යන්නෝය.+  ඒ විනාශයෙන් බේරෙන අයව ජාතීන් අතරට වහලුන් ලෙස ගෙන යන විට ඔවුහු සැබවින්ම මාව සිහි කරනවා ඇත.+ ඔවුන්ගේ සිත් වේශ්‍යාකමට ලොල් වී තිබෙන නිසාත් ඔවුන්ගේ දෑස් පිළිකුල්සහගත රූප දෙසට යොමු වී ඇති නිසාත්+ මම දැඩි ශෝකයට පත්ව සිටිමි.+ එලෙස ඔවුන් මට ද්‍රෝහි වූ නිසා මා දැඩි ශෝකයෙන් සිටින බව ඔවුහු තේරුම්ගන්නෝය. එවිට තමන් කළ සියලුම දූෂිත දේවල් ගැන ඔවුන්ට මහත් පිළිකුලක් දැනෙයි.+ 10  මා පවසන්නේ නිකම්ම හිස් වචන නොවේ.+ මා කියූ සෑම විපතක්ම ඔවුන් පිටට පැමිණෙනවා ඇත.+ එවිට මා යෙහෝවා දෙවි බව ඔවුන්ට පිළිගන්න සිදු වෙනවා ඇත.”’” 11  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඊශ්‍රායෙල් ජනතාවට විඳින්න සිදු වන නපුරු, පිළිකුල්සහගත දේවල් සියල්ල නිසා+ ඔබේ අත්ලට ගසාගනිමින්ද+ ඔබේ පය පොළොවට ගසමින්ද ‘අහෝ’ කියා විලාප නඟන්න. මන්ද ඔවුහු කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතයෙන්ද පහර කනවා ඇත.+ 12  දුර ඈත සිටින අය+ වසංගතයෙන්ද ළඟපාත සිටින අය කඩු පහරින්ද විනාශ වී යනු ඇත. එවන් විපතකට හසු නොවී බේරුණු අය සාගතයෙන් මිය යනු ඇත. මමද ඔවුන්ට විරුද්ධව මාගේ උදහස සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරන්නෙමි.+ 13  මිය යන අයගේ මළ සිරුරු සෑම තැනකම වැටී ඇති අයුරු දක්නට ලැබෙනවා ඇත. ඒවා ඔවුන්ගේ පිළිකුල්සහගත රූප අතරද+ ඔවුන්ගේ පූජාසන වටාද+ සියලුම හෙල්+ හා කඳු මුදුන් මතද+ සරුසාරව වැඩෙන සියලුම ගස් යටද+ අතු විහිදී ඇති සෑම විශාල ගසක් යටද+ දක්නට ලැබේ. ඔවුහු තම පිළිකුල්සහගත රූප ඉදිරියේ ප්‍රසන්න සුවඳක් නැඟෙන පිණිස ඒ සෑම තැනකම පූජා ඔප්පු කළෝය.+ ඒ දේ සිදු වන කල, මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබ සැමට සිදු වෙනවා ඇත.+ 14  මම ඔවුන්ට විරුද්ධව මාගේ අත ඔසවා+ දේශය පාළු බිමක් බවට පත් කරන්නෙමි. ඔවුන්ගේ සියලුම වාසස්ථානද පාළු කරන්නෙමි. එය දිබ්ලා නම් ස්ථානය දෙසට විහිදී තිබෙන පාළුකරයටත් වඩා අන්ත තත්වයකට පත් වන්නේය. එවිට මා යෙහෝවා දෙවි බව ඔවුන්ට පිළිගන්න සිදු වෙනවා ඇත.”

පාදසටහන්

මුල් වරට සඳහන් වන මේ යෙදුම මෙම පොතේ 60 වතාවකටත් වැඩියෙන් දක්නට ලැබේ. ඉන් අදහස් වන්නේ, මිහිපිට යෙහෝවා දෙවිගේ නාමය සියල්ලන් ඉදිරියේ මහිමයට පත් කරන බවයි.