එසකියෙල් 5:1-17

5  “මනුෂ්‍ය පුත්‍රය, තියුණු කඩුවක් ඔබේ අතට ගෙන කරණවෑමියෙකුගේ දැළි පිහියක් ලෙස එය භාවිත කරන්න. එයින් ඔබේ හිස බූ ගා ඔබේ රැවුලද කපාගන්න.+ ඉන්පසුව තරාදියක් ගෙන කපන ලද කෙස් කිරා කොටස්වලට වෙන් කරන්න.  වටලෑම සඳහා නියම කර තිබූ දින ගණන නිම වූ සැණින්+ කොටස් තුනකට වෙන් කළ කෙස්වලින් එක කොටසක් ගෙන එය නුවර මැද ගින්නෙන් පුලුස්සා දමන්න. ඉන්පසුව තවත් කොටසක් ගෙන එය නුවර වටේට අල්ලමින් එයට කඩුවෙන් පහර දෙන්න.+ ඉතුරු කොටස ගෙන අහසට විසි කරන්න. එම කොටසට විරුද්ධවත් මම කඩුවක් ඔසවන්නෙමි.+  “විසි කරන කෙස්වලින් ස්වල්ප කොටසක් ඉතුරු කරගෙන ඔබේ වස්ත්‍රයේ ඔතාගන්න.+  එයින් තවත් ස්වල්පයක් ගෙන ගින්න මැදට හෙළා පිලිස්සිය යුතුයි. ඒ ගින්න මුළු ඊශ්‍රායෙල් ජාතියටම විරුද්ධව ඇවිළෙනවා ඇත.”+  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මේ තිබෙන්නේ යෙරුසලම් නගරයයි. විවිධ දේශවලින් වට වී සිටින සේ මම ඇයව ජාතීන් මැද පිහිටෙව්වෙමි.  නමුත් ඇය ක්‍රියා කළේ එම ජාතීන්ටත් වඩා දුෂ්ට ලෙසය.+ ඇය මාගේ අණපනත්වලට එකඟව ගමන් කළේ නැත. ඇය මා තීන්දු කළ දේ ප්‍රතික්ෂේප කරමින් මට විරුද්ධව කැරලිගැසුවාය.”+  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබ හැසිරී ඇත්තේ අවට සිටින සියලු ජාතීන්ටත් වඩා නොහික්මුණු ආකාරයකිනි.+ මාගේ අණපනත්වලට අනුව ඔබ ගමන් කළේ නැත. මා තීන්දු කළ දේ පිළිගන්නවා වෙනුවට+ ඔබ අවට සිටින ජාතීන්ගේ තීන්දුවලට එකඟව ක්‍රියා කළහුය.”+  ඒ නිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “නුවරේ වැසියෙනි! සියලු ජාතීන්ගේ ඇස් පනාපිටම+ මම ඔබට විරුද්ධව තීන්දු කර ඇති දේ ක්‍රියාත්මක කරන්නෙමි.+  ඔබ කළ සියලුම පිළිකුල්සහගත දේවල් නිසා මම ඔබට විරුද්ධව මහත් විපතක් ගෙනෙන්නෙමි. මා මීට පෙර කෙදිනකවත් එවැනි දෙයක් සිදු කළේවත් මින් මත්තට එවැනි දෙයක් සිදු කරන්නේවත් නැත.+ 10  “ඔබ අතරේ සිටින පියවරු තම පුතුන්ව මරා කන්නෝය.+ පුත්‍රයෝ තම පියවරුන්ව මරා කන්නෝය. මමද ඔබට විරුද්ධව මාගේ විනිශ්චය ක්‍රියාත්මක කර ඔබෙන් ඉතුරු වන අයව සතර දිග සුළඟට ගසාගෙන යෑමට සලස්වන්නෙමි.”+ 11  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ජීවමාන දෙවිය. එබැවින් මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය. ඔබේ සියලු පිළිකුල්සහගත, නින්දිත ක්‍රියාවලින්+ ඔබ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කළ නිසා+ මම ඔබව විනාශ කර දමන්නෙමි.+ මට ඔබ ගැන කිසි අනුකම්පාවක්වත්+ දුකක්වත් ඇති වන්නේ නැත.+ 12  ඔබෙන් තුනෙන් කොටසක් වසංගත නිසාත් සාගතය නිසාත් මිය යන්නෝය.+ ඔවුහු ඔබ ඉදිරියේම මිය යන්නෝය.+ තවත් කොටසක් ඔබ ඉදිරිපිටම කඩුවෙන් මිය යන්නෝය. මම ඉතුරු කොටස සතර දිග සුළඟ මගින් විසුරුවාහැර+ ඔවුන්ට විරුද්ධව කඩුවක්ද ඔසවන්නෙමි.+ 13  මෙසේ, මම මාගේ කෝපය පිට කරන්නෙමි.+ එවිට මාගේ උදහස පහ වී ගොස්+ මට සැනසීමක් ලැබෙනු ඇත.+ මා ඔබට විරුද්ධව මාගේ උදහස සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරන විට යෙහෝවා දෙවි වන මා එලෙස ක්‍රියා කළේ ඇයි කියා ඔබ දැනගන්නහුය. මා වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි සේ හෙළාදකින බව ඔබ එවිට දැනගන්නහුය.+ 14  “මම ඔබව පාළු තැනක් බවට පත් කරන්නෙමි. ඔබ අවට සිටින සියලු ජාතීන් ඉදිරියේ ඔබව නින්දාවට පත් කරන්නෙමි. ඔබ අවටින් ගමන් කරන සෑම කෙනෙක්ම ඔබට සිදු වූ නින්දාව දකිනු ඇත.+ 15  මම ඔබට විරුද්ධව මාගේ උදහස පිට කරමින් මාගේ විනිශ්චය ක්‍රියාත්මක කරන්නෙමි. ඔබට විරුද්ධව දැඩි දඬුවම් පමුණුවන්නෙමි.+ එවිට ඔබ වටා සිටින ජාතීන් අතරේ ඔබ නින්දාවට පත් වී+ ඔවුන්ගේ සරදමට ලක් වනු ඇත.+ ඔබට සිදු වූ දේ අවට සිටින ජාතීන්ට අනතුරු ඇඟවීමක් වනු ඇත.+ ඔවුහු ඔබ දෙස බලා තැතිගන්නෝය. මේ දේ පවසන්නේ වෙන කිසිවෙකු නොව යෙහෝවා දෙවි වන මමය. 16  “මා ඔබව විනාශ කරන පිණිස ඔබට විරුද්ධව සාගතයක් ගෙනෙන්නෙමි.+ එම සාගතය දරුණු ඊතල ප්‍රහාරයක් මෙන් වන්නේය.+ මම ඒ සාගතය තව තවත් වැඩි කරන අතර ඔබේ ආහාර ගබඩාවන්* බිඳ දමන්නෙමි.+ 17  මම සාගතයෙන් ඔබට පහර දෙන්නෙමි. දරුණු වනමෘගයන් ඔබ අතරට එවන්නෙමි.+ ඔබේ දරුවන් ඔබට අහිමි වෙයි. ඔබ වසංගතයෙන්ද පීඩා විඳින්නහුය.+ ඔබේ දේශය පුරාම ලේ වැගිරීම් සිදු වනු ඇත.+ මම ඔබට විරුද්ධව කඩුවක්ද ඔසවන්නෙමි.+ මේ දේ පවසන්නේ වෙන කිසිවෙකු නොව යෙහෝවා දෙවි වන මමය.”

පාදසටහන්

ලෙවී 26:26හි පාදසටහන බලන්න.