එසකියෙල් 47:1-23

47  ඔහු නැවත මාව දේවමාලිගාවේ දොරකඩ අසලට ගෙනාවේය.+ නැඟෙනහිර දෙසට මුහුණ ලා පිහිටි දේවමාලිගාවට පිවිසෙන දොරටුවට යටින්+ ජල ධාරාවක් ගලා ගියේය.+ දේවමාලිගාවේ සිට නික්ම ආ ඒ ජල ධාරාව පූජාසනය පසු කරමින් නැඟෙනහිර දෙසට ගලාගෙන ගියේය. එය ගලා ගියේ පූජාසනයේ දකුණු පැත්තෙනි.  ඉන්පසු ඔහු මාව උතුරු දෙසින් පිහිටි ඇතුල් වීමේ ශාලාවෙන් පිටතට රැගෙන ආවේය.+ එතැන් සිට ඔහු මාව නැඟෙනහිර දෙසින් තිබෙන පිටත මළුවට ඇතුල් වන ශාලාව ළඟට ගෙනාවේය.+ දේවමාලිගාවේ සිට පැමිණි ජල ධාරාව+ එම ශාලාවට දකුණු පසින් ගලාගෙන ගියේය.  ඒ මිනිසා ජල පහර දිගේ නැඟෙනහිර දෙසට ගොස් තම අතේ ඇති මිනුම් දණ්ඩෙන්+ රියන් දහසක් මැන්නේය. ඉන්පසුව ඒ ජල පහරට බසින්න කියා ඔහු මට කීවේය. එහි ජල මට්ටම මාගේ වළලුකර දක්වා තිබිණ.  එතැන් සිට ඔහු තවත් රියන් දහසක් මැන්නේය. ඉන්පසු ජල පහර දිගේ ඇවිදගෙන එන්න කියා ඔහු මට කීවේය. එහි ජල මට්ටම මාගේ දණහිස් දක්වා තිබිණ. ඔහු තවත් රියන් දහසක් මැන්නේය. ඔහු කී පරිදි මම නැවතත් ජල පහර දිගේ ඉදිරියට ගමන් කළෙමි. එවිට ජල මට්ටම මගේ ඉණ දක්වා වැඩි වී තිබිණ.  එතැන් සිට ඔහු තවත් රියන් දහසක් ඉදිරියට මැන්නේය. ඒ අවස්ථාවේදී ජල පහර දිගේ ඇවිදගෙන යන්න මට බැරි විය. මන්ද ජල පහර ගැඹුරු ගංගාවක් බවට පත් වී තිබිණ. එය හරහා යෑමට නම් පීනන්න අවශ්‍ය විය.  එවිට ඔහු ගංගාවේ බැස සිටි මාව ඉවුර අසලට කැඳවා, “මනුෂ්‍ය පුත්‍රය, ඔබ මේ දේ දුටුවාද” කියා ඇසීය.  මා බැලූ විට, ගංගාව දෙපස ඉවුරේ ගස් බොහොමයක් වැවී තිබුණේය.+  එවිට ඔහු මට මෙසේ පැවසීය. “නැඟෙනහිර දෙසට ගලා යන මේ ගංගාව අරබා ප්‍රදේශය+ මැදින් ගොස් මුහුදට* ගලා බසී.+ එය මුහුදට ගලා ගොස්+ එහි ජලය නැවුම් ජලය බවට හරවන්නේය.  ක්‍රමක්‍රමයෙන් විශාල වන මෙම ගංගාව* ගලා බසින සෑම ප්‍රදේශයකම විවිධාකාර සත්තු බොහොමයක් ජීවත් වනු ඇත.+ මේ ගංගාව මුහුදට ගලා බසින විට මුහුදේ ජලය නැවුම් ජලය බවට හැරෙන නිසා+ එහි මත්ස්‍යයෝ සුලබව සිටිති. ගංගාව ගලා බසින සෑම තැනකම විවිධාකාර සතුන් බොහොමයකට ජීවත් වීමට හැකි වෙයි. 10  “ඒන්-එග්ලයිම් සිට ඒන්-ගෙදී+ දක්වා වෙරළ තීරය දිගේ ධීවරයෝ බොහෝදෙනෙක් සිටිනු ඇත. ඔවුන්ගේ දැල් වේළීම සඳහා ස්ථානයක්ද එහි තිබෙනු ඇත. මහ මුහුදේ*+ මෙන් විවිධාකාර මත්ස්‍යයෝ බොහොමයක් මෙම මුහුදේද ජීවත් වෙති. 11  “නමුත් ගංගාව ගලා නොගිය මුහුද අවට ඇති මඩ වගුරු හා වගුරුබිම් පවිත්‍ර වන්නේ නැත.+ ඒවා ලුණු සහිත නිසරු බිම් ලෙස අත්හරිනු ලැබේ.+ 12  “ගංගාවේ ඉවුරු දෙපස විවිධාකාර පලතුරු ගස් සරුවට වැඩෙනු ඇත.+ ඒවායේ කොළ මැලවී නොයයි.+ ඒවායේ පලදාවද කිසිදා නතර නොවේ.+ සෑම මාසයක් පාසාම ඒවායේ අලුත් පල හටගන්නේය. මන්ද එම ගස්වලට ජලය ලැබෙන්නේ දේවමාලිගාවෙන් ගලා එන ගංගාවෙනි.+ එහි පල ආහාර පිණිසද එහි කොළ සුව කිරීම පිණිසද යොදාගනු ලබන්නේය.”+ 13  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊශ්‍රායෙල් ජාතියේ ගෝත්‍ර දොළහ සඳහා උරුමයක් ලෙස ඔබ දිය යුත්තේ මෙම දේශයයි. යෝසෙප්ගේ පුත්‍රයන් සඳහා කොටස් දෙකක් දිය යුතුය.+ 14  ජනයෙනි, මේ දේශය උරුම වන්නේ ඔබටය. සෑම කෙනෙකුටම තමාගේ සහෝදරයාට ලැබෙන උරුමයට සමාන උරුමයක් ලැබෙන්නේය. මේ දේශය ඔබේ මුතුන්මිත්තන්ට දෙන බවට+ මම අත ඔසවා දිවුරුවෙමි.+ එය ඔබට උරුමයක් ලෙස ලැබෙන්නේය.+ 15  “ඔබට උරුම වන දේශයේ උතුරු දේශ සීමාව මෙයයි. එය මහ මුහුදෙන් ආරම්භ වී හෙත්ලොන්+ නම් ස්ථානය දෙසට යන මාර්ගය ඔස්සේ ගොස් ෂෙදාද්,+ 16  හමාත්,+ බෙරොතා+ හා සිබ්‍රායිම් නම් ස්ථාන දක්වා දිව යයි. මෙම ස්ථාන පිහිටා තිබෙන්නේ හමාත්හි දේශ සීමාව හා දමස්කයේ+ දේශ සීමාව අතරය. එතැන් සිට එය හවුරාන්හි+ දේශ සීමාව ළඟ පිහිටි හෂෙර්-හත්තිකොන් නම් ස්ථානය දක්වා දිව යයි. 17  මෙසේ, මෙම සීමාව මහ මුහුදේ සිට දමස්කයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි හෂර්-ඒනොන්+ නම් ස්ථානය දක්වාද උතුරට වෙන්න පිහිටි හමාත්හි+ දේශ සීමාව දක්වාද විහිදී යයි. දේශයේ උතුරු සීමාව වන්නේ එයයි. 18  “නැඟෙනහිර දේශ සීමාව මැනිය යුත්තේ මෙයාකාරයටයි. එම දේශ සීමාව හවුරාන්+ හා දමස්කය+ මැදින් දිව ගොස් ඊශ්‍රායෙල් දේශය හා ගිලියද් දේශය+ අතර පිහිටි යොර්දාන් ගඟ+ හරහා නැඟෙනහිර මුහුද* දක්වා විහිදී යයි. දේශයේ නැඟෙනහිර සීමාව වන්නේ එයයි. 19  “දකුණු දේශ සීමාව මෙයයි. එය තාමර්+ නම් ස්ථානයේ සිට මෙරිබාත්-කාදෙෂ්හි+ දිය පහර දක්වාද ඉන්පසුව ඊජිප්තු නිම්නය+ දිගේ මහ මුහුද දක්වාද විහිදී යයි. නෙගෙබ් නම් ප්‍රදේශයට යාබදව පිහිටි දකුණු දේශ සීමාව වන්නේ එයයි. 20  “බස්නාහිර දේශ සීමාව නම් මහ මුහුදේ වෙරළ තීරයයි. එය මහ මුහුදේ වෙරළ දිගේ හමාත් දේශයෙහි+ සීමාව දක්වා විහිදී යයි. දේශයේ බස්නාහිර සීමාව වන්නේ එයයි.” 21  “ඔබ මෙම දේශය ඊශ්‍රායෙල් ජාතියේ ගෝත්‍ර දොළහ අතරේ බෙදා දිය යුතුය. 22  ඔබ එය උරුමයක් ලෙස ඊශ්‍රායෙල් සෙනඟටත්+ ඔවුන් අතරේ වාසය කරන විදේශිකයන්ටත් බෙදා දිය යුතුය.+ ඔබ අතරේම ජීවත් වෙමින් දරුවන් බිහි කර ඇති එම විදේශිකයන්ට ඊශ්‍රායෙල් පුත්‍රයන්ට හා සමානව සැලකිය යුතුය. ඊශ්‍රායෙල් සෙනඟට සමානව ඔවුන්ටද උරුමයක් හිමි වන්නේය.+ 23  විදේශිකයෙකුට උරුමයක් ලෙස ලැබෙන ඉඩම ඔහුට ලබා දිය යුත්තේ ඔහු පදිංචි වී සිටින ගෝත්‍රයට අයත් ප්‍රදේශයෙනි.” එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.

පාදසටහන්

එනම්, මළ මුහුදට.
මූ.අ., “ජල පහර දෙක.” මෙයින් අදහස් වන්නේ, ජල පහර ප්‍රමාණයෙන් දෙගුණයක් වී ඇති බවයි.
එනම්, මධ්‍යධරණී මුහුද.
එනම්, මළ මුහුද.