එසකියෙල් 43:1-27

43  පසුව ඔහු මාව නැඟෙනහිර දෙසින් පිහිටි ඇතුල් වීමේ ශාලාව ළඟට ගෙන ගියේය.+  එවිට නැඟෙනහිර දෙසින්+ ඊශ්‍රායෙල්හි දෙවිගේ තේජස+ පැමිණෙනවා මම දුටුවෙමි. දෙවිගේ හඬ මහා ජල ධාරාවක ඝෝෂාව මෙනි.+ මුළු පොළොවම ඔහුගේ තේජසින් බැබළුණේය.+  මා දකිමින් සිටියේ කලින් මා දුටු දර්ශනයට සමාන දෙයකි.+ එය නුවරට අත් වීමට යන විනාශය ගැන කියන්න මා පැමිණි විට*+ දුටු දර්ශනයට සමාන විය. මම කේබාර් ගඟ අසබඩ සිටියදී දුටු දර්ශනයේ තිබූ දේවලට සමාන දේවල් මේ දර්ශනයේදීද දුටිමි.+ එය දුටු විට මම මුණින් වැටුණෙමි.  යෙහෝවා දෙවිගේ තේජස+ නැඟෙනහිර දෙසින් පිහිටි ඇතුල් වීමේ ශාලාවෙන් ඇතුල් වී දේවමාලිගාවට පැමිණියේය.+  එවිට යම් බලයක්* මාව ඔසවාගෙන+ ඇතුල් මළුවට ගෙනාවේය. ඒ අවස්ථාවේදී, දේවමාලිගාව යෙහෝවා දෙවිගේ තේජසින් පිරී තිබුණේය.+  එවිට දේවමාලිගාවේ සිට යම් කෙනෙකු කතා කරනවා මට ඇසිණ.+ මට දේවමාලිගාවේ විස්තර පෙන්වූ තැනැත්තා ඒ අවස්ථාවේදී මා ළඟ සිටගෙන සිටියේය.+  දෙවි මට මෙසේ පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, මාගේ සිංහාසනය මෙයයි.+ මා පා තබන ස්ථානය මෙයයි.+ මම මේ ස්ථානයේ සිට ඊශ්‍රායෙල් පුත්‍රයන් සමඟ සදහටම වාසය කරන්නෙමි.+ අතීතයේදී මාගේ සෙනඟද ඔවුන්ගේ රජවරුද+ වේශ්‍යාකම් කිරීමෙන් හා තම රජවරුන්ගේ මළ කඳන්*+ මාගේ ශුද්ධ භූමියේ තැබීමෙන් මාගේ ශුද්ධ නාමයට නින්දා ගෙනාවෝය. නමුත් නැවත කිසිදා එසේ කරන්න මම ඔවුන්ට ඉඩ නොදෙන්නෙමි.+  ඒ අරමුණින්ම ඔවුහු තම පූජනීය ස්ථානය මාගේ ශුද්ධස්ථානය අසලම ගොඩනැඟුවෝය. ඔවුන්ගේ දේවාලවල උළුවහු ඉදි කළේ මාගේ දේවමාලිගාවේ උළුවහු අසලය. ඔවුන්ගෙන් මාව වෙන් කිරීමට තිබුණේ දේවමාලිගාවේ බිත්තිය පමණි.+ මෙම පිළිකුල්සහගත දේවල් කර ඔවුහු මාගේ ශුද්ධ නාමය නින්දාවට පත් කළෝය.+ ඒ නිසා මාගේ උදහස පිට කරමින් මම ඔවුන්ව විනාශ කර දැමුවෙමි.+  මෙතැන් පටන් ඔවුන් තම වේශ්‍යාකම් නතර කළ යුතුය.+ ඔවුන්ගේ රජවරුන්ගේ මළ කඳන්ද මාගේ ශුද්ධ භූමියෙන් ඉවත් කළ යුතුය.+ එවිට මම ඔවුන් සමඟ සදහටම වාසය කරන්නෙමි.+ 10  “මනුෂ්‍ය පුත්‍රය, ඔබ දුටු දේවමාලිගාව ගැන ඊශ්‍රායෙල් ජනයාට පවසන්න.+ එවිට ඔවුහු තමන් කළ වැරදි ගැන ලැජ්ජාවට පත් වනු ඇත.+ ඔවුන් දේවමාලිගාවේ සැලැස්ම බලා එහි සියලු අංග මැනිය යුතුය. 11  ඔවුන් තමන් කළ සියලු වැරදි ගැන ලැජ්ජාවට පත් වෙනවා නම් දේවමාලිගාවේ භූමියේ සැලැස්ම,+ දේවමාලිගාවට ඇතුල් වන හා පිට වන ස්ථාන, එහි සියලු මිනුම් හා ඊට අදාළ සියලු නීතිරීති ඔබ ඔවුන්ට දැනුම් දෙන්න. ඔවුන් එහි භූමියේ සැලැස්ම හා සියලු මිනුම් ගැන දැනුවත් වී ඊට අදාළ නීතිරීති සියල්ල පිළිපදින පිණිස ඔවුන්ගේ ඇස් ඉදිරියේම ඒවා සටහන් කරන්න.+ 12  දේවමාලිගාව සම්බන්ධයෙන් පිළිපැදිය යුතු නීතිය මෙයයි. දේවමාලිගාව පිහිටා ඇති කඳු මුදුනත් ඒ අවට මුළු භූමියත් ඉතා ශුද්ධය.+ 13  “පූජාසනය මැන ඇත්තේ රියන්වලිනි.+ (ඒ රියන් සාමාන්‍ය රියනකට වඩා අල්ලකින් වැඩිය.)+ පූජාසනයේ පහළම තට්ටුවේ මිනුම් මෙසේය. එහි උස රියනකි. එම තට්ටුව ඊට උඩින් ඇති තට්ටුවට වඩා එක රියනකින් ඉදිරියට නෙරා ඇත. ඉදිරියට නෙරා ඇති ඒ තීරය වටා වියතක් උසට රාමුවක් සවි කර ඇත. 14  පූජාසනයේ පහළම තට්ටුව මත පිහිටි දෙවන තට්ටුවේ උස රියන් දෙකකි. එම තට්ටුවද ඊට උඩින් පිහිටි තට්ටුවට වඩා එක රියනක් ඉදිරියට නෙරා තිබිණ. මෙම තට්ටුව මත පිහිටි තුන්වන තට්ටුව රියන් හතරක් උසය. එයද ඊට උඩින් පිහිටි කොටසට වඩා රියනක් ඉදිරියට නෙරා තිබිණ. 15  පූජා දවන ස්ථානය රියන් හතරක් උසය. එහි කොන් හතරේම අං හතරක් සවි කර තිබිණ.+ 16  පූජාසනයේ ඉහළම කොටසේ දිග හා පළල රියන් දොළහ බැගින් විය.+ එය හරි හතරැස් කොටසකි.+ 17  ඊට යටින් පිහිටි තට්ටුවේ දිග හා පළල රියන් දහහතර බැගින් විය. එයද හරි හතරැස් හැඩයකින් යුක්තය. එය වටේටම රියනක් පළල තීරයක් තිබිණ. එම තීරය වටා රියන් භාගයක් උසට රාමුවක් සවි කර තිබිණ. “පූජාසනයට නැඟීම සඳහා නැඟෙනහිර දෙසින් පඩි සාදා තිබුණේය.” 18  ඔහු මට මෙසේ පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘පූජාසනය ඉදි කර ඒ මත දවන පූජා+ ඔප්පු කරන විටදී හා ඒ මත රුධිරය ඉසින විටදී+ අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත මෙයයි.’ 19  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මට+ පාප පූජාවක් ලෙස+ ඔප්පු කිරීම සඳහා සාදොක්ගෙන් පැවතෙන+ ලෙවී ගෝත්‍රයේ පූජකයන්ට+ ගව රැළෙන් ගත් වස්සෙකු දෙන්න. 20  ඔබ ඒ සතාගේ ලේවලින් ටිකක් ගෙන පූජාසනයේ අං හතර මතද ඊට යට තිබෙන තට්ටුවේ ඉදිරියට නෙරා ඇති තීරයේ කොන් හතර මතද එම තීරයට සවි කර ඇති රාමුව මතද ගෑ යුතුය.+ මෙයාකාරයට පූජාසනය පවිත්‍ර කළ යුතුය.+ 21  ඔබ පාප පූජාව සඳහා ඔප්පු කරන වස්සාගේ මළ කඳ දේවමාලිගාවේ භූමියෙන් පිටතට ගෙන ගොස් ඒ සඳහා නියම කර ඇති ස්ථානයේ දවා දැමිය යුතුය.+ 22  දෙවන දින ඔබ කිසි කැළැලක් නැති තරුණ එළුවෙකුව පාප පූජාවක් ලෙස ඔප්පු කිරීමට ගෙනා යුතුය. වස්සාව ඔප්පු කරන විටදී පූජාසනය පවිත්‍ර කළ ලෙසම මෙම එළුවාව ඔප්පු කරන විටදීද පූජාසනය පවිත්‍ර කළ යුතුය.’ 23  “‘පවිත්‍ර කිරීමේ එම පිළිවෙත නිම කිරීමෙන් පසු ඔබ කිසි කැළැලක් නැති වස්සෙකුව හා කිසි කැළැලක් නැති බැටළුවෙකුව 24  යෙහෝවා දෙවි වන මා ඉදිරියට ගෙනා යුතුය. ඉන්පසු පූජකයන් උන් පිට ලුණු ඉස,+ යෙහෝවා දෙවි වන මට දවන පූජාවක් ලෙස උන්ව ඔප්පු කළ යුතුය. 25  දවස් හතක් පුරා නොකඩවාම ඔප්පු කිරීම සඳහා ඔබ පාප පූජාවක් ලෙස එළුවෙකුව ගෙනා යුතුය.+ පූජකයන් කිසි කැළැලක් නැති වස්සෙකුව හා බැටළුවෙකුව ඔප්පු කළ යුතුය. 26  ඔවුන් නොකඩවා දවස් හතක් පුරා පූජාසනය පවිත්‍ර කර සූදානම් කළ යුතුය.+ 27  ඒ දිනවලට නියමිත කටයුතු නිම වූ විට අටවන දිනේ සිට+ පූජකයන් සෙනඟ වෙනුවෙන් දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළ යුතුය. එවිට මම මාගේ සෙනඟ ගැන සතුටු වන්නෙමි’+ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසයි.”

පාදසටහන්

මූ.අ., “මා නුවර විනාශ කිරීමට පැමිණි විට”
එස 3:12හි පාදසටහන බලන්න.
ඇතැම්විට, මේවා ඔවුන් තම රජවරුන් ලෙස සැලකූ පිළිම විය හැකියි.