එසකියෙල් 40:1-49

40  යෙරුසලම් නුවර විනාශ වීමෙන් අනතුරුව+ ගත වන දහහතරවන අවුරුද්දේ එනම්, අප වහලුන් ලෙස ගත කළ විසිපස්වන අවුරුද්දේ+ මුල්ම මාසයේ දහවන දින යෙහෝවා දෙවිගේ බලය මා තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ ඒ අවස්ථාවේදී දෙවි මාව වෙනත් ස්ථානයකට ගෙන යන බව මට දැනිණ.+  මා දකිමින් සිටියේ දෙවිගෙන් ලද දර්ශනයකි. ඒ දර්ශනයේදී ඔහු මාව ඊශ්‍රායෙල් දේශයට ගෙනැවිත් ඉතා උස් කන්දක් මත තැබුවේය.+ ඒ කන්දට දකුණින් නුවරකට සමාන වූ ගොඩනැඟිල්ලක් ඉදි කර තිබිණ.+  ඔහු මාව ඒ ගොඩනැඟිල්ල දෙසට ගෙන ගියේය. ඒ ගොඩනැඟිල්ලට ඇතුල් වන ස්ථානය අසල තඹ පැහැයෙන් යුත් මිනිසෙක් සිටගෙන සිටියේය.+ ඔහුගේ අතේ හණ කෙඳිවලින් සෑදූ ලණුවක්ද මිනුම් දණ්ඩක්ද තිබිණ.+  ඒ මිනිසා මට මෙසේ පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රය,+ ඔබව මෙතැනට ගෙනාවේ ඔබට යම් විශේෂ දෙයක් පෙන්වන්නයි. ඒ නිසා, ඒ දේවල් දෙස හොඳින් බලා ඒවායේ වැදගත්කම සිතට ගන්න. මා කියන දේටත් හොඳින් සවන් දෙන්න. පසුව ඔබ ගොස්, ඔබ දකින මේ සෑම දෙයක්ම ඊශ්‍රායෙල් ජනයාට පැවසිය යුතුයි.”+  මා දුටු ඒ ගොඩනැඟිල්ල වටා පවුරක් ඉදි කර තිබිණ. මා සමඟ කතා කළ මිනිසාගේ අතේ රියන් හයක් දිග මිනුම් දණ්ඩක් තිබුණේය. එහෙත් ඒවා සාමාන්‍ය රියන්* නොවේ. ඒ එක් රියනක් සාමාන්‍ය රියනකට වඩා අල්ලකින්* වැඩිය. එම දණ්ඩ යොදාගෙන ඔහු පවුරෙහි පළල මනින්න පටන්ගත්තේය. එහි පළල ඔහුගේ මිනුම් දණ්ඩේ දිගට සමාන විය. පවුරේ උසද දණ්ඩේ දිගට සමාන විය.  ඔහු නැඟෙනහිරට මුහුණ ලා පිහිටි ඇතුල් වීමේ ස්ථානය අසලට පැමිණියේය.+ ඔහු පඩි පෙළ දිගේ නැඟගෙන ගොස් දොරටුව ළඟට පැමිණියේය. ඉන්පසුව ඔහු ශාලාවට පිවිසෙන ස්ථානය මැන බැලුවේය.+ එහි පළල මිනුම් දණ්ඩේ දිගට සමාන විය. ඒ හා සමාන තවත් ස්ථානයක්ද තිබිණ. එහි පළලත් දණ්ඩේ දිගට සමාන විය.  දොරටුවෙන් ඇතුල් වූ විට තිබෙන ශාලාව දෙපස මුරකුටි+ පිහිටා තිබිණ. ඔහු ඒවාද මැන්නේය. කුටියක දිග දණ්ඩේ දිගට සමාන විය. පළලත් දණ්ඩේ දිගට සමාන විය. මෙම මුරකුටි අතර රියන් පහක පරතරයක් තිබිණ. දේවමාලිගාවට මුහුණ ලා තිබෙන දොරටුවට යාබදව ආලින්දයක් තිබිණ. ඔහු ආලින්දයට පිවිසෙන ස්ථානයද මැන්නේය. එය දණ්ඩේ දිගට සමාන විය.  ඉන්පසු ඔහු දේවමාලිගාවට මුහුණ ලා තිබෙන දොරටුවට යාබදව තිබූ ආලින්දය මැන්නේය. එයද දණ්ඩේ දිගට සමාන විය.+  ආලින්දයේ දිග රියන් අටක් විය. ඊට යාබදව තිබූ දොරටුව දෙපස පිහිටි කණුවල පළල රියන් දෙකක් විය. ආලින්දය තිබුණේ දේවමාලිගාවට මුහුණ ලාය. 10  නැඟෙනහිර දෙසට මුහුණ ලා පිහිටි ඇතුල් වීමේ ශාලාව දෙපස මුරකුටි තුන බැගින් තිබිණ. මුරකුටි තුනේම මිමි එක හා සමාන විය. මුරකුටි අසල පිහිටා තිබුණු කණුවල මිමිද එක හා සමාන විය. 11  ඇතුල් වන ස්ථානයේ ප්‍රධාන දොරටුවේ දිග රියන් දහතුනක් විය. ශාලාවට පිවිසෙන ස්ථානයේ දිග රියන් දහයකි. 12  සෑම මුරකුටියකම ඉදිරිපසින් මුරකුටියට සම්බන්ධ වන සේ කුඩා වැටක් බැඳ තිබිණ. ඒ වැටවල් බැඳ තිබුණේ මුරකුටිවලට රියනක් ඉදිරියෙනි. එක් මුරකුටියක පළල රියන් හයක් විය. 13  ඊළඟට ඔහු එක් පැත්තක ඇති මුරකුටියක ඇතුල් බිත්තියේ සිට ඊට මුහුණ ලා පිහිටි මුරකුටියේ ඇතුල් බිත්තිය දක්වා ඇති දුර ප්‍රමාණය මැන්නේය. මේ අනුව ඇතුල් වීමේ ශාලාවේ මුළු පළල රියන් විසිපහක් විය.+ එම මුරකුටිවලට ඇතුල් වන ස්ථාන පිහිටා තිබුණේ එකිනෙකට සමාන්තරවයි. 14  පිටත මළුවට මුහුණ ලා තිබූ ශාලාවේ දොරටුව දෙපස ඉදි කර තිබුණු කණුවලට අමතරව තවත් කණු පෙළක් ඉදි කර තිබිණ. එම කණු පෙළ ඉදි කර තිබුණේ මළුවේ මායිම දිගේය. එක් කණුවක උස රියන් හැටක් විය. 15  ශාලාවේ ඉදිරිපස දොරටුවේ සිට ආලින්දය කෙළවරේ පිහිටි අනික් දොරටුව දක්වා ශාලාවේ මුළු දිග රියන් පනහක් විය. 16  මුරකුටිවල පිටුපස තිබූ බිත්තියේද ඒවා දෙපස තිබූ කණුවලද කවුළු පිහිටා තිබිණ.+ ඒ කවුළු සාදා තිබුණේ ශාලාවේ බිත්තියේ ඇතුල් පැත්තේ සිට පිට පැත්ත දක්වා ක්‍රමක්‍රමයෙන් පටු වී යන ආකාරයටය. ආලින්දයේ දෙපස බිත්තිවලද එවැනිම කවුළු පිහිටා තිබිණ. ශාලාව දෙපස පිහිටි කණුවල තාල ගස්වල රූප දක්නට තිබිණ.+ 17  ඔහු මාව පිටත මළුවට ගෙනාවේය. පිටත මළුවේ මායිම වටා වේදිකාවක් ඉදි කර තිබූ අතර ඒ වේදිකාව මත භෝජන ශාලා තිහක් ගොඩනඟා තිබිණ.+ 18  මෙම වේදිකාවේ පළල ඇතුල් වීමේ ශාලාවල දිගට සමාන විය. එම වේදිකාව හැඳින්වූයේ පහළ වේදිකාව ලෙසයි. 19  ඔහු ගොඩනැඟිල්ලට ඇතුල් වීම සඳහා නැඟෙනහිර දෙසින් පිහිටි ශාලාවේ ඇතුල් දොරටුවේ සිට ඇතුල් මළුවේ මායිම දක්වා ඇති දුර ප්‍රමාණය මැන්නේය. එය රියන් සියයක් විය. ඔහු ගොඩනැඟිල්ලට ඇතුල් වීම සඳහා උතුරු දෙසින් පිහිටි ශාලාවේ ඇතුල් දොරටුවේ සිට ඇතුල් මළුවේ මායිම දක්වාද මැන්නේය. එහි දුර ප්‍රමාණයද රියන් සියයක් විය. 20  ගොඩනැඟිල්ලට ඇතුල් වීම සඳහා උතුරු දෙසින්ද ශාලාවක් තිබිණ. එය පිහිටා තිබුණේ පිටත මළුවේය. ඔහු එම ශාලාවේ දිග හා පළල මැන්නේය. 21  එම ශාලාවේ දෙපසද මුරකුටි තුන බැගින් පිහිටා තිබිණ. එහි දෙපස පිහිටි කණුවල මිමිද ආලින්දයේ මිමිද නැඟෙනහිර දෙසින් පිහිටි ඇතුල් වීමේ ශාලාවේ මිමිවලටම සමාන විය. ශාලාවේ දිග රියන් පනහක්ද එහි පළල රියන් විසිපහක්ද විය. 22  එහි කවුළුවල මිමිද ආලින්දයේ මිමිද තාල ගස් රූපවල+ මිමිද නැඟෙනහිර දෙසින් පිහිටි ඇතුල් වීමේ ශාලාවේ මිමිවලටම සමාන විය. එම ශාලාවේ දොරටුව වෙත පිවිසීමට පඩි හතක් නැඟීමට සිදු විය. එහි ආලින්දය පිහිටා තිබුණේ ශාලාවට ඇතුල් වන දොරටුවට මුහුණ ලාය. 23  උතුරු දෙසින් පිහිටා තිබූ මෙම ශාලාවට ඉදිරියෙන් ඇතුල් මළුවට පිවිසීමට දොරටුවක් සහිත ශාලාවක් තිබිණ. එය පිහිටා තිබුණේ ඇතුල් මළුවේය. ඔහු එම ශාලාවේ දොරටුවේ සිට ඊට ඉදිරියෙන් පිහිටි ඇතුල් වීමේ ශාලාවේ දොරටුව දක්වා ඇති දුර ප්‍රමාණය මැන්නේය. එය රියන් සියයක් විය. ඇතුල් මළුවට පිවිසීම සඳහා නැඟෙනහිර දෙසින්ද දොරටුවක් සහිත ශාලාවක් ඉදි කර තිබිණ. 24  ඔහු ඊළඟට මාව දකුණු දෙසට ගෙනාවේය. දකුණු දෙසින්ද ගොඩනැඟිල්ලට ඇතුල් වීම සඳහා ශාලාවක් පිහිටා තිබිණ.+ ඔහු එහි දොරටුව දෙපස පිහිටි කණුද එහි ආලින්දයද මැන්නේය. එහි මිමිද කලින් සඳහන් කළ ශාලාවල මිමිවලටම සමාන විය. 25  එහි බිත්ති වටාද ආලින්දය දෙපසද කවුළු පිහිටා තිබිණ. ඒ කවුළු කලින් සඳහන් කළ ඒවාට සමාන විය. දකුණු දෙසින් පිහිටි ඇතුල් වීමේ ශාලාවේ දිග රියන් පනහකි. පළල රියන් විසිපහකි. 26  ඒ ශාලාවට ඇතුල් වීම සඳහාද පඩි සතක් නැඟීමට සිදු විය.+ එහි ආලින්දය තිබුණේද ශාලාවට ඇතුල් වන දොරටුවට මුහුණ ලාය. දොරටුව දෙපස පිහිටි කණුවල තාල ගස්වල රූප තිබිණ. 27  ඇතුල් මළුවට පිවිසීම සඳහා දකුණු දෙසින් ශාලාවක් ඉදි කර තිබිණ. එම ශාලාවේ සිට ගොඩනැඟිල්ලට පිවිසීම සඳහා දකුණු දෙසින් පිහිටි ශාලාවේ ඇතුල් දොරටුව අතර දුර ප්‍රමාණය ඔහු මැන්නේය. එය රියන් සියයක් විය. 28  ඔහු ඊළඟට, ඇතුල් මළුවට පිවිසීම සඳහා දකුණු දෙසින් පිහිටි ශාලාව අසලට මාව ගෙනාවේය. ඔහු එයද මැන්නේය. එහි මිමිද කලින් සඳහන් කළ ශාලාවල මිමිවලට සමාන විය. 29  එහි පිහිටා තිබුණු මුරකුටිවල මිමිද දෙපස පිහිටි කණුවල මිමිද එහි ආලින්දයේ මිමිද කලින් සඳහන් කළ ශාලාවල මිමිවලට සමාන විය. එහි බිත්තිය වටාද ආලින්දය දෙපසද කවුළු පිහිටා තිබිණ. ශාලාවේ දිග රියන් පනහකි. පළල රියන් විසිපහකි.+ 30  (ඇතුල් මළුවට පිවිසීම සඳහා තිබූ මෙම ශාලාවල සෑම දොරටුවකටම යාබදව ආලින්දය බැගින් පිහිටා තිබිණ. ඒවායේ දිග රියන් විසිපහකි. පළල රියන් පහකි.) 31  ආලින්දය පිහිටා තිබුණේ පිටත මළුවට මුහුණ ලාය. දොරටුව දෙපස පිහිටි කණුවල තාල ගස් රූප තිබිණ.+ මෙම ශාලාවලට ඇතුල් වීම සඳහා පඩි අටක් නැඟීමට සිදු විය.+ 32  ඔහු ඊළඟට මාව ඇතුල් මළුවට පිවිසීම සඳහා නැඟෙනහිර දෙසින් ඉදි කර තිබූ ශාලාවට ගෙනාවේය. ඔහු එම ශාලාවද මැන්නේය. එහි මිමිද කලින් සඳහන් කළ ශාලාවල මිමිවලට සමාන විය. 33  එහි තිබුණු මුරකුටිවල මිමිද දෙපස පිහිටි කණුවල මිමිද එහි ආලින්දයේ මිමිද කලින් සඳහන් කළ ශාලාවල මිමිවලට සමාන විය. එම ශාලාවේ බිත්ති වටාද ආලින්දය දෙපසද කවුළු පිහිටා තිබිණ. ශාලාවේ දිග රියන් පනහක්ද පළල රියන් විසිපහක්ද විය. 34  එහි ආලින්දය පිහිටා තිබුණේ පිටත මළුවට මුහුණ ලාය. දොරටුව දෙපස පිහිටි කණුවල තාල ගස් රූප තිබිණ. දොරටුව වෙත පිවිසීම සඳහා පඩි අටක් නැඟීමට සිදු විය. 35  ඔහු මාව ඇතුල් මළුවට පිවිසීම සඳහා උතුරු දෙසින් පිහිටි ශාලාවට ගෙනාවේය.+ ඔහු එයද මැන්නේය. එහි මිමිද කලින් සඳහන් කළ ශාලාවල මිමිවලට සමාන විය.+ 36  එහි මුරකුටිවල මිමිද දොරටුව දෙපස පිහිටි කණුවල මිමිද ආලින්දයේ මිමිද කලින් සඳහන් කළ ශාලාවල මිමිවලට සමානය. ශාලාවේ බිත්තිය වටේටම කවුළුද පිහිටා තිබිණ. ශාලාවේ දිග රියන් පනහක්ද පළල රියන් විසිපහක්ද විය. 37  එහි දොරටුව දෙපස තිබූ කණු පිහිටා තිබුණේ පිටත මළුවට මුහුණ ලාය. එම කණුවලද තාල ගස් රූප තිබිණ.+ එහි දොරටුව වෙත පිවිසීම සඳහා පඩි අටක් නැඟීමට සිදු විය. 38  ඇතුල් වීමේ ශාලාවල දොරටු දෙපස පිහිටි කණු අසල භෝජන ශාලා ඉදි කර තිබිණ. භෝජන ශාලාවලට දොරටුව බැගින් තිබිණ. දවන පූජාව සඳහා ගෙනා සතුන්ව සෝදනු ලැබුවේ එම ශාලාවලදීය.+ 39  උතුරු දෙසින් පිහිටි ඇතුල් වීමේ ශාලාවේ ආලින්දය දෙපස මේස දෙක බැගින් තබා තිබිණ. එම මේස හතර භාවිත කළේ දවන පූජාවන්,+ පාප පූජාවන්+ හා වන්දි පූජාවන්+ සඳහා ඔප්පු කරන සතුන්ව මැරීමටය. 40  මීට අමතරව උතුරු දෙසින් පිහිටි ඇතුල් වීමේ ශාලාවේ දොරටුවට නඟින පඩි පෙළ දෙපසද මේස දෙක බැගින් තබා තිබිණ. 41  එම දොරටුව අසල පිහිටි ආලින්දයේ මේස හතරක්ද පඩි පෙළ දෙපස මේස හතරක්ද වශයෙන් මේස අටක් තබා තිබිණ. පූජා සඳහා ඔප්පු කරන සතුන්ව මරනු ලැබුවේ එම මේස මතය. 42  දවන පූජා සඳහා වෙන් කළ මේස හතර කැපූ ගල්වලින් සාදා තිබිණ. ඒවායෙහි දිග රියන් එකහමාරක්ද පළල රියන් එකහමාරක්ද විය. උස රියනකි. දවන පූජාවන් හා වෙනත් පූජාවන් සඳහා ඔප්පු කරන සතුන්ව මැරීම සඳහා භාවිත කළ ආයුධ තැබුවේ ඒවා මතය. 43  ආයුධ ගබඩා කිරීමට තනා තිබූ රාක්කවල පළල අල්ලක පළලට සමානය. එම රාක්ක බිත්තිවලට සවි කර තිබිණ. තෑගි පූජාවලට පිදූ මස් තබනු ලැබුවේ මේස මතය.+ 44  ඇතුල් මළුවට පිවිසීම සඳහා උතුරු දෙසින් පිහිටි ශාලාව අසල එක් පැත්තක ගායකයන්+ සඳහා භෝජන ශාලා ඉදි කර තිබිණ. එම භෝජන ශාලාවලට පිවිසෙන දොරටු තිබුණේ දකුණු දෙසට මුහුණ ලාය. ඇතුල් මළුවට පිවිසීම සඳහා නැඟෙනහිර දෙසින් පිහිටි ශාලාව අසල එක් පැත්තක තවත් භෝජන ශාලාවක් ඉදි කර තිබිණ. එහි දොරටුව පිහිටා තිබුණේ උතුරු දෙසට මුහුණ ලාය. 45  ඔහු මට මෙසේ කීවේය. “දකුණු දෙසට මුහුණ ලා තිබෙන දොරටුව සහිත භෝජන ශාලාව දේවමාලිගාවේ වගකීම් උසුලන පූජකයන් සඳහාය.+ 46  උතුරු දෙසට මුහුණ ලා තිබෙන දොරටුව සහිත භෝජන ශාලාව පූජාසනයට අදාළ වගකීම් උසුලන පූජකයන් සඳහාය.+ යෙහෝවා දෙවි ඉදිරියට ගොස් සේවය කරන ඔවුහු+ ලෙවීගෙන් පැවතෙන සාදොක්ගේ පුත්‍රයෝය.”+ 47  ඉන්පසුව ඔහු ගොස් ඇතුල් මළුව මැන්නේය. එහි දිගද පළලද රියන් සියයක් බැගින් විය. එය සමචතුරස්‍රයකි. පූජාසනය පිහිටා තිබුණේ දේවමාලිගාවට ඇතුල් වන ස්ථානය ඉදිරියෙහිය. 48  ඔහු ඊළඟට මාව දේවමාලිගාවේ පිවිසුම් ශාලාව තුළට ගෙනාවේය.+ ඔහු එම ශාලාවේ දෙපස තිබුණු කණු දෙක මැන්නේය. එම කණුවල දිග රියන් පහ බැගින් විය. ඉන්පසුව ඔහු එහි දොරටුවද මැන්නේය. දොරටුවේ පැති දෙකෙහි පළල රියන් තුන බැගින් විය. 49  පිවිසුම් ශාලාවේ දිග රියන් විස්සකි. එහි පළල රියන් එකොළහකි. එම ශාලාවට පිවිසීම සඳහා පඩි කිහිපයක් නැඟීමට සිදු විය. දෙපස පිහිටි කණු අසල කුලුනු දෙකක්ද ඉදි කර තිබිණ.+

පාදසටහන්

උත් 6:15හි පාදසටහන බලන්න.
සෙන්ටිමීටර් 7.4ක් පමණ.