එසකියෙල් 30:1-26

30  යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසීය.  “මනුෂ්‍ය පුත්‍රය, ඔබ මෙම අනාවැකිය පළ කළ යුතුයි.+ ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි කියන්නේ මෙයයි. “ජනයෙනි, ඔබ සියලුදෙනා, ‘ඒ දවස අප පිට පැමිණෙන්නේය’ කියා බියෙන් මොරගසන්න.+  මන්ද යෙහෝවා දෙවි තම විනිශ්චය ක්‍රියාත්මක කරන දවස අත ළඟටම ඇවිත් තිබේ.+ එය අඳුරු වලාකුළුවලින් ගහන වූ දවසකි.+ ඒ දවස වෙන් කර තිබෙන්නේ ජාතීන්ව විනිශ්චය කිරීම සඳහාය.+  ඒ කාලයේදී ඊජිප්තුව අනිවාර්යයෙන්ම කඩුවකින් පහර කනු ඇත.+ ඊජිප්තුවේ ජනයා මැරුම් කන විටද එහි ඇති ධනය කොල්ල කන විටද එහි අත්තිවාරම් කඩා දමන විටද ඉතියෝපියාව භීතියට පත් වන්නේය.+  ඉතියෝපියාවේ වැසියන්ද+ පූට්,+ ලුද් හා කුබ් ජාතිකයන්ද වෙනත් දේශවලින් පැමිණි සියලු ජාතීන්ද+ දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටින ජනයාද කඩුවෙන් මැරුම් කනවා ඇත.”’+  “යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඊජිප්තුවට අතහිත දෙන සියලුදෙනාම වැටී යන්නෝය. මහත් ආඩම්බරයෙන් සැලකූ එහි බලයද බිඳී යන්නේය.’+ “‘මිග්දෝල්+ සිට සෙයේනේ දක්වාම+ සිටින ඔවුහු කඩුවෙන් මැරුම් කනවා ඇත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.  ‘ඊජිප්තුව පාළුවට ගිය දේශවලින් වට වූ පාළු දේශයක් බවට පත් වන්නේය. එහි සියලු නුවරවල්ද නැති නාස්ති වී පාළුවට යන්නේය.+  මම ඊජිප්තුවට ගිනි තබා එයට අතහිත දෙන සියලුදෙනාවම විනාශ කර දමන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ජනයාට සිදු වෙනවා ඇත.  ඒ දවසේදී තමන් කෙරෙහි විශ්වාසය තබාගෙන සිටින ඉතියෝපියාවේ වැසියන් වෙතට මම පණිවිඩකරුවන්ව යවන්නෙමි. ඔවුහු නැව්වලින් පැමිණ ඉතියෝපියාවේ ජනයාව බියගන්වනු ඇත.+ ඊජිප්තුවට විපත්ති පැමිණෙන විට ඉතියෝපියාවේ වැසියෝ දරුණු වේදනා විඳින්නෝය. ඒ දවස අනිවාර්යයෙන්ම පැමිණෙනු ඇත.’+ 10  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘මම බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර් අතින් ඊජිප්තුවරුන්ව නැති කර දමන්නෙමි.+ 11  මම ඔහුවද ඔහුගේ සෙනඟවද ඊජිප්තු දේශය විනාශ කර දැමීමට කැඳවන්නෙමි. ජාතීන් අතරේ සිටින ඉතාම කුරිරු සෙනඟ ලෙස නම් දරන ඔවුහු+ ඊජිප්තුවට කඩුවෙන් පහර දී දේශය මළ සිරුරුවලින් පුරවන්නෝය.+ 12  මමද නයිල් ගඟේ ඇළ මාර්ග+ වියළවා, ඊජිප්තු දේශය දුෂ්ට සෙනඟකට විකුණන්නෙමි.+ ඒ විදේශීය සෙනඟ අතින් දේශයද එහි සියලු සම්පත්ද විනාශ කර දමන්නෙමි.+ මේ දේ පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.’+ 13  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘මම නොෆ් නුවරෙහි+ ඇති පිළිකුල්සහගත රූප විනාශ කර කිසි වටිනාකමක් නැති සියලුම දෙවි දේවතාවන්ව තුරන් කර දමන්නෙමි.+ මින් මතුවට ඊජිප්තු දේශයෙන් අධිපතියෙක් බිහි වන්නේ නැත. මම ඊජිප්තු දේශය පුරා මහත් බියක් ඇති වෙන්න සලස්වන්නෙමි.+ 14  මම පත්‍රොස් දේශය+ නැති නාස්ති කර, ෂොවන් නුවරට+ ගිනි තබන්නෙමි. නෝ නුවරට විරුද්ධවද මාගේ විනිශ්චය ඉටු කරන්නෙමි.+ 15  මම ඊජිප්තුවේ බලකොටුව වන සින් නුවර පිටද මාගේ උදහස වගුරුවා,+ නෝ නුවරේ වැසියන්ව සහමුලින්ම නැති කර දමන්නෙමි.+ 16  මම ඊජිප්තු දේශයේ ගින්නක් අවුළුවන්නෙමි. සින් නුවරට දරුණු වේදනාවක් ඇති වන්නේය. සතුරා නෝ නුවරේ බිඳී ගිය පවුරෙන් ඇතුල් වී එය අල්ලාගන්නේය. මහ දවාලේද නොෆ් නුවරට සතුරෝ කඩාපනින්නෝය. 17  ඕන්+ හා පිබෙසෙත් යන නුවරවල තරුණයෝ කඩුවෙන් මැරුම් කන්නෝය. එම නුවරවල වැසියන්ව වහලුන් ලෙස ගෙන යනු ලබනවා ඇත. 18  ඊජිප්තුව අනුන් පිට තැබූ වියගහ මම බිඳ දමන්නෙමි.+ එවිට තාහ්පනේස් නුවරේ+ දවාල අඳුරු වන්නේය. ඇගේ ආඩම්බරයට හේතු වූ ඇගේ බලය බිඳී යන්නේය.+ ඇය ගන වලාවකින් වැසී යන්නීය.+ ඇය අවට පිහිටි කුඩා නුවරවල වැසියන්වද වහලුන් ලෙස ගෙන යනු ලබනවා ඇත.+ 19  මෙසේ, මම ඊජිප්තුවට විරුද්ධව මාගේ විනිශ්චය ඉටු කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වෙනවා ඇත.’” 20  එකොළොස්වන වසරේ, පළමුවන මාසයේ, සත්වන දින යෙහෝවා දෙවි නැවතත් මට කතා කර මෙසේ කීවේය. 21  “මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජු වන පාරාවෝගේ බලවත් හස්තය මම අනිවාර්යයෙන්ම බිඳ දමන්නෙමි.+ යළි කිසි දිනක කඩුවක් අතට ගැනීමට ඔහුට නොහැකි වනු ඇත. මන්ද ඔහුගේ තුවාල වෙළුම් පටිවලින් බැඳ ඔහුව සුවපත් කිරීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත.”+ 22  “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘මම ඊජිප්තුවේ රජු වන පාරාවෝට විරුද්ධව සිටිමි.+ මන්ද මම ඔහුගේ සවිමත් අතද දුර්වල අතද+ දෙකම කඩා දමා+ ඔහුගේ අතින් කඩුව වැටෙන්න සලස්වන්නෙමි.+ 23  ඊජිප්තුවරුන්ව සියලු ජාතීන් අතරේද දේශයන් අතරේද විසුරුවාහරින්නෙමි.+ 24  මම බැබිලෝනියේ රජුගේ දෑත් සවිමත් කර+ මාගේ කඩුව ඔහුගේ අතට භාර දෙන්නෙමි.+ නමුත් මම පාරාවෝගේ දෑත් කඩා දමන්නෙමි. දරුණු ලෙස පහර ලබන පාරාවෝ ඔහු ඉදිරියේ මහත් වේදනාවකින් කෙඳිරිගානු ඇත.+ 25  මම බැබිලෝනියේ රජුගේ හස්තය ශක්තිමත් කරන්නෙමි. එවිට පාරාවෝගේ දෑත් බෙලහීන වන්නේය. මාගේ කඩුව බැබිලෝනියේ රජුගේ අතට දුන් විට ඔහු එයින් ඊජිප්තු දේශයට පහර දෙන්නේය. එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.+ 26  මම ඊජිප්තුවරුන්ව ජාතීන් අතරේද විවිධ දේශයන් අතරේද සීසීකඩ විසුරුවාහරින්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.’”

පාදසටහන්