එසකියෙල් 29:1-21

29  දසවන අවුරුද්දේ, දසවන මාසයේ, දොළොස්වන දින යෙහෝවා දෙවි මට මේ දේ පැවසුවේය.  “මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජු වූ පාරාවෝට+ හා මුළු ඊජිප්තු දේශයට විරුද්ධව අනාවැකි පවසන්න.+  ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊජිප්තුවේ රජ්ජුරුවෙනි,+ නයිල් නදියෙන් නික්මෙන සියලු දිය ධාරා පුරාම අණසක පතුරුවන+ සද්දන්තයා ඔබයි.+ ‘නයිල් නදිය මට අයිතිය. එය සෑදුවේ මමය’+ කියා ඔබ පවසා ඇත. ඒ නිසා මම ඔබට විරුද්ධව සිටිමි.  මම ඔබේ හකුවලට කොකු දමා+ ඔබව මෙල්ල කරන්නෙමි. නයිල් නදියෙන් විහිදී ගිය ඇළ මාර්ගවල සිටින සියලුම මත්ස්‍යයන් ඔබේ හමේ එල්ලීමට සලස්වන්නෙමි. ඉන්පසුව මම ඔබවත් ඔබේ හමේ එල්ලී සිටින සියලු මත්ස්‍යයන්වත් ගොඩට ගන්නෙමි.  ඔබවද ඔබත් සමඟ නයිල් නදියේ ඇළ මාර්ගවලින් ගොඩගත් සියලු මත්ස්‍යයන්වද පාළුකරයට ගෙන ගොස් විසි කර දමන්නෙමි.+ ඔබ භූමිය මත වැටී මිය යනු ඇත.+ ඔබව භූමදාන කරනු ලබන්නේ නැත. ඔබේ මළ සිරුර වනමෘගයන්ට හා පක්ෂීන්ට ආහාර පිණිස දෙන්නෙමි.+  එවිට ඊජිප්තුවේ සිටින සියලුම වැසියන් මා යෙහෝවා දෙවි බව පිළිගනු ඇත.+ මන්ද ඔබෙන් ආධාර පැතූ ඊශ්‍රායෙල්වරුන්ට ඔබ දුර්වල බට දණ්ඩක් මෙන් විය.+  සහය පතමින් ඔවුන් ඔබව දෑතින් අල්ලාගත් විට ඔබ තැළී පොඩි වී ගියෙහිය.+ එහෙයින් ඔවුන් වැටී ඔවුන්ගේ උරහිස් බිඳුණේය. ඔවුන් ඔබ මත රඳා සිටි විට ඔබ ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කළෙහිය.+ ඔවුන්ගේ තුනටියේ ශක්තිය හීන විය.”+  “‘එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසයි. “මම ඔබට විරුද්ධව කඩුවක් එවන්නෙමි.+ මිනිසුන් හා සතුන් අතරින් මම ඔබව තුරන් කර දමන්නෙමි.+  ‘නයිල් නදිය මට අයිතිය. එය සෑදුවේ මමය’+ කියා ඔබ පවසා තිබෙන හෙයින් ඊජිප්තු දේශය විනාශ වී පාළු ස්ථානයක් බවට පත් වනු ඇත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ජනයාට සිදු වනු ඇත. 10  එබැවින් මම ඔබටත් නයිල් නදියේ සියලු ඇළ මාර්ගවලටත් විරුද්ධව ක්‍රියා කරමි.+ ඊජිප්තු දේශය මම නැති නාස්ති කර දමන්නෙමි.+ මිග්දෝල්+ සිට සෙයේනේ දක්වාද+ ඉතියෝපියාවේ දේශ සීමාව දක්වාද තිබෙන මුළු ප්‍රදේශයම වියළී ගොස් පාළුවට යනු ඇත. 11  කිසි මිනිසෙක් එහි පය තබන්නේ නැත.+ හීලෑ සත්තුද එහි සැරිසරන්නේ නැත.+ වසර හතළිහක් පුරා එය ජනශුන්‍යව පවතිනු ඇත.+ 12  මම ඊජිප්තුව පාළුවට ගිය දේශවලින් වට වූ පාළු දේශයක් බවට පත් කරන්නෙමි.+ එහි නුවරවල්ද නැති නාස්ති වී වසර හතළිහක් පුරාම පාළුවට යන්න හරින්නෙමි.+ මම ඊජිප්තු ජාතිකයන්ව විවිධ දේශවලට සීසීකඩ විසුරුවාහරින්නෙමි.”+ 13  “‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. “වසර හතළිහක් අවසන් වූ පසු+ මම විවිධ ජාතීන් අතර විසිර සිටින ඊජිප්තුවරුන්ව නැවතත් එකතු කරගන්නෙමි.+ 14  වහල්භාවයේ සිටින ඊජිප්තුවරුන්ව මම නැවතත් ගෙන්වාගන්නෙමි. ඔවුන්ගේ උපන් දේශය වන පත්‍රොස්හි+ මම නැවතත් ඔවුන්ව පදිංචි කරවන්නෙමි. එහෙත් එහිදී ඔවුන් පිහිටුවන රාජ්‍යය බලවත් එකක් නොවනු ඇත. 15  එය වෙනත් රාජ්‍යයන්වලට වඩා දුර්වල රාජ්‍යයක් වන්නේය. උඩඟු වී වෙනත් ජාතීන්ට විරුද්ධව නැඟී සිටින්න එය තවදුරටත් සමත් නොවන්නේය.+ සෙසු ජාතීන් අතරේ තම අණසක පැතිරවීමට නොහැකි වන සේ මම ඔවුන්ගේ ගණනද අඩු කරන්නෙමි.+ 16  ඊශ්‍රායෙල්වරු තවදුරටත් ඊජිප්තු රාජ්‍යයේ සරණ පතා පැමිණෙන්නේ නැත.+ ඔවුහු නැවත වරක් ඒ වරද නොකරන්නෝය.+ මේ සියල්ල සිදු වන විට මා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි බව පිළිගන්න ඊශ්‍රායෙල්වරුන්ට සිදු වෙනවා ඇත.”’” 17  විසිහත්වන වසරේ, පළමුවන මාසයේ, පළමුවන දින යෙහෝවා දෙවි මට මෙසේ කීවේය. 18  “මනුෂ්‍ය පුත්‍රය, බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්+ තම හමුදා බළඇණිය යොදාගෙන තීර් වැසියන්ව පරාජය කිරීමෙන් ඉටු කළේ ඉමහත් සේවයකි.+ ඒ යුද්ධයේදී සෙබළුන්ගේ කෙස් හැළී ගියේය. ඔවුන්ගේ උරහිස්වල හම ගියේය.+ එහෙත් තීර් වැසියන්ට එරෙහිව ඔහු දියත් කළ ඒ සටන වෙනුවෙන් ඔහුටවත් ඔහුගේ සෙබළුන්ටවත් කිසි කුලියක් ගෙවනු ලැබුවේ නැත.+ 19  “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ට ඊජිප්තු දේශය ලබා දෙන්නෙමි.+ ඔහු ඔවුන් සතු සියලු ධනය කොල්ල කා රැගෙන යනු ඇත. ඔහු කිසිවක් ඉතුරු නොකර ඒ සියල්ල පැහැරගන්නේය.+ ඒ කොල්ල කා ගත් සියල්ල ඔහුගේ හමුදා බළඇණියට කුලී වශයෙන් මම ලබා දෙමි.’ 20  “‘ඔහු තීර් වැසියන්ට විරුද්ධව සටන් කර සිදු කළ සේවයට කුලියක් වශයෙන් මම ඔහුට ඊජිප්තු දේශය දෙන්නෙමි. මන්ද බැබිලෝනිවරුන් සටන් කළේ මා වෙනුවෙන්ය’+ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසයි. 21  “ඒ කාලයේදී මම ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් අඟක්* හටගැන්වීමට සලස්වන්නෙමි.+ ඔවුන් අතරේ කතා කිරීමට අවස්ථාවක් මම ඔබට උදා කර දෙන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.”

පාදසටහන්

බයිබලයේ පාලන බලය හෝ ශක්තිය සංකේතවත් කිරීමට සතෙකුගේ අඟ භාවිත කෙරේ.