එසකියෙල් 27:1-36

27  යෙහෝවා දෙවි මට මෙසේ පැවසීය.  “මනුෂ්‍ය පුත්‍රය, ඔබ තීර් ගැන විලාප ගීයක් ගයන්න.+  තීර් නගරයට මෙසේ පවසන්න.“‘සමුද්‍රයේ දොරටුව අසල වාසය කරන+ කාන්තාව, බොහෝ දූපත්වල වැසියන් සමඟ වෙළඳාම් කරන+ ඔබට විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “තීර් නුවර මේ අසන්න. ‘මා තරම් රුවැත්තියක් තවත් නැත’ යයි ඔබ පවසා ඇත.+  ඔබේ රාජධානිය තිබෙන්නේ මහ මුහුද මැදය.+ ඔබව ගොඩනැඟූ අය ඔබේ රුව තව තවත් ඔප්නැංවූහ.+  නෞකාවක් බඳු වූ ඔබව තැනීමට ඔවුන් දැව ඉරාගත්තේ සෙනීර් ප්‍රදේශයෙන්+ කපාගත් ජුනිපර් ගස්වලිනි. ඔබ මත කුඹගසක් ඉදි කිරීමට ඔවුහු ලෙබනොන් රටෙන්+ දේවදාර ගසක් ගෙන්වාගත්තෝය.  ඔබේ හබල් සෑදුවේ බාෂාන් ප්‍රදේශයෙන් කපාගත් දැවැන්ත ගස්වලිනි. ඔවුහු කිත්තිම් දූපත්වලින්+ ලබාගත් සයිප්‍රස් ලීවලින් හා ඇත්දළවලින් ඔබේ ඇණිය තැනුවෝය.  ඊජිප්තුවෙන් ගෙන්වාගත් නානාවිධ වර්ණයන්ගෙන් යුත් ලිනන් රෙදිවලින්+ ඔබේ රුවල් සෑදුවෝය. එලිෂාහ් දූපත්වලින්+ ගෙනා නිල් පැහැති නූල්වලින්+ හා රත්නිල් පැහැති ලොම්වලින්+ ඔබට වියනක් තැනුවෝය.  “‘“තීර්, ඔබේ හබල්කරුවෝ සීදොන්+ සහ අර්වද්හි වැසියෝය.+ ඔබ අතරේ සිටි දක්ෂයෝ+ ඔබේ නාවිකයෝ වූහ.+  ඔබේ කැඩී බිඳී ගිය තැන් අලුත්වැඩියා කළේ+ ගෙබල් නුවරේ+ සිටි බොහෝ අද්දැකීම් ලත් පළපුරුදු පුරුෂයන්ය. ඔබ සමඟ වෙළඳාම් කිරීම සඳහා සත් සමුදුර තරණය කළ නැව්ද නැවියෝද ඔබ වෙතට පැමිණියෝය. 10  ඔබේ යුධ හමුදාවේ සෙබළුන් වූයේ පර්සියාව,+ ලුද්+ හා පූට්+ යන දේශයන් සිට පැමිණි රණශූරයන්ය. ඔවුහු තම පලිස් හා හිස්වැසුම් ඔබ මත එල්ලා තැබූහ.+ ඔබ අලංකාර වුණේ ඔවුන් නිසාය. 11  ඔබේ හමුදාව සමඟ අර්වද්හි වැසියෝද+ ඔබ වටේට ඉදි කර තිබූ ඔබේ පවුර මත සිටියෝය. ඔබේ මුරකොටුවල ආරක්ෂාවට සිටියේ නිර්භීත පුරුෂයන්ය. ඔබේ පවුරු වටා ඔවුහු තම පලිස් එල්ලුවෝය.+ ඔවුන් නිසා ඔබේ රුව තව තවත් ඔප්නැංවිණ. 12  “‘“ඔබට වටිනා වස්තු සම්භාරයක්+ ලබා දුන් තර්ෂිෂ්හි වැසියෝද+ ඔබ සමඟ වෙළඳාම් කළෝය. ඔබේ භාණ්ඩ වෙනුවට ඔවුහු ඔබට රිදී, යකඩ, බෙලෙක් හා ඊයම් ලබා දුන්නෝය.+ 13  යාවාන්,+ තූබල්,+ මෙෂෙක්+ යන ප්‍රදේශවල වැසියෝද ඔබ සමඟ වෙළඳාම් කළෝය. ඔවුහු ඔබ සතු භාණ්ඩ ලබාගැනීම සඳහා ඔබ සමඟ වහලුන්+ හා තඹ හුවමාරු කරගත්තෝය. 14  ඔබේ භාණ්ඩ වෙනුවෙන් තොගර්මා+ නම් පළාතේ ජනයා ඔබට අශ්වයන් හා කොටළුවන් දුන්නෝය. 15  දෙදාන්හි වැසියෝද+ ඔබ සමඟ වෙළඳාම් කළෝය. බොහෝ දූපත්වල වැසියෝ ඔබ වෙනුවෙන් වෙළඳාම් කළෝය. ඔවුහු ඇත්දළ+ හා කළුවර ලී ඔබට තෑගි කළෝය. 16  ඔබ බොහෝ දේ නිෂ්පාදනය කළ නිසා ඒදොම් වැසියෝද ඔබ සමඟ වෙළඳාම් කළෝය. ඔවුහු ඔබ විකුණූ දේ ලබාගැනීමට පච්ච ගල්,+ රත්නිල් පැහැගැන්වූ ලොම්, නානාවිධ වර්ණයන්ගෙන් යුත් සළුපිළි, අනර්ඝ රෙදිපිළි, කොරල් හා රතු කැට ඔබට දුන්නෝය. 17  “‘“යූදා හා ඊශ්‍රායෙල් දේශයේ වැසියෝද ඔබ සමඟ වෙළඳාම් කළෝය. ඔබ විකුණූ දේ ලබාගැනීමට+ ඔවුහු මින්නිත් ප්‍රදේශයේ+ තිරිඟුද+ විශේෂ ආහාර වර්ගද මීපැණිද+ තෙල්ද බෝල්සම් තෙල්ද+ ඔබට දුන්නෝය. 18  “‘“ඔබ වටිනා දේවල් බොහොමයක් නිෂ්පාදනය කළ නිසා දමස්කයේ වැසියෝ+ ඔබ සමඟ වෙළඳාම් කළෝය. ඒ දේවල් වෙනුවෙන් ඔවුහු රතු හා අළු පැහැයෙන් මිශ්‍ර ලොම්ද හෙල්බොන් ප්‍රදේශයේ වයින්ද+ ඔබට ලබා දුන්නෝය. 19  ඔබේ ගබඩාවල රැස් කරගත් දේවල් ලබාගැනීම සඳහා ඌසාල් ප්‍රදේශයෙන් පැමිණි වෙදාන් හා යාවාන්හි වැසියෝ ඔබ සමඟ වෙළඳාම් කළෝය. ඔවුහු ඔබට ඔප්නැංවූ යකඩ, පැඟිරි කුරුඳු හා සුවඳැති පැළෑටි+ යනාදිය ගෙනාවෝය. 20  දෙදාන්හි වැසියන්ගෙන්+ අශ්වයන් පිට තබන රෙදිපිළි ඔබ ලබාගත්තෙහිය. 21  අරාබි ජාතිකයෝ+ හා කේදාර් ගෝත්‍රයේ+ සියලු අධිපතීහු ඔබ වෙනුවෙන් වෙළඳාම් කළෝය. ඔවුහු ඔබ වෙත එළුවන්වද බැටළුවන්වද ගෙනාවෝය.+ 22  ෂෙබා+ හා රයමාහි+ වෙළෙන්දෝද ඔබ සමඟ ගනු දෙනු කළෝය. ඔබ ඔවුන්ගෙන් ඉතා වටිනා සුවඳ විලවුන්ද නානාවිධ මැණික්ද රත්තරන්ද ලබාගත්තෙහිය.+ 23  ෂෙබා,+ හාරාන්,+ කන්නේහ් හා ඒදන්+ යන ස්ථානවලින් පැමිණි වෙළෙන්දෝද අෂූර්+ හා කිල්මද් යන ස්ථානවලින් පැමිණි වෙළෙන්දෝද ඔබ සමඟ ගනු දෙනු කළෝය. 24  ඔවුහු ඔබේ වෙළඳපොළෙහි අලංකාර වස්ත්‍ර, නිල් පැහැති සළු, විවිධ වර්ණයන්ගෙන් යුත් සළුපිළි, වර්ණ දෙකකින් යුත් බුමුතුරුණු හා ශක්තිමත්ව අඹරන ලද ලණුද හුවමාරු කරගත්තෝය. 25  “‘“ඔබේ භාණ්ඩ ප්‍රවාහණය කිරීමට තර්ෂිෂ් නැව්+ යොදාගන්නා ලදි. ඔබ බොහෝ සෙයින් ධනවත් වී ඔබේ කීර්තිය මහ සයුර පුරාම පැතිර ගියේය.+ 26  “‘“එහෙත් ඔබේ හබල්කරුවෝ ඔබව මහ මුහුද මැදට ගෙන යනු ඇත.+ ඔබ නැඟෙනහිර දෙසින් හමන සුළඟට හසු වී මහ මුහුද මැදම මුහුදුබත් වන්නෙහිය.+ 27  ඔබ පරාජය වන දවසේදී ඔබ සතු සියලු වටිනා දේ+ එනම්, ඔබේ වෙළඳ භාණ්ඩද+ ඔබේ නැවියෝද+ නැව් පිළිසකර කරන්නෝද+ වෙළෙන්දෝද රණශූරයෝද+ මුහුදු පත්ලටම ගිලී යනු ඇත.+ 28  “‘“ඔබේ නැවියන් මර ළතෝනි දෙන කල මුළු දේශයම දෙදරුම් කන්නේය.+ 29  මුහුද මැද යාත්‍රා කරමින් සිටින නැව්වල සියලු හබල්කරුවෝද නැවියෝද තම නැව්වලින් බැස ගොඩට එනු ඇත.+ 30  එවිට ඔවුහු ඔබට සිදු වූ දේ ගැන සියලුදෙනාට ඇසෙන්න විලාප නඟන්නෝය.+ තම හිස මතට වැලි දමාගෙන+ අළුවල වැතිර සිටිනු ඇත.+ 31  ඔවුහු ඔබ ගැන ශෝක වී හිස බූ ගාගෙන,+ ගෝණි රෙදි ඇඳ+ ඉමහත් දුකකින් හඬා වැලපෙන්නෝය.+ 32  ඔවුහු ඔබ වෙනුවෙන් මෙසේ විලාප නඟනු ඇත.+“‘“‘මහ සයුර මැද නිහඬ වූ+ තීර්ට සමාන වෙන කවරෙකු සිටීද?+ 33  ඔබ මහ මුහුද තරණය කරමින්+ ඔබේ වෙළඳ භාණ්ඩ+ බොහෝදෙනෙකුගේ අතට පත් කරමින් ඔවුන්ව තෘප්තියට පත් කළෙහිය.+ ඔබේ වටිනා වස්තු සම්භාරයෙන් ඔබ පොළොවේ රජවරුන්ව ධනවත් කළෙහිය.+ 34  දැන් නම් ඔබ මහ මුහුද මැද රළ පහරින් බිඳී ගොස් ඇත.+ ඔබේ සම්පත්ද ඔබ සමඟ සිටි මුළු පිරිසද+ ඔබ සමඟම මුහුදුබත් වී ඇත. 35  දූපත්වල වෙසෙන සියලුදෙනා+ ඔබ දෙස පුදුමයෙන් මෙන් බලන්නෝය. ඔවුන්ගේ රජවරුද මහත් භීතියෙන් වෙවුලති.+ ඔබට සිදු වූ දේ දැක බොහෝදෙනා කැලඹෙනු ඇත.+ 36  වෙළෙන්දෝ පුදුමයට පත්ව ඔබ දෙස බලා සිටිනු ඇත.+ ඔබ බියෙන් බිරාන්ත වන්නෙහිය. ඔබ සදහටම තුරන් වී යනු ඇත.’”’”+

පාදසටහන්