එසකියෙල් 25:1-17

25  යෙහෝවා දෙවි මට තවදුරටත් කතා කර මෙසේ පැවසුවේය.  “මනුෂ්‍ය පුත්‍රය, ඔබ දැන් අම්මොන්වරුන්ට විරුද්ධව අනාවැකි පැවසිය යුතුයි.+  අම්මොන්වරුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මාගේ ශුද්ධස්ථානය නැති වී ගිය නිසාත් ඊශ්‍රායෙල් දේශය පාළුවට ගිය නිසාත් යූදාහි වැසියන්ව වහල්භාවයට ගෙන යනු ලැබූ නිසාත් ඔබ සිටින්නේ ඉමහත් සතුටකිනි.+  ඒ නිසා පෙරදිග වැසියන්ට ඔබව යටත් කිරීමට මම ඉඩ දෙන්නෙමි.+ ඔවුහු ඇවිත් ඔබ අතරෙහි කඳවුරු බැඳගෙන කූඩාරම්ද ගසාගන්නෝය. ඔවුහු ඔබ නෙළාගත් පලදාව කා ඔබ දොවාගත් කිරිද බොන්නෝය.+  මම රබ්බා ප්‍රදේශය+ ඔටුවන් ගැවසෙන ස්ථානයක් බවටද අම්මොන්වරුන්ගේ දේශය එළු බැටළුවන් ලගින ස්ථානයක් බවටද පත් කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වනු ඇත.”’”+  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ කීවේය. ‘ඊශ්‍රායෙල් දේශයට සිදු වූ දේ නිසා ඔබ ප්‍රීතියෙන් උඩ පනිමින් අත්පොළසන් ගැසූ නිසාත්+ එහි වැසියන්ට ඔච්චම් කළ නිසාත්+  මාගේ බලවත් හස්තයෙන් ඔබට පහර දෙන්නෙමි.+ මම ජාතීන්ගේ අතට ඔබව භාර දෙන්නෙමි. ඔවුහු ඇවිත් ඔබ සතු සියල්ල කොල්ල කනු ඇත. මම සියලු දේශවලින් ඔබව පන්නා දමා විනාශ කර දමන්නෙමි.+ මම ඔබව සහමුලින්ම නැති කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වනු ඇත.’  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘“මේ බලන්න, යූදා ජනතාවත් අන් ජාතීනුත් අතර කිසිම වෙනසක් නැහැ”+ කියා මෝවබ්වරුන්+ හා සේයිර්හි වැසියන්+ පවසා ඇත.  ඒ නිසා, මම මෝවබ් රටේ කඳු බෑවුම සතුරන්ගේ අතට හසු කර දෙන්නෙමි. එහි දේශ සීමාවේ පිහිටි ප්‍රසිද්ධ නුවරවල් වන බෙත්-යෙෂිමොත්,+ බාල්-මෙයොන්+ හා කිර්යතායිම්+ යනාදිය සතුරන්ගේ අතට පත් කරන්නෙමි. 10  ඒ සතුරෝ නම් පෙරදිග වැසියෝය.+ අම්මොන්වරුන්වද+ ඔවුන්ගේ අතට හසු කර දෙන්නෙමි. මම මෝවබ් සහ අම්මොන් දේශ ඒ ජාතීන්ට උරුමයක් ලෙස දෙන්නෙමි. මෝවබ්වරුන් යළි කෙදිනකවත් ජාතීන්ගේ මතකයට නැඟෙන්නේ නැත.+ 11  මෝවබ් දේශයට විරුද්ධව මා ගත් තීන්දුව මම ඉටු කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.’+ 12  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘ඒදොම්වරු යූදා වැසියන්ට විරුද්ධව නැඟී සිට ඔවුන්ගෙන් පළිගත්තෝය. ඔවුහු නොනැවතීම ඔවුන්ට විරුද්ධව බරපතළ වැරදි කළෝය.+ 13  එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඒදොම් වැසියන්ටද මාගේ බලවත් හස්තයෙන් පහර දී+ ඔවුන්වත් ඔවුන්ගේ සතුන්වත් විනාශ කර දමන්නෙමි.+ තේමාන්+ සිට දෙදාන් දක්වා මුළු ප්‍රදේශයම පාළු හිස් බිමක් බවට පත් කරන්නෙමි.+ ඔවුහු කඩුවෙන් මැරුම් කන්නෝය. 14  ‘මා ඒදොම්වරුන්ට ලැබිය යුතු එම දඬුවම ලබා දෙන්නේ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් ලවාය.+ ඔවුහු මාගේ දැවෙන උදහස ප්‍රකාශ කරමින් ඒදොම්වරුන්ට විරුද්ධව ක්‍රියා කරනු ඇත. එවිට තමන් කළ වැරදිවලට මා දෙන දඬුවම අද්දකින්න ඔවුන්ට සිදු වනු ඇත’+ යයි විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසයි.”’ 15  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘පිලිස්තිවරු පළිගැනීමේ චේතනාව ඇති නපුරු සෙනඟකි.+ සතුරන් කෙරෙහි තිබෙන බද්ධ වෛරය නිසා+ ඔවුහු තම සිතින් ඔවුන්ව හෙළාදකින්නෝය. ඔවුන්ව විනාශ කිරීමට මාන බලමින් සිටින්නෝය.+ 16  එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම පිලිස්තිවරුන්ට මාගේ බලවත් හස්තයෙන් පහර දී+ කෙරෙතිවරුන්වද සහමුලින්ම නැති කර දමන්නෙමි.+ මුහුදුබඩ ප්‍රදේශයේ ඉතුරුව සිටින අනික් වැසියන්වද විනාශ කර දමන්නෙමි.+ 17  මම මහත් උදහසකින් යුතුව ඔවුන්ට විරුද්ධව මාගේ විනිශ්චය ඉටු කරන්නෙමි.+ මා ඔවුන් කළ දුෂ්ට දේවලට නිසි ප්‍රතිඵල දෙන විට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.”’”+

පාදසටහන්