එසකියෙල් 14:1-23

14  ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන්ගෙන් කිහිපදෙනෙක් මා ළඟට ඇවිත් මා ඉදිරියෙහි හිඳගත්තෝය.+  එවිට යෙහෝවා දෙවි මට මෙසේ පැවසීය.  “මනුෂ්‍ය පුත්‍රය, මේ මිනිස්සු තමන් සාදාගත් පිළිකුල්සහගත රූපවලට මහත් ආශාවෙන් නමස්කාර කරති. ඔවුහු තමන්ගේ වැටීමට හේතු වන ඒ දේවල් තමන් ඉදිරියෙහිම තබාගෙන+ මගෙන්ද මඟ පෙන්වීම් පතති. එවැනි අයට මා පිළිතුරු දෙයි කියා ඔබ සිතනවාද?+  එහෙයින් ඔබ ඔවුන්ට මෙසේ පැවසිය යුතුය. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “තමාගේ වැටීමට හේතු වන ඒ පිළිකුල්සහගත රූප+ ළඟ තබාගෙන මහත් ආශාවෙන් ඒවාට නමස්කාර කරන අතරතුරේදීම, මගේ අනාගතවක්තෘවරුන් ළඟටත් පැමිණෙන සියලුම ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි වන මම හොඳ පිළිතුරක් දෙන්නෙමි. පිළිකුල්සහගත රූප සම්භාරයක් රැස් කරගෙන සිටින ඔවුන්ට මම නිසි ලෙස දඬුවම් කරන්නෙමි.+  මා එසේ කරන්නේ ඊශ්‍රායෙල් සෙනඟව බියෙන් තැතිගන්වන පිණිසය.+ මන්ද ඔවුහු සියලුදෙනාම තමන් සාදාගත් පිළිකුල්සහගත රූප නිසා මාගෙන් ඈත් වී සිටිති.”’+  “ඊශ්‍රායෙල් ජනතාවට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙසේය. “හැරී එන්න. ඔබ සාදාගත් පිළිකුල්සහගත රූප අත්හැර දමා මා ළඟට එන්න.+ ඔබ කරන සෑම නින්දිත දෙයකින්ම ඉවත් වන්න.+  ඊශ්‍රායෙල් ජාතිකයෙකු හෝ ඊශ්‍රායෙල් දේශයේ වාසය කරන විදේශිකයෙකු හෝ මාව අත්හැර+ තමාගේ වැටීමට හේතු වන මේ පිළිකුල්සහගත රූප සාදාගෙන ඒවාට මහත් ආශාවෙන් නමස්කාර කරන අතරේම, මඟ පෙන්වීම් පතා මගේ අනාගතවක්තෘවරයෙකු ළඟට පැමිණියහොත්+ යෙහෝවා දෙවි වන මම ඔහුට හොඳ පිළිතුරක් දෙන්නෙමි.  මම එවැනි කෙනෙකුට විරුද්ධව නැඟී සිට+ මාගේ සෙනඟ අතරින් ඔහුව විනාශ කර දමන්නෙමි.+ ඔහුට සිදු වන දේ සියල්ලන්ට අනතුරු ඇඟවීමක් වන්නේය.+ එය නිතරම අන්‍යයන්ගේ කතාබහට ලක් වනු ඇත.*+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.”’+  “‘අනාගතවක්තෘවරයෙකු රැවටී බොරු අනාවැකියක් පැවසීමට පෙලඹෙන්නේ නම් ඒ දේ සිදු වෙන්න සලස්වන්නේ යෙහෝවා දෙවි වන මමය.+ මම ඔහුට විරුද්ධව මාගේ හස්තය ඔසවා මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් අතරින් ඔහුව නැති කර දමන්නෙමි.+ 10  බොරු අනාවැකි පැවසූ අනාගතවක්තෘවරයාද ඔහුගේ මඟ පෙන්වීම පැතූ තැනැත්තාද යන දෙදෙනාම වරදකරුවෝ වන්නෝය.+ තමන් කළ වරදේ ප්‍රතිඵල විඳින්න ඔවුන්ට සිදු වෙයි.+ 11  මා එසේ කරන්නේ ඊශ්‍රායෙල් ජනයා තවදුරටත් මාගෙන් ඈත් වී මංමුළා නොවන පිණිසත්+ වැරදි දේවල් කිරීමෙන් තවදුරටත් අපවිත්‍ර නොවන පිණිසත්ය. එවිට ඔවුහු මාගේ සෙනඟ වන්නෝය. මමද ඔවුන්ගේ දෙවි වන්නෙමි.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මමය.” 12  යෙහෝවා දෙවි මට තවදුරටත් පැවසුවේ මෙසේය. 13  “මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක් මට විරුද්ධව පව් කර මට ද්‍රෝහි වුණොත්+ මම ඒ දේශයට විරුද්ධව මාගේ හස්තය ඔසවා එහි ඇති ආහාර ගබඩාවන්* විනාශ කර දමන්නෙමි.+ මම ඒ දේශය තුළ සාගතයක් ඇති වීමට සලස්වා+ එහි සිටින මිනිසුන්ව හා සතුන්ව නැති කර දමන්නෙමි.”+ 14  “‘නෝවා,+ දානියෙල්+ හා යෝබ්+ යන තිදෙනා එම දේශයේ සිටියා නම් ඔවුන්ගේ ධර්මිෂ්ඨකම+ නිසා ඔවුන්ට ගලවාගත හැකි වන්නේ ඔවුන්ගේ ජීවිත පමණි.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මමය.” 15  “‘එසේත් නැත්නම් මා දේශය පුරා දරුණු වනමෘගයන්ව එවීමට තීරණය කළ හැකිය.+ එවිට ඒ වනමෘගයෝ එහි වැසියන්ගේ දරුවන්ව මරා දමනවා ඇත.+ උන් නිසා දේශය පාළු තැනක් බවට පත් වන්නේය. කිසිවෙක් ඒ මැදින් ගමන් කරන්නේද නැත.+ 16  එම පුරුෂයන් තිදෙනා එහි සිටියත් තමන්ගේ දූපුතුන්වවත් බේරාගැනීමට ඔවුන්ට නොහැකි වනු ඇත. ගැලවෙන්නේ ඔවුන් තිදෙනා පමණයි. දේශයද පාළු ස්ථානයක් බවට පත් වන්නේය. ජීවමාන දෙවි වන මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මමය.” 17  “‘එසේත් නැත්නම් මා එම දේශයට කඩුවෙන් පහර දීමට තීරණය කළ හැකිය.+ එවිට, “කඩුව දේශය පුරාම යවන්නෙමි” යයි පවසා මම එහි සිටින මිනිසුන්ව හා සතුන්ව විනාශ කර දමන්නෙමි.+ 18  එම පුරුෂයන් තිදෙනා එහි සිටියත්+ තමන්ගේම පුත්‍රයන්ව හෝ දූවරුන්ව හෝ බේරාගැනීමට ඔවුන්ට නොහැකි වනු ඇත. ගැලවෙන්නේ ඔවුන් තිදෙනා පමණයි.+ ජීවමාන දෙවි වන මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වූ යෙහෝවා දෙවි වන මමය.” 19  “‘එසේත් නැත්නම් එම දේශයට වසංගතයකින් පහර දීමට තීරණය කළොත්+ මම මාගේ උදහස ප්‍රකාශ කර බොහෝදෙනෙකුව මරණයට පත් කරන්නෙමි.+ මෙසේ, මම මිනිසුන්ව හා සතුන්ව දේශයෙන් නැති කර දමන්නෙමි. 20  එහි නෝවා,+ දානියෙල්+ සහ යෝබ්+ සිටියා නම්+ තමන්ගේ දූපුතුන්ව බේරාගැනීමට ඔවුන්ටවත් නොහැකි වනු ඇත. ඔවුන්ගේ ධර්මිෂ්ඨකම නිසා තමන්ගේ ජීවිත පමණක් ගලවාගැනීමට ඔවුන්ට හැකි වනු ඇත.+ ජීවමාන දෙවි වන මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මමය.” 21  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මා කඩුව, සාගතය, දරුණු වනමෘගයන් හා වසංගතය+ යන ඒ ක්‍රම හතරෙන්ම+ යෙරුසලමට පහර දෙන විට දේශයෙහි මොන තරම් මහත් විනාශයක් සිදු වනු ඇද්ද! මා එසේ කරන්නේ මිනිසුන්ව හා සතුන්ව දේශයෙන් අතු ගා දමන පිණිසය.+ 22  එහෙත් එම විනාශයෙන් පවා බේරෙන පිරිසක් සිටිනු ඇත.+ එසේ බේරෙන ඒ දූපුතුන් දෙස බලන්න! ඔවුහු ඔබ වෙතට පැමිණෙන්නෝය. ඔවුන්ගේ ගතිපැවතුම් ඔබ දකින්නහුය.+ එවිට මා යෙරුසලම පිට ගෙනා සෑම විපතක්ම සාධාරණ බව ඔබ තේරුම්ගනු ඇත.’” 23  “‘ඔබ ඔවුන්ගේ ගතිපැවතුම් දකින විට එය සැබවින්ම ඔබට සැනසීමක් වනු ඇත. මා මේ දේශයට කළ සෑම දෙයකටම හොඳ හේතුවක් තිබෙන බව ඔබ දැනගන්නවා ඇත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වූ යෙහෝවා දෙවි වන මමය.”+

පාදසටහන්

ද්වි 28:37හි පාදසටහන බලන්න.
ලෙවී 26:26හි පාදසටහන බලන්න.