උත්පත්ති 44:1-34

44  පසුව යෝසෙප් තම නිවස භාරව සිටි සේවකයාට+ මෙසේ අණ කළේය. “මේ මිනිසුන්ට රැගෙන යන්න පුළුවන් ප්‍රමාණයට ඔවුන්ගේ මලුවලට ආහාර පුරවන්න. ඔවුන් එක් එක් කෙනා දුන් මුදල්ද ඔවුන්ගේ මලුවලට දමන්න.+  නමුත් බාලයාගේ මල්ලට ඔහු ධාන්‍යවලට ගෙවූ මුදල් එක්කම මගේ රිදී කුසලානයත් දමන්න.” සේවකයා යෝසෙප් කී ලෙසම කළේය.+  පසුවදා උදෑසන යෝසෙප්ගේ සහෝදරයන්ව පිටත් කර යවන ලදි.+ ඔවුහු තම බූරුවන් සමඟ නුවරින් පිටත්ව ගියෝය.  ඔවුන් වැඩි දුරක් යන්න කලින් යෝසෙප් තම සේවකයාට මෙසේ කීවේය. “ඉක්මන් කරන්න. අර මිනිස්සු පිටුපස එළවගෙන ගිහින් ඔවුන්ව අල්ලගන්න. ඔවුන්ගෙන් මෙහෙම අහන්න. ‘ඔබට හොඳින් සැලකුවාට පස්සේ ඔබ මගේ ස්වාමියාට නපුරක් කළේ ඇයි?+  ඔබ මගේ ස්වාමියා බොන කුසලානය ගත්තා නේද? ඔහු අකුරටම නිමිති බලන්නේ ඒ කුසලානය යොදාගෙනයි.+ ඔබ මේ කළේ මොන තරම් දුෂ්ට දෙයක්ද!’”  පසුව යෝසෙප්ගේ සේවකයා ඔවුන් ළඟටම පැමිණ තමාට කියා තිබූ ලෙසම ඔවුන්ට කීවේය.  නමුත් ඔවුහු, “මාගේ ස්වාමීනි, ඔබ අපිව මේ විදිහට සැක කරන්නේ ඇයි? ඔබේ සේවකයන් වන අපි හීනෙකින්වත් ඒ වගේ දෙයක් කරන්න හිතුවේ නැහැ.  අපේ මලුවලට නැවත දමා තිබූ මුදල් ටිකත් අපි කානාන් දේශයේ ඉඳන් ඔබට ගෙනත් දුන්නා.+ එහෙනම් ඔබේ ස්වාමියාගේ නිවසින් අපි රන් රිදී හොරකම් කළා කියා සැක කරන්නේ ඇයි?+  ඔබේ සේවකයන්ගෙන් කෙනෙක් ළඟ ඒ කුසලානය තිබුණොත් ඔහුව මරා දමන්න. ඒක හම්බ වුණොත් අපි සියලුදෙනාම ඔබේ ස්වාමියාට දාසයන් වෙනවා.”+ 10  එවිට ඔහු මෙසේ කීවේය. “ඔබ කියූ දේ හොඳයි.+ කුසලානය කාගේ හරි ගාව තිබිලා හම්බ වුණොත් ඔහු මගේ ස්වාමියාගේ දාසයා විය යුතුයි.+ අනික් අයව මම නිදහස් කරනවා.” 11  එවිට ඔවුහු එකිනෙකා විගස තම තමාගේ මලු බිමට බා ඒවා විවෘත කළෝය. 12  ඔහු වැඩිමලාගෙන් පටන්ගෙන බාලයා දක්වා ඔවුන්ගේ මලු හොඳින් අවුස්සා බැලුවේය. අන්තිමේදී කුසලානය බෙන්ජමින්ගේ මල්ලේ තිබී සම්බ විය.+ 13  එවිට ඔවුහු තම වස්ත්‍ර ඉරාගෙන+ තම තමන්ගේ බූරුවන් පිට බඩු පටවාගෙන ආපසු නුවරට හැරී ගියෝය. 14  යූදා+ ඔහුගේ සහෝදරයන් සමඟ යෝසෙප්ගේ නිවසට ඇතුල් වී ඔහු වෙතට ගොස් ඔහු ඉදිරියේ මුණින් වැටුණේය.+ 15  එවිට යෝසෙප් ඔවුන්ට කතා කර මෙසේ කීවේය. “ඔබ මොනවාද මේ කළේ? මං වගේ කෙනෙකුට අකුරටම නිමිති බලන්න පුළුවන් කියා ඔබ දැනගෙන සිටියේ නැද්ද?”+ 16  එවිට යූදා ඔහුට මෙසේ කීවේය. “මාගේ ස්වාමීනි, අපි ඔබට මොනවා කියන්නද? ඔබේ දාසයන්ගේ වැරදි හෙළි කර දුන්නේ සැබෑ දෙවියි.+ ඉතින් අපි ධර්මිෂ්ඨයි කියා ඔප්පු කරන්නේ කොහොමද?+ මාගේ ස්වාමීනි, කුසලානය ළඟ තිබුණු කෙනා විතරක් නෙවෙයි අපිත් ඔබේ දාසයන්!”+ 17  එහෙත් ඔහු මෙසේ කීවේය. “නැහැ, මට එහෙම වෙන්න නම් ඉඩ දෙන්න බැහැ.+ කුසලානය ළඟ තිබුණු කෙනා විතරයි මගේ දාසයා වෙන්නේ.+ අනික් හැමෝම සමාදානයෙන් තමන්ගේ පියා වෙතට යන්න.”+ 18  එවිට යූදා ඔහු ළඟට ගොස් මෙසේ කීවේය. “මාගේ ස්වාමීනි, ඔබත් පාරාවෝට සමානයි+ කියා මම දන්නවා. එහෙත් කෝප නොවී+ ඔබේ දාසයාට යමක් කියන්න අවසර දෙන්න.+ 19  ‘ඔබේ පියා තවමත් ඉන්නවාද? ඔබට තව සහෝදරයෙක් ඉන්නවාද’ කියා මාගේ ස්වාමීන් ඔබේ දාසයන් වන අපෙන් ඇහුවා. 20  එතකොට අපි ඔබට මෙහෙම කිව්වා. ‘අපේ පියා තාමත් ජීවත් වෙනවා. ඔහු දැන් වයසයි. අපිට තව සහෝදරයෙකුත් ඉන්නවා. ඔහු බාලයා.+ ඔහු ඉපදුණේ අපේ පියා වයසට ගියාට පස්සේ. ඔහුගේ මවට උපන් තවත් පුතෙක් හිටියා. නමුත් ඔහු මැරුණ නිසා දැන් බාලයා විතරයි ඉතුරු වෙලා ඉන්නේ.+ ඔහුගේ පියා ඔහුට ගොඩක් ආදරෙයි.’ 21  එහෙත් ඔබ, ‘මගේම ඇස්වලින් ඔහුව දැකගන්නා පිණිස ඔහුව මෙහාට රැගෙන එන්න’ කියා ඔබේ දාසයන්ට කිව්වා.+ 22  නමුත් අපේ ස්වාමීන්ට අපි මෙහෙම කිව්වා. ‘දරුවා ඔහුගේ පියාව දාලා ගියොත් අපේ පියා මැරෙයි.’+ 23  නමුත්, ‘ඔබේ බාල සහෝදරයාව එක්කගෙන ආවේ නැත්නම් නැවත මා ඉදිරියට එන්න එපා’ කියා ඔබ අපට අණ කළා.+ 24  “ඊටපස්සේ අපි ඔබේ දාසයා වන මගේ පියා ළඟට ගොස් ඔබ කියූ දේවල් ඔහුට පැවසුවා. 25  ටික කාලයකට පස්සේ අපේ පියා, ‘ආයෙත් ගිහින් කෑම ටිකක් මිල දී ගෙන එන්න’ කියා අපෙන් ඉල්ලා සිටියා.+ 26  නමුත් අපි ඔහුට මෙහෙම කිව්වා. ‘අපිට යන්න බැහැ. අපේ බාල සහෝදරයා නැතුව අපිට ආයෙත් ඒ මිනිසා ඉදිරියට යන්න අවසර නැහැ. ඔබ අපේ බාල සහෝදරයාව අපිත් එක්ක එවනවා නම් අපි යන්නම්.’+ 27  මගේ පියා අපිට මෙහෙම කිව්වා. ‘මගේ බිරිඳ මට පුතාලා දෙන්නෙක් බිහි කළා කියා ඔබ හොඳින්ම දන්නවා.+ 28  ඒ එක පුතෙක් මගෙන් වෙන් වුණා. ඒ වෙලාවේ, “අනේ, සතෙක් ඔහුව මරලා දාන්න ඇති” කියලා මම ඇඬුවා.+ අද වන තුරුත් මම ඔහුව දැක්කේ නැහැ. 29  ඔබ මේ පුතාවත් එක්කගෙන ගිහින් ඔහුට අනතුරක් වෙලා මැරුණොත් මහලු වයසේ ඉන්න මාත් දුක දරාගන්න බැරිව මැරිලා යයි.’+ 30  “අපේ පියා ඔහුගේ දරුවාට පණටත් වඩා ආදරෙයි.+ මම දරුවා නැතුව ඔහු ළඟට ගියොත්, 31  ඔහු මැරෙන එක නම් ස්ථිරයි. ඔබේ දාසයා වන අපේ පියා මා නිසා මහලු වයසේදී දුක දරාගන්න බැරිව මැරෙයි. 32  දරුවාට කිසිම දෙයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියා මම පියාට පොරොන්දු වුණා.+ ‘ඔහුව නැවත ඔබ ළඟට ගෙනාවේ නැත්නම් මම මැරෙන තුරුම ඒ වරදට දඬුවම් විඳින්න සූදානම්’+ කියාත් මම ඒ වෙලාවේ පියාට කිව්වා. 33  ඒ නිසා දැන් දරුවාටත් ඔහුගේ අනික් සහෝදරයන්ටත් යන්න දී මාව තියාගන්න කියා මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලනවා. මම ඔබේ දාසයා හැටියට සේවය කරන්නම්.+ 34  අනේ, දරුවා නැතුව නම් අපේ පියා ළඟට යන්න කියන්න එපා. මම කොහොමද මගේ පියා මැරෙන එක මගේ ඇස් දෙකෙන් බලාගෙන ඉන්නේ?”+

පාදසටහන්