උත්පත්ති 20:1-18

20  ආබ්‍රහම් තමා සිටි ස්ථානයෙන් පිටත් වී නෙගෙබ් පළාතට ගොස් කාදෙෂ්+ සහ ෂුර්+ අතර කූඩාරම් ගසාගත්තේය.+ පසුව ඔහු ගෙරාර්+ නම් ස්ථානයේද විදේශිකයෙකු ලෙස ජීවත් විය.  එහිදීත්, ඔහු තම භාර්යාව වූ සාරාව හඳුන්වා දුන්නේ තමාගේ සහෝදරිය ලෙසය.+ පසුව ගෙරාර්හි රජු වූ අබිමෙලෙක් සාරාව තමා වෙතට ගෙන්වාගත්තේය.+  එහෙත් දෙවි රාත්‍රියේදී සිහිනයකින් අබිමෙලෙක්ට පෙනී මෙසේ කීවේය. “ඔබ වෙනත් කෙනෙකුගේ භාර්යාවක්+ ගත් බැවින් මිය යන්නේය.”+  එහෙත් අබිමෙලෙක් ඇයට අතවත් තබා තිබුණේ නැති බැවින්+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවියනි, ඔබ වරදක් නොකළ ජාතියක් විනාශ කරන්නේ ඇයි?+  ඔහු මට කිව්වේ ඇය ඔහුගේ සහෝදරිය කියායි. ඇය මට කිව්වෙත් ඔහු ඇගේ සහෝදරයා කියායි. මම මේ දේ කළේ නොදන්නාකමින්.”+  එවිට සැබෑ දෙවි සිහිනයකින් ඔහුට මෙසේ කීවේය. “ඔබ මේ දේ කළේ නොදන්නාකමින් කියා මමත් දනිමි.+ ඇයට අත තබන්න ඔබට ඉඩ නොදී+ මට විරුද්ධව පව් කිරීමෙන්+ ඔබව වැළැක්වූවේ ඒ නිසයි.  දැන් ඒ මනුෂ්‍යයාගේ භාර්යාව ආපසු ඔහුටම භාර දෙන්න. ඔහු අනාගතවක්තෘවරයෙකු+ වන නිසා ඔහු ඔබ වෙනුවෙන් මට කන්නලව් කරයි.+ එවිට ඔබේ ජීවිතය රැකෙයි. නමුත් ඔබ ඇයව භාර නොදුන්නොත් ඔබ අනිවාර්යයෙන්ම මිය යන්නේය. ඔබත් ඔබට අයිති සියලුදෙනාත් මිය යන්නෝය.”+  අබිමෙලෙක් උදේ පාන්දරින්ම නැඟිට තම සේවකයන් සියලුදෙනාවම කැඳවා ඒ සෑම දෙයක්ම ඔවුන්ට කීවේය. ඔවුහු මහත් සේ භය වූහ.  ඉන්පසු අබිමෙලෙක් ආබ්‍රහම්ව කැඳවා මෙසේ කීවේය. “ඔබ කුමක්ද මේ කළේ? ඔබ මාවත් මගේ රාජ්‍යයත් මෙතරම් විශාල පාපයකට හසු කරන්න තරම් මම ඔබට විරුද්ධව කළ වරද කුමක්ද?+ ඔබ මට කළේ ලොකු වරදක්.”+ 10  අබිමෙලෙක් ආබ්‍රහම්ගෙන් මෙසේද ඇසීය. “ඔබ මේ වගේ දෙයක් කළේ ඇයි?”+ 11  එවිට ආබ්‍රහම් මෙසේ කීවේය. “මේ දේශයේ කිසිවෙකුට දෙවි කෙරෙහි ගරුබියක් නැහැයි කියා මට හිතුණා.+ ඒ නිසා මේ සෙනඟ මගේ බිරිඳව ලබාගැනීමට මාව මරා දමයි+ කියා මම භය වුණා. 12  අනික, ඇය ඇත්තෙන්ම මගේ සහෝදරිය. ඇය මගේ මවගේ දුව නොවුණත් මගේ පියාගේ දුව. මම ඇයව විවාහ කරගත්තා.+ 13  දෙවි මගේ පියාගේ නිවස අත්හැර යන්න+ කියා මට කියද්දී මම ඇයට මෙහෙම කිව්වා. ‘ඔබ ඇත්තෙන්ම මට ආදරේ*+ නම් මා වෙනුවෙන් මේ දේ කරන්න. අප යන සෑම තැනකදීම මාව ඔබේ සහෝදරයා ලෙස හඳුන්වා දෙන්න.’”+ 14  ඉන්පසු අබිමෙලෙක් බැටළුවන්ද ගවයන්ද සේවක සේවිකාවන්ද ආබ්‍රහම්ට දී ඔහුගේ භාර්යාව වූ සාරාව නැවත ඔහුට භාර දුන්නේය.+ 15  අබිමෙලෙක් මෙසේද කීවේය. “මගේ දේශයේ ඔබට කැමති තැනක ජීවත් වෙන්න පුළුවන්.”+ 16  අබිමෙලෙක් සාරාට මෙසේ කීවේය. “මම ඔබේ සහෝදරයාට+ රිදී ෂෙකෙල් දාහක් දෙනවා. ඔබව නින්දාවට පත් නොකළ බවට ලකුණක්+ වශයෙන් මෙතැන ඉන්න සියලුදෙනා හා ඔබ සමඟ සිටින සියලුදෙනා ඉදිරිපිටම එය දෙනවා.” 17  ආබ්‍රහම් අබිමෙලෙක් වෙනුවෙන් සැබෑ දෙවිට කන්නලව් කළේය.+ පසුව අබිමෙලෙක්වද ඔහුගේ භාර්යාවද ඔහුගේ සේවිකාවන්වද දෙවි සුව කළේය. එවිට අබිමෙලෙක්ගේ නිවසේ සිටි සියලු ස්ත්‍රීහු නැවත දරුපල ලැබුවෝය. 18  මන්ද ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා නිසා යෙහෝවා දෙවි ඒ සියලු ස්ත්‍රීන්ට දරුපල අහිමි කර තිබිණ.*+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
මූ.අ., “සියලු ගර්භ තදින් වැසුවේය.”