Skip to content

පටුනට යන්න

පසුගිය වසරෙන්

“ඔයාලා තමයි හොඳම අසල්වැසියෝ”

“ඔයාලා තමයි හොඳම අසල්වැසියෝ”

2016 මැයි 7වෙනිදා සහ 8වෙනිදා නිව් යෝර්ක් නගරයේ බෘක්ලින්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට අමුත්තන් හුඟදෙනෙක් ඇවිත් හිටියා. සති අන්තයේ දවස්වල සාමාන්‍යයෙන් කාර්යාල නැරඹීමට අවස්ථාව දෙන්නේ නැති වුණත් එදා කාර්යාලය අවට ජීවත් වුණු අසල්වැසියන්ට බයිබල් ප්‍රදර්ශනය නරඹන්න විශේෂ ආරාධනාවක් කරලා තිබුණා.

මේ ප්‍රදර්ශනය නරඹන්න ආරාධනා කරපු නිසා ඒ පැත්තේ හිටිය අසල්වැසියන්ට සාක්ෂිකරුවන් ගැන ඇති වුණේ හොඳ පැහැදීමක්. අසල්වැසියන්ගෙන් ලැබුණු හොඳ ප්‍රතිචාරය ආරාධනා කරන්න හවුල් වුණ සාක්ෂිකරුවන්ටත් ලොකු දිරිගැන්වීමක් වුණා.

ඒ පැත්තේ ජීවත් වෙන අසල්වැසියෙක් මෙහෙම කිව්වා. “1960 ගණන්වල ඉඳන් මම පදිංචි වෙලා ඉන්නේ මේ පළාතේ. ඔයාලා හොඳ අසල්වැසියන්. ඔයාලා මෙහෙන් යන එක ගැන මට හරිම දුකයි.”

තවත් කාන්තාවක් කිව්වේ මෙහෙමයි. “මේ පළාත මෙච්චර දියුණු වෙලා තියෙන්නේ ඔයාලා නිසයි. ඔයාලා වගේ අය අපේ අසල්වැසියන් වෙලා හිටපු එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා.”

අසල්වැසියන් එයාලාට හොඳට ඇහුම්කන් දීලා ආරාධනය පිළිගත්ත එක ගැන පුරෝගාමීන් ගොඩක් සතුටු වුණා. නගර සංවර්ධන සමිතියක සේවය කරන කෙනෙක්ට සහෝදරයන් ආරාධනා කළා. ඒත් ප්‍රදර්ශනය තියෙන දවස්වල වෙන පළාතකට යන නිසා එන්න බැරි වෙයි කියලා එයා කනගාටුවෙන් කිව්වා. හැබැයි එයා අපේ සංවිධානය හුඟක් අගය කළා.

ප්‍රදර්ශනය බලන්න අසල්වැසියන් 48දෙනෙක් ආවා. බෙතෙල් පවුලේ සාමාජිකයන් ඒ අමුත්තන්ව ආදරයෙන් පිළි අරන් එයාලා එක්ක හොඳින් කතාබහ කළා.

සැලී කියන්නේ රැකියාවක් කරන 20 ගණන්වල ඉන්න යෞවනියක්. එයා පැය භාගයක් විතර ප්‍රදර්ශනය නැරඹුවා. එයාට ආරාධනා කරපු පුරෝගාමීන්වත් සැලීට එතනදී හම්බ වුණා. මේ වගේ ප්‍රදර්ශනයක් කලින් දැකලා තිබුණෙ නැහැ කියලා සැලී එයාලාට කිව්වා. දැන උගත් යෞවනියක් විදිහට එයාට බයිබලය ගැන තිබුණ උනන්දුව පුරෝගාමීන් ගොඩක් අගය කළා. සැලී මෙහෙම කිව්වා. “බයිබලය කියන්නේ අපිට නැතුවම බැරි පොතක්. මොකද දෙවියන් අපිට කියන දේවල් දැනගන්න පුළුවන් වෙන්නේ ඒකෙන්.”

සැලීට බයිබලය ගැන කොච්චර ආසාවක් තියෙනවාද කියනවා නම් බයිබලයේ පැරණි පරිවර්තන කියවන්න එයා ලතින් සහ ග්‍රීක භාෂා ඉගෙනගෙන තියෙනවා. පරිවර්තන වැඩ ගැනත් එයාට ලොකු උනන්දුවක් තිබුණා. පරිවර්තනයේදී තමන්ගේ අදහස් ඇතුළත් කරනවා නම් ඒක නිවැරදි පරිවර්තනයක් වෙන්නේ නැහැ කියලා එයා කිව්වා. හුඟක් බයිබල් පරිවර්තකයන් බයිබලයෙන් දෙවිගේ නම අයින් කරලා තියෙනවා කියලා එයාට කිව්වාම එයා පුදුම වුණා. jw.org වෙබ් අඩවියෙන් බයිබලය මත පදනම් ප්‍රකාශන භාෂා 800කට වඩා වැඩියෙන් ලබාගන්න පුළුවන් කියලත් පුරෝගාමීන් සැලීට කිව්වා. යන්න කලින් “ඔයාලා තමයි අපේ පැත්තේ ඉන්න හොඳම අසල්වැසියන්” කියලා සැලී කිව්වා.

ප්‍රදර්ශනයට පහුවදා බෙතෙල් එක ළඟ තියලා තිබුණ ජංගම පුවරුව ළඟට පූජකයෙක් ආවා. එයා එතන හිටපු බෙතෙල් එකේ සේවය කරන ජෝන්ට කතා කරලා කිව්වා ප්‍රදර්ශනයට එන්න ලැබුණු එක ගැන එයා ගොඩක් සතුටු වෙනවා කියලා. ඒ වගේම අපි බයිබලයේ තියෙන දේවල් කිට්ටුවෙන් අනුගමනය කරන එක ගැනත් හොඳ කිව්වා. ඒත් ටික වෙලාවක් කතා කරලා එයා එකපාරටම මෙහෙම කිව්වා. “දැන් නම් ඔයාලා ගැන මට හරි තරහයි.” ඒක අහපු සහෝදරයා පුදුම වෙලා ඒ ඇයි කියලා ඇහුවා. පූජකයා මෙහෙම කිව්වා. “මට තරහා ඔයාලා මෙහෙන් යන නිසා. මේ පැත්තෙන්ම තව ගොඩනැගිලි අරන් ඔයාලාගේ සංවිධානය ලොකු කරන්න. ඔයාලා නිසා මේ පැත්ත කොච්චර දියුණු වෙලා තියෙනවාද!”

අසල්වැසියන්ට ආරාධනා කරන්න සාක්ෂිකරුවන් ගත්ත මේ විශේෂ වෑයම සහ බයිබල් ප්‍රදර්ශනය නිසා ඒ පැත්තේ අයට ඔවුන් ගැන හොඳ පැහැදීමක් ඇති වුණා. දෙවිගේ නම මේ අසල්වැසියන්ට කවදාවත් අමතක වෙන එකක් නැහැ.