Skip to content

පටුනට යන්න

එංගලන්තය: ජාත්‍යන්තර සමුළුවට වෙනත් රටවල්වලින් ආව අයව පිළිගන්න සහෝදර සහෝදරියන්

ලොව වටා සේවය

යුරෝපය

යුරෝපය
  • රටවල් ගණන 47

  • ජනගහනය 74,34,21,605

  • ප්‍රචාරකයන් ගණන 16,14,244

  • බයිබල් පාඩම් ගණන 8,42,091

අහම්බෙන් හම්බ වුණු බයිබල් පාඩම

එංගලන්තයේ තියපු ජාත්‍යන්තර සමුළුව ඒ රටේ අයටත් වෙනත් රටවල්වලින් ආව අයටත් විශේෂ අවස්ථාවක් වුණා. ඇන්ඩෘ සහ එළිසබෙත් කියන යුවළ ලන්ඩන්වල තියෙන හෝටලයකට ගියේ වෙනත් රටවල්වලින් සමුළුවට ආව අයව පිළිගන්න. පිළිවෙළට ඇඳගෙන හිටිය කාන්තාවක් දැක්ක එළිසබෙත් එයා සමුළුවට ආව කෙනෙක් කියලා හිතලා එයාව වැළඳගෙන ආදරෙන් පිළිගත්තා. ඒ වෙලාවේ ඒ කාන්තාව පුදුම වුණා. තමන්ට මොකක් හරි වැරදීමක් වුණා කියලා තේරුම්ගත්ත එළිසබෙත් මෙහෙම කිව්වා. “සොරි, මං හිතුවේ ඔයා සමුළුවට ආව කෙනෙක් කියලා.”

එළිසබෙත් කතා කරන්නේ මොකක් ගැනද කියලා තේරුණේ නැති නිසා ඒ කාන්තාව ඒ ගැන ඇහුවා.

හෝටලයට ඇතුල් වෙන තැන මේසයක් උඩ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව පිළිගන්නවා කියලා සඳහන් කරලා තිබුණු බෝඩ් එක එළිසබෙත් ඒ කාන්තාවට පෙන්නුවා. ඒ වෙලාවේ ඒ කාන්තාව ගොඩක් සතුටින් “මාවත් සාක්ෂිකාරයෙක් වගේද පේන්නේ” කියලා එළිසබෙත්ගෙන් ඇහුවා.

ටික වෙලාවක් කතා කරද්දී එයා නයිජීරියාවේ කෙනෙක් කියලත් එයාගේ නම විවියන් කියලත් එයා ඉන්නේ තමන්ගේ ගෙවල් පැත්තේ කියලත් එළිසබෙත්ට දැනගන්න ලැබුණා. දරුවන්වත් සහභාගි කරගෙන බයිබල් පාඩමක් කරන්නත් විවියන් කැමති වුණා. එයාගේ ගෙදරට ගිය දවසේ ඇන්ඩෘ සහ එළිසබෙත් විවියන්ට ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත පෙන්නුවාම දැනටමත් එයා ළඟ ඒ පොතක් තියෙනවා කියලත් ඒක දරුවන්ට ඇහෙන්න නිතරම කියවනවා කියලත් එයා කිව්වා. මේ පොත තමයි බයිබල් පාඩම් කරන්න අපි පාවිච්චි කරන්නේ කියලා කිව්වාම “එහෙනම් අපි දැන්ම පාඩම පටන්ගමු” කියලා විවියන් කිව්වා.

රෝමනි භාෂාව කතා කරන සහෝදරයෙක්ගෙන් ලියුමක්

ස්ලොවැක් ජනරජයේ රෝමනි භාෂාවෙන් රැස්වීම් තියන 1වෙනි සභාව පටන්ගත්තේ 2014 නොවැම්බර්වල. මෑතක පවත්වපු සමුළුවකදී ඒ භාෂාව කතා කරන 21දෙනෙක් බව්තීස්ම වුණා. ඒ හැමෝම එකම ගමේ අය. ඒ සභාවේ අන්තිමට පවත්වපු සිහි කිරීමට 495දෙනෙක් ආවා. ඒ අතර හිටිය අලුත බව්තීස්ම වුණු සහෝදරයෙක් ශාඛා කාර්යාලයට මෙහෙම ලියලා එව්වා.

ස්ලොවැක් ජනරජය: රෝමනි භාෂාව කතා කරන කාන්තාවකට ශුභාරංචිය කියන සහෝදරයන් දෙන්නෙක්

“ස්ලොවැක් ජනරජයේ සෙහෙරාවල ඉන්න මම රෝමනි භාෂාව කතා කරන කෙනෙක්. මේ පැත්තේ ඉන්න සුදු ජාතික අය හිතන්නේ අපි අහිකුණ්ටකයෝ කියලා. අපි බොරු කියන, හොරකම් කරන, අපිරිසිදු අය විදිහටයි එයාලා සලකන්නේ. මට පල්ලියට යන්න ඕන වුණත් මං එතනට ගියාම පල්ලිය බලාගන්න කෙනා අපි වගේ අයට මෙහෙට එන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මට යන්න කිව්වා. ඒ නිසා මට සුදු ජාතික අය ගැන දැනුණේ ලොකු තරහක්. දවසක් සාක්ෂිකරුවන් මට එයාලගේ රැස්වීම්වලට එන්න කිව්වා. පල්ලියේදී වුණා වගේ දෙයක් එතනත් වෙයි කියලා හිතුණු නිසා මං එතනට ගියේ හිතේ සැකෙන්. ඒත් මං ශාලාවට ඇතුළට යන්නත් කලින්ම එතන හිටපු සුදු ජාතික කෙනෙක් ඇවිත් අතට අත දීලා මාව හරිම ආදරෙන් පිළිගත්තා. මට පුදුම හිතුණා.‘මෙතන ඉන්න අය මට මෙච්චර හොඳට සලකන්නේ ඇයි’ කියලා හිතහිතා හිටපු නිසා එදා දේශනයට අවධානය දෙන්නත් බැරි වුණා.

“ඒ දේවල් ගැන හිතහිතා හිටිය නිසා මට එදා රෑ නින්ද ගියෙත් නැහැ. මේක එදා විතරක් වුණු දෙයක්ද කියලා දැනගන්න ඕන වුණ නිසා මං ආයෙත් එතනට ගිහින් බලන්න හිතුවා. දෙවෙනි පාරටත් මං එහෙට ගියාම එයාලා කලින් දවසටත් වඩා හොඳින් මාව පිළිගත්තා. මට සැලකුවේ යාළුවෙක්ට වගෙයි. එදා ඉඳන් මං දිගටම රැස්වීම් ගියා. බව්තීස්මත් වුණා. ඊටපස්සෙත් සහෝදරයන් පෙන්නපු ආදරය, කරුණාව වෙනස් වුණේ නැහැ. එයාලට මාව ගොඩක් වටිනවා කියලා මට දැනුණා. මං කවදාවත් මේ සංවිධානය අත්හරින්නේ නැහැ. මට ඕන යෙහෝවා දෙවිට සදහටම සේවය කරන්න.”

යාච්ඤාවට උත්තර ලැබුණා

අසර්බයිජානයේ ඉන්න සහෝදරි අයිසල්, ගන්කා නගරයේ ඉඳන් බාකු නගරයට බස් එකෙන් යද්දී, කාට හරි දේශනා කරන්න උදව් කරන්න කියලා දෙවිට යාච්ඤා කළා. එයා ඒ වෙද්දිත් බස් එකේ ආසනයක් වෙන් කරගෙනයි හිටියේ. ඒත් කාන්තාවක් අයිසල්ට එයා ළඟ ඉඳගන්න කියලා කිව්වා. එතන ඉඳගත්ත අයිසල් එයාත් එක්ක කතා කරද්දී බයිබලයේ තියෙන දේවල් ගැනත් කිව්වා. ඒ වෙලාවේ, එයා යේසුස්ට ආදරෙයි කියලත් ඔහු ගැන තවත් දැනගන්න ආසයි කියලත් ඒ කාන්තාව කිව්වා. පස්සේ ඒ දෙන්නා දුරකථන අංක හුවමාරු කරගෙන ආයෙත් මුණගැහෙන්න කතා කරගත්තා. පුළුවන් නම් බයිබලයක් ගෙනත් දෙන්න කියලත් ඒ කාන්තාව කිව්වා.

අයිසල් ආයෙත් ගන්කා නගරයට ගියාම ඒ කාන්තාව බලන්න ගියා. එයා ළඟ “යාච්ඤා පොතක්” තියෙනවා කියලත් ඒක හැමදාම කියවනවා කියලත් ඒ කාන්තාව අයිසල්ට කිව්වා. එයා හැමදාම කියවන ඒ පොත 2013 දිනපද පොත කියලා දැක්කම අයිසල්ට පුදුම හිතුණා. එයා ඉක්මනින්ම ඒ කාන්තාව එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. දෙවි එයාගේ යාච්ඤාවට උත්තර දීපු එක ගැන අයිසල්ට දැනුණේ ලොකු සතුටක්!

හිරේ ඉන්න කෙනෙක්ගෙන් ලියුමක්

මේ ලිපිය එව්වේ ස්පාඤ්ඤයේ හිරගෙදරක ඉන්න කෙනෙක්.

හැම තරාතිරමකම අයට ශුභාරංචිය කියන්න ඔයාලා ගන්න උත්සාහයට මුලින්ම මං ඔයාලට ගොඩක් ස්තුති කරනවා.

“පළවෙනි වතාවට මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හම්බ වුණේ මීට අවුරුදු 15කට කලින්. ඒ ඇල්බේනියාවේ ටිරානා නගරයේදී. එදා සාක්ෂිකාරයෙක් අපිත් එක්ක කතා කරපු එක ගැන මට පුදුම හිතුණා. මොකද ඒ කාලේ මං මැර කල්ලියක සාමාජිකයෙක්. අපේ කල්ලියේ දහදෙනෙක් හිටියා. සාමාන්‍යයෙන් මිනිස්සු අපිත් එක්ක කතා කරන්නත් බයයි. අපේ අතේ ආයුධ තියෙද්දිත් ඒ සහෝදරයා අපිට ශුභාරංචිය කිව්වා. එයාට තිබුණේ පුදුම නිර්භීතකමක්!

“මීට අවුරුදු 4කට කලින් සාක්ෂිකරුවන් මං ඉන්න මේ හිරගෙදරට ඇවිත් බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා මගෙන් ඇහුවා. මං කැමති වුණා. එදා ඉඳන් මං වෙනස් වෙන්න පටන්ගත්තා. දැන් මං ඉස්සර වගේ දරුණු නැහැ. අනිත් අයත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නෙත් නැහැ. මොකද මං යෙහෝවා දෙවි ගැන දන්නවා. මගේ ජීවිතේට දැන් අරමුණක් තියෙනවා. මට ඕනේ හැමෝමත් එක්ක සාමයෙන් ඉන්න. මං දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් තිස්සේ බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් විදිහටත් සේවය කරනවා.

“අවුරුදු 12ක් තිස්සේ මං ඉන්නේ හිරගෙදර. ඒත් පාඩම කරන්න පටන්ගත්තට පස්සේ ගෙවුණ අවුරුදු හතර පුරාම මගේ හිතට සතුටක්, සහනයක් දැනෙනවා. ඒ යෙහෝවා දෙවි නිසා. මං ඔහුට හුඟක් ස්තූති කරනවා.

“ළඟදී මම jw.org එකේ තියෙන වීඩියෝ බැලුවා. ඇමරිකාවේ හිරගෙදරක හිටිය සහෝදරයෙක් ගැන ඒකෙ තිබුණ වීඩියෝ එක මගේ හිතට වැදුණා. මං ලේසියෙන් අඬන කෙනෙක් නෙමෙයි. ඒත් ඒ වීඩියෝ එක දැක්කම මට මගේ කඳුළු හංගගන්න බැරි වුණා.

“හුඟක් භාෂාවලට ප්‍රකාශන පරිවර්තනය කරන්නත් අපි වගේ සිරකරුවන් ඇතුළු හැම තරාතිරමකම ඉන්න අයට දේශනා කරන්නත් ඔයාලා ගන්න උත්සාහයට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබේවා!

“ස්තූතියි.”

‘මං හොයපු සැනසීම මට ලැබුණා’

“මගේ ජීවිතේට අරමුණක් තිබුණේ නැහැ. මට දැනුණේ ලොකු හිස්කමක්. මං නිතරම හිතට සහනයක් හෙව්වා. ඒත් හම්බ වුණේ නැහැ” කියලා ස්වීඩනයේ ඉන්න ෆිලිසටී කියනවා. එයාට වයස 68යි. එයා අදහපු කතෝලික ආගමෙන් එයා බලාපොරොත්තු වුණ සහනය ලැබුණේ නැති නිසා එයා හුඟක් ආගම් ගැන හොයන්න පටන්ගත්තා. අන්තිමේදී එයා මායා බන්ධන සහ මන්තර ගුරුකම් වගේ දේවල්වලටත් හවුල් වුණා.

ඒ කිසිම දේකින් හොයපු සැනසීම ලැබුණේ නැති නිසා ෆිලිසටීට ජීවිතේ නැති කරගන්න හිතුණා. එයා මෙහෙම කියනවා. “දවසක් මං අඬඅඬා කෑගහලා දෙවිට යාච්ඤා කළා. මං කරන්න ඕනේ මොකක්ද කියලා මට කියන්න කියලා මං දෙවිට කිව්වා. සති දෙකකට පස්සේ කෙනෙක් අපේ දොරට තට්ටු කරනවා මට ඇහුණා. මං බලද්දී, ප්‍රසන්න පෙනුමක් තිබුණු තරුණයෙක් මගෙන් ඇහුවා බයිබලය ඉගෙනගන්න කැමතිද කියලා. ඒ වෙලාවේ ‘අනේ දෙවියනේ මේක නෙමෙයි මට ඕනෙ වුණේ. මං කැමති නැහැ සාක්ෂිකරුවන් එක්ක කතා කරන්න’ කියලා මං මටම කියාගත්තා.”

දොර වහලා දාන්න ෆිලිසටීට හිතුණත් එයා තරුණයා කියපු දේට ඇහුම්කන් දුන්නා. ඒ විතරක් නෙමෙයි ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් පාඩමක් කරන්නත් කැමති වුණා. “බයිබලය ගැන කලින් දැනගෙන හිටියේ නැති දේවල් දැනගන්න ඒක මට උදව් වුණා” කියලා එයා කියනවා. 2014 ස්වීඩනයේ පවත්වපු සමුළුවකදී බව්තීස්ම වුණ ෆිලිසටී දැන් මෙහෙම කියනවා. “මං ජීවිත කාලෙ පුරාම හොයපු සැනසීම මට ලැබුණා.”