Skip to content

පටුනට යන්න

 8වන පාඩම

දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?

දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?

1. නරක දේවල් පටන්ගත්තේ කොහොමද?

මිනිසුන්ට සාර්ථක පාලනයක් කරන්න බැහැ කියලා ගෙවී ගිය අවුරුදු ගණනාවෙන් පැහැදිලියි

දෙවියන්ට ලැබෙන නමස්කාරය තමාටත් ලබාගන්න දේවදූතයෙක්ට ආසාවක් ඇති වුණා. ඔහු තමයි සාතන් කියන යක්ෂයා. ඒ ආසාව ඉටු කරගන්න ඔහු, දෙවියන් ගැන මුල්ම ස්ත්‍රිය වූ ඒවට බොරු කිව්වා. (යොහන් 8:44) ඒ බොරුවට රැවටුණු ඒව, දෙවියන්ට අකීකරු වුණා. මුල්ම පුරුෂයා වූ ආදම්ද ඒව කිව්ව දේ අහලා දෙවියන්ට අකීකරු වුණා. ප්‍රතිඵලයක් හැටියට මරණය හා දුක් කරදර උරුම වුණා. ඒ අනුව නරක දේවල් පොළොවේ පටන්ගත්තේ සාතන් මුල්ම බොරුව කීමත් එක්කමයි.—උත්පත්ති 3:1-6, 19 කියවන්න.

සාතන් ඒවට ඇඟෙව්වේ දෙවියන් හොඳ පාලකයෙක් නෙමෙයි කියලයි. ඔහු එහෙම කළේ මිනිසුන්ව පාලනය කරන්න දෙවියන්ට අයිතියක් නැහැ කියලා පෙන්නන්නයි. එදා ඉඳලා වැඩි පිරිසක් දෙවියන්ගේ පාලනය ප්‍රතික්ෂේප කරලා යක්ෂයාගේ පැත්ත අරං තියෙනවා. ඒ නිසයි බයිබලයේ සාතන්ව “ලෝකයේ පාලකයා” කියලා හඳුන්වන්නේ.—යොහන් 14:30; 1 යොහන් 5:19 කියවන්න.

2. දේවදූතයන්ව හා මිනිසුන්ව දෙවියන් නිර්මාණය කළ විදිහේ වරදක් තියෙනවාද?

නැහැ. දෙවියන් කරන කිසිම දෙයක කිසි අඩුවක්වත් දෝෂයක්වත් නැහැ. ඔහු දේවදූතයන්ව හා මිනිසුන්ව නිර්මාණය කළේ හොඳට හිතලා බලලා තීරණ ගන්න පුළුවන් අය විදිහටයි. (ද්විතීය කතාව 32:4, 5) ඒ නිසා දෙවියන්ට කීකරු වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න අපිට නිදහස තියෙනවා. ඒ නිදහස පාවිච්චි කරන විදිහෙන් අපි දෙවියන්ට ආදරේද නැද්ද කියලා පෙන්නන්න පුළුවන්.—යාකොබ් 1:13-15; 1 යොහන් 5:3 කියවන්න.

3. මේ දක්වා දුක් වේදනා පවතින්න දෙවියන් ඉඩහැරලා තියෙන්නේ ඇයි?

එහෙම කරලා තියෙන්නේ දෙවියන්ගේ පාලනය ප්‍රතික්ෂේප කරලා මිනිසුන්ට සාර්ථක වෙන්න බැහැ කියලා තේරුම් කරන්නයි. (දේශනාකාරයා 7:29; 8:9) ගෙවී ගිය අවුරුදු 6,000 පුරා ඒක හොඳින්ම ඔප්පු වෙලා තියෙනවා. උදාහරණයකට යුද්ධ, අපරාධ, අයුක්තිය, ලෙඩ රෝගවලට අවසානයක් ගේන්න මිනිස් ආණ්ඩුවලට පුළුවන් වෙලා නැහැ.—යෙරෙමියා 10:23; රෝම 9:17 කියවන්න.

 ඒත් දෙවියන්ගේ පාලනයට කැමැත්තෙන්ම යටත් වෙන අයට ගොඩක් ආශීර්වාද ලැබෙනවා. (යෙසායා 48:17, 18) ළඟදීම දෙවියන් සියලුම මිනිස් ආණ්ඩු නැති කරනවා. දෙවියන්ගේ පාලනයට යටත් වෙන අයට විතරයි පොළොවේ හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ.—යෙසායා 11:9.—දානියෙල් 2:44 කියවන්න.

‘දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

4. දුක් වේදනා පවතින්න ඉඩහැරලා තියෙන එකෙන් අපිට ප්‍රයෝජනයක් තියෙනවාද?

සාතන් අපි හැමෝම ගැනත් චෝදනාවක් කළා. ඔහු කිව්වේ අපි දෙවියන්ට කීකරුව ඉන්නේ වාසි ප්‍රයෝජන නිසා කියලයි. ඒ චෝදනාව බොරු කියලා ඔප්පු කරන්න ඔයා කැමතිද? ඔයා කැමැත්තෙන්ම දෙවියන්ගේ පාලනයට යටත් වුණොත් ඔයාට පුළුවන් ඔයා දෙවියන්ට කීකරු වෙන්නේ වාසි ප්‍රයෝජන නිසා නෙමෙයි ඔහුට තියෙන ආදරේ නිසා කියලා පෙන්වන්න. ඒ විදිහට සාතන්ගේ චෝදනාව බොරු කියලා ඔප්පු කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ දෙවියන් දුක් වේදනා පවතින්න ඉඩහැරලා තියෙන නිසයි.—යෝබ් 1:8-12; හිතෝපදේශ 27:11 කියවන්න.

5. දෙවියන්ගේ පාලනයට යටත් වෙන්න කැමතියි කියලා පෙන්නන්නේ කොහොමද?

අපි ජීවත් වෙන විදිහෙන් දෙවියන්ගේ පාලනය පිළිගන්නවාද නැද්ද කියලා පැහැදිලියි

බයිබලයේ දීලා තියෙන මඟ පෙන්වීම් තේරුම් අරගෙන ඒ අනුව අපි දෙවියන්ට නමස්කාර කළොත් අපි පෙන්නන්නේ දෙවියන්ගේ පාලනයට යටත් වෙන්න කැමතියි කියලයි. (යොහන් 4:23) ඒ වගේම යේසුස් වගේ අපිත් දේශපාලනයට, යුද්ධවලට කිසිම විදිහකින් සම්බන්ධ වෙන්න හොඳ නැහැ.යොහන් 17:14 කියවන්න.

සාතන් එයාගේ බලය යොදාගෙන නරක දේවල් පොළොව පුරාම පතුරුවලා ඒවා කිසි වරදක් නැහැ කියලා පෙන්නනවා. ඒ දේවල් ප්‍රතික්ෂේප කරලා හරි දේ කරන්න උත්සාහ කරනවා නම් අපි පෙන්නන්නේ දෙවියන්ගේ පාලනය පිළිගන්නවා කියලයි. ඒත් එහෙම කරද්දී අපේ නෑදෑයෝ, යාළුවෝ අපිට විහිළු කරයි. අපිත් එක්ක කේන්ති ගනියි. (1 පේතෘස් 4:3, 4) ඒ නිසා අපි ආශ්‍රය කරන්න තෝරගෙන ඉන්නේ දෙවියන්ට ප්‍රේම කරන අයවද කියලා කල්පනා කරලා බලන එක වැදගත්. ඒ වගේම දෙවියන් දීලා තියෙන ආඥාවලට අපි කීකරු වෙනවාද නැද්ද කියලත් හිතන්න ඕනේ. අපි ඔහුට කැමැත්තෙන්ම කීකරු වුණොත් අපි ඔහුට නමස්කාර කරන්නේ ඔහුට තියෙන ආදරේ නිසා කියලා පැහැදිලි වෙනවා.—1 කොරින්ති 6:9, 10; 15:33 කියවන්න.

දෙවියන් මිනිසුන්ට හුඟක් ආදරේ නිසා ළඟදීම දුක් වේදනාවලට අවසානයක් ගේනවා. දෙවියන්ගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තියලා දෙවියන්ගේ පාලනයට කැමැත්තෙන්ම යටත් වෙන අයට පොළොවේ හැමදාටම ජීවත් වෙන්න පුළුවන්.—යොහන් 3:16 කියවන්න.