Skip to content

පටුනට යන්න

කාමාතුරයන්ගෙන් මම ආරක්ෂා වෙන්නේ කොහොමද?

කාමාතුරයන්ගෙන් මම ආරක්ෂා වෙන්නේ කොහොමද?

 32වෙනි පරිච්ඡේදය

කාමාතුරයන්ගෙන් මම ආරක්ෂා වෙන්නේ කොහොමද?

සෑම වසරකම ලිංගික අපචාරයට හා දූෂණයට ලක් වන සංඛ්‍යාව ඉහළ යනවා. වාර්තාවලට අනුව මෙයට වැඩියෙන්ම ගොදුරු වෙන්නේ යෞවන අයයි. උදාහරණයකට එක්සත් ජනපදයේ දූෂණයට ලක් වූ අයගෙන් අඩක්ම අවුරුදු 18ට අඩු ළමයි. අද සමාජයේ ලිංගික අපචාර වැඩි වශයෙන් සිදු වන නිසා ඔබ මේ විෂයට හොඳ අවධානයක් දීම වැදගත්.

“ඒ මිනිහා මාව බිමට තල්ලු කළා. මම ගැලවෙන්න මට කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. මම කෑගැහැව්වා. ඒත් සද්දයක් පිට වුණේ නැහැ. මම ඒ මිනිහව තල්ලු කෙරුවා. අත මිටමොළවලා ගැහැව්වා. එයාව සීරුවා. පයින් ගැහැව්වා. එතකොට ඒ මිනිහා මට පිහියෙන් ඇන්නා. ඒ වෙලාවේ මගේ මුළු ඇඟම පණ නැතුව ගියා!”—ඇනට්.

කාමාතුරයන් අද සමාජයේ බහුලව ගැවසෙනවා. ඔවුන්ගේ ග්‍රහණයට වැඩියෙන්ම හසුවෙන්නේ යෞවන අයයි. ඇනට් මෙන් සමහර යෞවනියන්ව දූෂණයට ලක් වෙලා තියෙන්නේ නාඳුනන පුද්ගලයන් අතින්. තවත් සමහරුන්ව තම අසල්වැසියන් අතින් අතවරයට ලක් වෙනවා. නැටලි නමැති යෞවනියට සිදු වුණේ එයයි. අවුරුදු දහයේදී ඇගේ නිවස අසල ජීවත් වූ තරුණයෙකු අතින් ඇය ලිංගික අතවරයට ලක් වුණා. ඇය මෙසේ පවසනවා. “මට ලොකු භයක් වගේම ලැජ්ජාවක් දැනුණා. ඒ නිසා මුලින් මම ඒ ගැන කාටවත් කිව්වේ නැහැ.”

බොහෝ යෞවනයන් පවුලේ සාමාජිකයන් අතින්ද ලිංගික හිරිහැරයන්ට ලක් වෙනවා. කාමන්ට සිදු වුණේ එයයි. “අවුරුදු 5ත් 12ත් අතර කාලයේදී මම මගේ පියා අතින් ලිංගික අතවරයට ලක් වුණා.  අවුරුදු 20දී මම ඒ ගැන ඔහුගෙන් ඇහැව්වාම එයා මගෙන් සමාව ඉල්ලුවා. නමුත් මාස කිහිපයකින් මට ගෙදරින් යන්න කිව්වා” කියා ඇය පවසනවා.

අසල්වැසියෙකු, මිතුරෙකු හෝ පවුලේ කෙනෙකු අතින් ලිංගික අතවරයට ලක් වීම අද සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. එය කනගාටුවට කාරණයක්. * නමුත් යෞවනයන්ට සිදු වන මේ දේ අද ඊයේ සිට පටන්ගත් දෙයක් නොවෙයි. අතීතයේත් එවැනි දේවල් සිදු වුණා. (යෝවෙල් 3:3; මතෙව් 2:16) අද අප ජීවත් වෙන්නේ ඉතා අසීරු අනතුරු සහිත කාලයකයි. හුඟදෙනෙකුට ‘තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැහැ.’ (2 තිමෝති 3:1-3) ඒ නිසා ගැහැනු ළමයින්ව (පිරිමි ළමයින් පවා) ලිංගික අතවරයට ලක් වීම සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. ඔබේ ආරක්ෂාව ගැන සියයට සියයක් සහතික වෙන්න බැරි වුණත් ගත හැකි යම් ආරක්ෂිත පියවරයන් තිබෙනවා. ඒවායින් සමහරක් පහත සඳහන් වෙනවා.

සෝදිසියෙන් ඉන්න. ඔබ පාරේ යන විට ඔබට ඉදිරියෙනුත් පිටුපසිනුත් ඔබේ දෙපසිනුත් සිදු වන දේවල් ගැන කල්පනාකාරීව සිටින්න. සමහර ප්‍රදේශ, විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී අනතුරුදායක විය හැකියි. පුළුවන් තරම් එවැනි තැන් මඟහරින්න. නැත්නම් තවත් කෙනෙකු සමඟ යන්න.—හිතෝපදේශ 27:12.

වැරදි පණිවිඩ දෙන්න එපා. ආලවන්තකම් පාන්න හෝ අවිනීත ලෙස අඳින්න එපා. එසේ කළොත් ඔබ ලිංගික ඇසුරකට කැමති කෙනෙක් කියා හෝ ඊට ඔබේ විරුද්ධත්වයක් නැහැයි කියා හෝ අන් අය සිතන්න ඉඩ තිබෙනවා.—1 තිමෝති 2:9, 10.

සීමාවන් ගැන කතා කරන්න. ඔබට පෙම්වතෙක් සිටිනවා නම් ඔබ දෙදෙනාගේ ආශ්‍රය සුදුසු ලෙස පවත්වාගන්නේ කොහොමද කියා සාකච්ඡා කර සීමාවන් තබාගන්න. * ඒ වගේම ඔබෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට උදා විය හැකි අවස්ථා මඟහරින්න.—හිතෝපදේශ 13:10.

කතා කරන්න භය වෙන්න එපා. “එපා” කියා හෝ “කරුණාකරලා අත අහකට ගන්න” කියා ස්ථිර ලෙස කියන්න භය වෙන්න එපා. ඔබේ පෙම්වතා ඔබව අත්හැර යයි කියා භය වෙන්න එපා. එවැනි කාරණයක් නිසා ඔහු ඔබව අත්හැර යන්න තීරණය කළොත්  දුක් වෙන්න එපා. එය ඔබට ආරක්ෂාවක් කියා සිතන්න. ඔබට ගැළපෙන්නේ ඔබටත් ඔබේ ප්‍රතිපත්තිවලටත් ගරු කරන කෙනෙකුවයි. *

අන්තර්ජාලය භාවිතා කරද්දී පරෙස්සම් වෙන්න. ඔබේ ඡායාරූප, පෞද්ගලික තොරතුරු වැනි දේවල් එයට ඇතුළත් කරන්න එපා. * ලිංගික කාරණා ඇතුළත් පණිවිඩයක් ලැබුණොත් ඊට පිළිතුරු නොදීම තමයි නැණවත්ම දේ. එවිට ඔබට හානි කිරීමට කාමාතුරයන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඉහත සඳහන් පියවර ගැනීමෙන් කාමාතුරයන්ගෙන් ඔබට  ආරක්ෂා විය හැකියි. (හිතෝපදේශ 22:3) ඒත් ඔබට මුහුණ දීමට සිදු වන සෑම තත්වයක්ම ඔබට පාලනය කරගන්න හැකියාවක් නැහැ. උදාහරණයකට ගමන්බිමන් යන හැමවිටම තව කෙනෙකු සමඟ යන්නවත් අනතුරුදායක ප්‍රදේශ මඟහරින්නවත් බැරි වෙයි. සමහරවිට ඔබ ජීවත් වෙන්නේ අනතුරුදායක ප්‍රදේශයක විය හැකියි.

ඔබ කොතරම් පරෙස්සම් වුණත් නරක දේවල් සිදු විය හැකි බව ඔබ අද්දැකීමෙන් දන්නවා ඇති. කලින් සඳහන් කළ ඇනට් මෙන් නොසිතූ මොහොතක නාඳුනන පුද්ගලයෙකුගේ ගොදුරක් බවට ඔබ පත් වෙලා ඇති. එසේ නැතහොත් කාමන් මෙන් කුඩා කාලයේදී ඔබ ලිංගික අතවරයට ලක් වෙන්න ඇති. ඒ කාලයේදී අසරණ කුඩා දැරියක්ව සිටි ඔබට සිදු වෙන්නේ කුමක්ද කියාවත් අවබෝධ නොවෙන්න ඇති. එසේ ලිංගික අතවරයට ලක් වූ සමහර අයට පසු කාලයකදී ඔවුන්ගේ සිත වධ දෙනවා. ඔබට එවැනි දෙයක් සිදු වුණොත් ඉන් මිදෙන්නේ කොහොමද?

සිත වධ දෙනවා නම්

ඇනට්ගේ අද්දැකීම සලකා බලන්න. “මම තවමත් මටම දොස් කියාගන්නවා. එදා රෑ වේච්ච දේ මට මැවිමැවී පේනවා. මොනවා හරි දෙයක් කරලා මට ගැලවෙන්න තිබුණා කියලා මට දැන් හිතෙනවා. ඒත් පිහි පහර නිසා මම භය වෙලා ගල්ගැහුණා. ඊටපස්සේ මට මුකුත් කරගන්න බැරි වුණා.”

 නැටලිගේ සිතත් ඇයට වධ දෙනවා. “මගේ අම්මලා කිව්වේ සෙල්ලම් කරද්දී නංගිත් එක්කම ඉන්න කියලා. ඒත් මම එයාලා කිව්ව දේ ඇහැව්වේ නැහැ. මට හිතෙන්නේ ගෙවල් ළඟ හිටපු ඒ කොල්ලට ඉඩ දුන්නේ මමයි කියලා. මම එයාව විශ්වාස කරපු එක තමයි මගේ මෝඩකම. වෙච්ච දේ මගේ පවුලේ අයට දරාගන්න බැරි වුණා. මමයි එයාලට ඒ වගේ වේදනාවක් ඇති කළේ කියලා හිතන කොටත් මගේ හිත මට වධ දෙනවා.”

ඔබට හැඟෙන්නෙත් ඇනට් හා නැටලිට හැඟුණු ආකාරයට නම් ඒ වේදනාව අඩු කරගන්නේ කොහොමද? මුලින්ම මේ දේ මතක තබාගන්න. ඔබව දූෂණයට ලක් වුණා නම් එය ඔබේ කැමැත්තෙන් සිදු වූ දෙයක් නොවෙයි. “කොල්ලෝ එහෙම තමයි. ගැහැනු දැනගන්න ඕනේ පරෙස්සම් වෙන්න” කියා සමහරුන් කාරණය සුළු කරන්න ඉඩ තිබෙනවා. කිසිවෙකුවත් දූෂණය කරන්න කාටවත් අයිතියක් නැහැ. එය අමානුෂික ක්‍රියාවක්. ඔබ දූෂණයට ලක් වුණා නම් එයට වග කියන්න ඕනේ ඔබ නොවෙයි.

“එයට වග කියන්න ඕනේ ඔබ නොවෙයි” කියා අප පැවසුවත් එය පිළිගැනීම ඔබට කිසිසේත් ලෙහෙසි දෙයක් නොවෙන්න පුළුවන්. සමහර අය සිදු වූ දේ හිතේ තද කරගෙන මානසිකව පීඩා විඳිනවා. එසේ සිටීමෙන් වාසියක් වෙන්නේ ඔබටද නැත්නම් ඔබව දූෂණය කළ පුද්ගලයාටද? පහත යෝජනා සලකා බැලීම ඔබට ප්‍රයෝජනවත් වෙයි.

සිදු වූ දේ කියන්න

තම හිතේ වේදනාව දරාගත නොහැකි අවස්ථාවක ධර්මිෂ්ඨ මිනිසෙක් වූ යෝබ් මෙසේ පැවසූ බව බයිබලයේ සඳහන් වෙනවා. “දරාගත නොහැකි වේදනාවකින් මම කතා කරන්නෙමි. හදවතේ දැවෙන දුක මම නොසඟවා ප්‍රකාශ කරන්නෙමි.” (යෝබ් 10:1) ඔබත් එසේ කරනවා නම් ඔබට සහනයක් ලැබෙයි. සිදු වූ දේ විශ්වාසවන්ත  කෙනෙකුට කීමෙන් ඔබට දැනෙන මානසික පීඩනය අඩු කරගැනීමටත් යම් සහනයක් ලබාගැනීමටත් හැකි වෙයි.

ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නම් සිදු වූ දේ ගැන සභාවේ සිටින වැඩිමහල්ලන් සමඟ කතා කිරීම වැදගත්. ඔබට සිදු වුණේ බලහත්කාරකමක් නිසා, ඔබේ අතේ වරදක් නැති බව ඔවුන් ඔබට පැහැදිලි කරයි. ඔබ ගැන සැලකිලිමත් වන එම ප්‍රේමණීය වැඩිමහල්ලන්ගේ දිරිගන්වන වදන් ඔබට මහත් සහනයක් වෙයි. ඇනට් ඒ සහනය අද්දැක්කා. “මම සිද්ධ වෙච්ච දේ මගේ ළඟම යාළුවෙක්ට කිව්වා. එයා මට සභාවේ වැඩිමහල්ලන්ට කියන්න කියලා දිරිගැන්නුවා. මම ඒ දේ කිව්ව එක ගැන සතුටු වෙනවා. ඒක මගේ වරදක් නෙමෙයි කියලා වැඩිමහල්ලෝ මට පැහැදිලි කළා. එයාලා කිහිප වතාවක්ම මාත් එක්ක ඒ ගැන කතා කළා.”

 සිදු වූ දේ සහ ඒ ගැන ඔබට හැඟෙන දේ තව කෙනෙකුට කීමෙන් වෛරය වළක්වාගන්න පුළුවන්. (ගීතාවලිය 37:8) එසේ කිරීමෙන් ඔබට සහනයක් දැනෙයි. සමහරවිට කාලයක් පුරා හිතේ තද කරගෙන හිටිය වේදනාවෙන් ඔබට මිදෙන්නත් පුළුවන් වෙයි. නැටලි තමන්ට සිදු වූ ලිංගික අතවරය ගැන දෙමාපියන්ට පැවසූ පසු අද්දැක්ක සහනය මෙසේ විස්තර කරනවා. “අම්මලා මාව තේරුම්ගත්තා. එයාලා මගේ හිතේ තියෙන දේ කියන්න කියලා දිරිගැන්නුවා. ඕනෑවට වඩා දුක් නොවී ඉන්නත් කෝපය හිතෙන් අයින් කරගන්නත් ඒක මට උදව් වුණා.” නැටලි දෙවිට යාච්ඤා කිරීමෙනුත් සහනයක් අද්දැක්කා. “හිතේ තියෙන දුක දෙවිට කිව්වාම ලොකු සහනයක් ලැබුණා. විශේෂයෙන්ම කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නෙ නැති වෙලාවට මගේ දුක මම දෙවිට කිව්වා. ඒකෙන් මගේ හිතේ තිබුණ බර අඩු වුණා.” *

කාලයත් සමඟම ඔබ ‘සුවය’ ලබයි. (දේශනාකාරයා 3:3) ඒ සඳහා “සුළඟින් මුවා වීමට ස්ථානයක් මෙන්ද කුණාටුවෙන් සැඟවීමට රක්ෂස්ථානයක් මෙන්ද” සිටින, ඔබ ගැන සැබෑ සැලකිල්ලක් දක්වන මිත්‍රයන්ගේ උපකාරය ලබාගන්න. (යෙසායා 32:2) ඔබේ සෞඛ්‍යය ගැනත් ඔබේ මානසික සුවය ගැනත් සැලකිලිමත් වෙන්න. විවේක ගන්න. ඒ හැම දෙයකටම වඩා සියලු සැනසිල්ලේ දෙවි වන යෙහෝවාව විශ්වාස කරන්න. ඔහු ළඟදීම දුෂ්ටයන්ව විනාශ කර දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අයට පොළොව උරුම කර දෙයි.—ගීතාවලිය 37:9.

[පාදසටහන්වල]

^ 7 ඡේ. සමහර ගැහැනු ළමයින්ව තම පෙම්වතා විසින් බලෙන් හෝ මත්ද්‍රව්‍ය දී දූෂණය කර තිබෙනවා.

^ 10 ඡේ. වැඩි විස්තර සඳහා 2වන පොතේ 4වන පරිච්ඡේදය බලන්න.

^ 11 ඡේ. පෙම්වතියක් විසින් කරන අයුතු යෝජනාවලටත් මෙය අදාළයි.

^ 12 ඡේ. වැඩි විස්තර සඳහා 2වන පොතේ 11වන පරිච්ඡේදය බලන්න.

^ 23 ඡේ. ලිංගික අතවරයට ලක් වූ අය දැඩි මානසික පීඩනයකින් පෙළෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම සුදුසුයි. මානසික පීඩනයෙන් ගොඩ ඒමට උපකාරවත් වන තොරතුරු සඳහා මෙම පොතේ 13වන සහ 14වන පරිච්ඡේද බලන්න.

බයිබල් උපදෙස

‘අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන අය වෙනවා.’—2 තිමෝති 3:1-3.

යෝජනාවක්

ඔබ ලිංගික අතවරයට ලක් වූ කෙනෙක් නම් ඔබට සහනයක් ගෙන දෙන බයිබල් පද කිහිපයක් ලියා අවශ්‍ය විටක කියවීමට ළඟ තබාගන්න. ඒ සඳහා, ගීතාවලිය 37:28; 46:1; 118:5-9; හිතෝපදේශ 17:17; සහ ෆිලිප්පි 4:6, 7 වැනි පද ප්‍රයෝජනවත් වෙයි.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

එක්සත් ජනපදයේ ලිංගික අතවරයට ලක් වූ යෞවනයන්ගෙන් සියයට 90කටම එසේ සිදු වුණේ තමන් දන්නා හඳුනන පුද්ගලයෙකු විසිනුයි.

ගත හැකි පියවර

වෙච්ච දේ ගැන මගේ හිත මට වධ දෙන විට මම ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● සිදු වූ දේ ගැන තව කෙනෙකුට කීමෙන් අත් වන ප්‍රයෝජනය කුමක්ද?

● නිහඬව සිටියොත් ඔබටත් අන් අයටත් සිදු විය හැකි හානිය කුමක්ද?

[232වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘අතවරයකට ලක් වුණාම ඒ ගැන තව කෙනෙකුට කියන්න හරිම අමාරුයි. ඒත් කියන එක තමයි හොඳම දේ. එතකොට ඔබේ දුකත් කේන්තියත් අඩු වී ඔබට සහනයක් ලැබෙයි.’’—නැටලි

[230වන පිටුවේ කොටුව]

“ඔයා මට ආදරේ නම් . . . ’’

සමහර කාමාතුරයන් ගැහැනු ළමයින්ට බලහත්කාරකම් නොකර රවටාගැනීමෙන් තමන්ට අවශ්‍ය දේ ලබාගන්නවා. ඒ සඳහා ඔවුන් මෙවැනි චාටු බස් දොඩනවා. “අනික් අයත් කරනවා.” “කාටවත් අහුවෙන්නේ නැහැ.” එසේ නැත්නම් මේ පොතේ 24වන පරිච්ඡේදයේ සඳහන් ලෙස “ඔයා මට ආදරේ නම් බැහැයි කියන්නේ නැහැ” කියා ඔවුන් පැවසිය හැකියි. ආදරය කරන කෙනෙක් සමඟ ලිංගික ඇසුරේ යෙදීම වරදක් නොවෙයි කියා තරුණයෙක් පෙන්වීමට උත්සාහ කරනවා නම් රැවටෙන්න එපා. එසේ සිතන අයගේ එකම අරමුණ තම ආශාවන් සන්සිඳුවා ගැනීමයි. ඔහු ඔබේ යහපත ගැන සිතන්නේ නැහැ. හොඳ ගතිපැවතුම් ඇති තරුණයෙක් තම ආශාවන්ට වඩා ඔබේ ආශාවන්ට මුල් තැන දෙනවා. එසේ කිරීමෙන් පෙන්වන්නේ සදාචාරය පිළිබඳව දෙවි දී තිබෙන ප්‍රතිපත්තිවලට ඔහු ගරු කරන බවයි. (1 කොරින්ති 10:24) ගුණ යහපත් තරුණයෙක් ‘තරුණියන්ව පවිත්‍ර සිතින් තම සහෝදරියන් මෙන් සලකනවා’ මිස ඔවුන්ව තම ලිංගික ආශාවන් පිනවාගැනීමට පමණක් සිටින අය ලෙස සලකන්නේ නැහැ.—1 තිමෝති 5:1, 2.

[233වන පිටුවේ පින්තූරය]

අතවරයකට ලක් වුණාම දැනෙන වේදනාව තනියම දරාගන්න අමාරුයි. තව කෙනෙකුගේ උපකාරයක් ලබා නොගන්නේ ඇයි?