Skip to content

පටුනට යන්න

මම දුක දරාගන්නේ කොහොමද?

මම දුක දරාගන්නේ කොහොමද?

“මගේ දුක කොහොම හරි තද කරගෙන ඉන්න ඕනේ කියලා මට හිතුණා.” තම පියා මිය ගිය අවස්ථාවේ තමන්ට හැඟුණු දේ ගැන මයික් එසේ පැවසුවා. මයික් සිතුවේ දුක සඟවාගැනීම පිරිමිකමේ ලක්ෂණයක් කියායි. එසේ සිතීම වැරදි දෙයක් බව ඔහු පසුව තේරුම්ගත්තා. ඒ නිසා ඔහුගේ මිතුරාගේ සීයා මිය ගිය අවස්ථාවේ කළ යුත්තේ කුමක්ද කියා ඔහු තේරුම්ගත්තා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “මීට අවුරුදු කිහිපයකට කලින් නම් මම මගේ යාළුවාගේ පිටට තට්ටු කරලා මෙහෙම කියන්න ඇති. ‘ඔයා පිරිමියෙක්. ඒ නිසා කොහොම හරි දුක දරාගන්න ඕනේ.’ ඒත් මම හිතන විදිහ වෙනස් කරගත්තු නිසා යාළුවාගේ අතින් අල්ලලා මම මේ විදිහට කිව්වා. ‘දුක හිතේ තද කරගෙන ඉන්න එපා. ඔයාට අඬන්න ඕනේ නම් අඬන්න. මම මෙතැන ඉන්නවාට ඔයා අකැමති නම් මම යන්නම්.’”

තම ස්වාමිපුරුෂයා මිය ගිය අවස්ථාවේ දුක සඟවාගන්න ඕනේ කියා මරීයන්ටත් සිතුණා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මම දුක් වුණොත් අනික් අයත් දුක් වෙයි කියලා හිතුණු නිසා මම මගේ දුක පෙන්නුවේ නැහැ. අනික් අය ගැන හිතලා දුක දරාගන්න එකෙන් මට සහනයක් ලැබෙන්නේ නැහැයි කියලා පස්සේ මම තේරුම්ගත්තා. මම මෙහෙම හිතුවා. ‘දුක තද කරගෙන ඉන්න එක හොඳ නැහැ. අඬන්න ඕනේ වෙලාවට අඬන්න ඕනේ. එහෙම කළොත් මට ලොකු සහනයක් දැනෙයි.’”

මයික් හා මරීයන් පවසන්නේ දුක තද කරගෙන ඉන්න එපා කියායි. ඔවුන් කියන දේ සැබෑවක්. ඊට හේතුව සහනයක් ලැබෙන්නේ දුක ප්‍රකාශ කිරීමෙනුයි. එවිට දැනෙන පීඩනය අඩු වී දුක දරාගැනීමටත් ඔබට හැකි වෙයි.

එක් එක් පුද්ගලයා දුක ප්‍රකාශ කරන ආකාරය වෙනස්. උදාහරණයකට මරණය හදිසියේ සිදු වුණා නම් එසේත් නැත්නම් මිය ගිය පුද්ගලයා කාලයක් පුරා රෝගාතුරව සිට මිය ගියා නම් දැනෙන වේදනාව වෙනස්. ඒත් එක් දෙයක් පැහැදිලියි. එනම් ඔබේ දුක තද කරගෙන සිටීමෙන් ඔබේ මනසටත් ශරීරයටත් හානියක් සිදු විය හැකියි. ඔබේ දුක පිට කිරීමෙන් ඔබට සහනයක් දැනෙයි. බයිබලයේ ඒ සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් උපදෙස් දී තිබෙනවා.

දුක නිවාගැනීමට ක්‍රම

ඔබේ සිතට දැනෙන වේදනාව ගැන කතා කිරීම සහනයක් විය හැකියි. තම දරුවන් දසදෙනාද තමන් සතු වටිනා දේවල්ද අහිමි වූ පසු දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ යෝබ් මෙසේ පැවසුවා. “මට මාගේ ජීවිතය තිත්ත වී ඇත. දරාගත නොහැකි වේදනාවකින් මම කතා කරන්නෙමි. හදවතේ දැවෙන දුක මම නොසඟවා ප්‍රකාශ කරන්නෙමි.” (යෝබ් 1:2, 18, 19; 10:1) හිතේ තිබුණු දුක තද කරගෙන ඉන්න බැරි තත්වයකට යෝබ් පත් වුණා. ඔහුට ඒ ගැන ‘කතා කරන්න’ අවශ්‍ය වුණා.  එවැනිම දෙයක් ඉංග්‍රීසි ජාතික නාට්‍ය රචකයෙක් වූ ෂේක්ස්පියර්, මැක්බත් නම් තම කෘතියේ මෙසේ සඳහන් කළා. “හිතේ තිබෙන දේ පවසන්න. නැත්නම් වේදනාව දරාගත නොහැකිව ඔබේ හදවත පැළී යයි.”

ඉවසීමෙන් හා අනුකම්පාවෙන් සවන් දෙන ‘සැබෑ මිතුරෙකුට’ ඔබේ වේදනාව පැවසීමෙන් ඔබට යම් සහනයක් දැනිය දැකියි. (හිතෝපදේශ 17:17) ඔබ අද්දැක්ක දේ හා ඔබේ වේදනාව කොතරම්ද කියා තව කෙනෙකුට පැවසීමෙන් ඔබට ඔබවම තේරුම්ගැනීමටත් ඊට හොඳින් මුහුණ දීමටත් හැකි වෙයි. ඒ තැනැත්තාත් වියෝදුක අද්දැක, ඉන් ගොඩ ආ කෙනෙක් නම් ඔබට ප්‍රයෝජනවත් වන යම් යෝජනා ඔහුගෙන් හෝ ඇගෙන් ලබාගත හැකියි. තම දරුවා අහිමි වූ මවක් එවැනිම තත්වයකට මුහුණ දුන් තවත් මවක් සමඟ කතා කිරීමෙන් ප්‍රයෝජන ලැබූ ආකාරය ගැන පවසන්නේ මෙසේයි. “මං වගේම තවත් කෙනෙක් මේ දේ අද්දැකලා තියෙනවා කියලත් එයා ඒකෙන් ගොඩ ඇවිත් නැවතත් සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරන්න උත්සාහ කරනවා කියලත් දැනගන්න ලැබුණාම මට ලොකු සහනයක් දැනුණා.”

සිතේ තිබෙන වේදනාව ලිවීමෙන් එය තුනී කරගත හැකි බව බයිබල් ආදර්ශවලින් පෙනෙනවා

ඔබට දැනෙන වේදනාව ගැන තව කෙනෙකු සමඟ කතා කරන්න අපහසු නම් ඔබට කළ හැක්කේ කුමක්ද? දාවිත් මෙන් ඔබේ වේදනාව පොතක සටහන් කළ හැකියි. සාවුල් හා යොනාතාන් මිය ගිය අවස්ථාවේ තම සිතට දැනුණු වේදනාව ගැන දාවිත් විලාප ගීයක් ලිව්වා. බයිබලයේ ඇති දෙවන සාමුවෙල් පොත රචනා කරද්දී එම විලාප ගීයත් ඇතුළත් කරනු ලැබුවා. (2 සාමුවෙල් 1:17-27; 2 ලේකම් 35:25) එසේ තමන්ගේ දුක තව කෙනෙකු සමඟ කියනවාට වඩා ලිවීම පහසු බව සමහර අයට දැනී තිබෙනවා. එක් වැන්දඹුවක් පැවසුවේ තමන්ගේ වේදනාව ගැන ලියා තබා, දින කිහිපයකට පසුව ඇය ලියූ දේ කියවා බැලූ බවයි. එයින් සහනයක් ලැබූ බව ඇය පැවසුවා.

ඔබේ දුක තව කෙනෙකුට කීමෙන් හෝ පොතක ලිවීමෙන් සහනයක් ලබාගත හැකි අතර ඔබ වරදවා වටහාගත් දේවල් නිවැරදි කරගැනීමටත් ඒ තුළින් හැකි වෙයි. වියෝදුකින් තැවෙන මවක් මෙසේ පවසනවා. “දරුවෙක් මිය ගියාම සමහර දෙමාපියන් දික්කසාද වෙන්න තීරණය කරනවා කියලා මටයි මගේ ස්වාමිපුරුෂයාටයි දැනගන්න ලැබුණා. ඒ වගේ දෙයක් අපේ පවුලට වෙනවාට අපි කැමති වුණේ නැහැ. කේන්ති ගිය වෙලාවට බැණගන්නේ නැතුව අපි කළේ ඒ ගැන කතා කරපු එකයි. අපි එහෙම කරපු නිසා අපි දෙන්නාට දෙන්නා තවත් ළං වුණා.” ඔබට දැනෙන වේදනාව ගැන අනික් කෙනාට පැවසීමෙන් ඔහුටත් ඔබ හා සමාන වේදනාවක් තිබෙන බවත් ඔහු ඒ වේදනාව ප්‍රකාශ කරන්නේ වෙනස් ආකාරයට බවත් ඔබට වැටහෙයි.

ඔබේ දුක නිවාගැනීමට හැකි තවත් ක්‍රමයක් වෙන්නේ ඇති තරම් ඇඬීමයි. “අඬන්න කාලයක්” තිබෙන බව බයිබලයෙත් සඳහන් වෙනවා. (දේශනාකාරයා 3:1, 4) අපි ආදරය කළ කෙනෙක් මිය ගිය විට අප හඬා වැලපීම සාමාන්‍ය දෙයක්. එය දුක නිවාගැනීමට අත්‍යවශ්‍ය දෙයක්.

එක් තරුණ ස්ත්‍රියක් ඇගේ මව මිය ගිය අවස්ථාවේදී සමීප මිතුරියක් ඇයට උපකාර කළ ආකාරය ගැන මෙසේ සඳහන් කරනවා. “මගේ යාළුවා හැමතිස්සේම මාත් එක්ක හිටියා. මම අඬන කොට එයත් ඇඬුවා. මගේ හිතේ තියෙන දුක කියද්දී එයා අහගෙන හිටියා. මගේ දුක එයාට කියන්න මට  අමාරු වුණේ නැහැ.” (රෝම 12:15) ඔබත් අඬන්න ලැජ්ජා වෙන්න එපා. දෙවිට විශ්වාසවන්තව සිටි බොහෝ ස්ත්‍රීන් හා පුරුෂයන් විතරක් නොවෙයි යේසුස් පවා අන් අය ඉදිරියේ කඳුළු සලා ඇඬූ බව බයිබලයේ සඳහන් වෙනවා.—උත්පත්ති 50:3; 2 සාමුවෙල් 1:11, 12; යොහන් 11:33, 35.

වියෝදුකින් පෙළෙන ඕනෑම කෙනෙක් සැනසීම ලබන්න කැමතියි

සමහරවිට ඔබ නොසිතන වෙලාවක ඔබටත් නොදැනී ඔබේ දෑස් කඳුළින් තෙත් විය හැකියි. එක් ස්ත්‍රියකගේ අද්දැකීම සලකා බලන්න. ඇය සාමාන්‍යයෙන් වෙළඳසැලට ගියේ ඇගේ ස්වාමිපුරුෂයා සමඟයි. නමුත් ඇගේ ස්වාමිපුරුෂයා මිය ගියාට පස්සේ වෙළඳසැලට යන විට ඇයට නිතරම ඇඬෙනවා. විශේෂයෙන්ම ඔහු කැමති දේවල් පුරුද්දට මෙන් ගැනීමට යන අවස්ථාවේදීයි. ඔබ ශෝකයෙන් සිටින විට එවැනි දේවල් සිදු වීම සාමාන්‍යයි. එවැනි දේවල් සිදු වන විට ඉවසිලිවන්ත වෙන්න. ඔබේ කඳුළු සැඟවිය යුතුයි කියා සිතන්න එපා. ඇඬීමෙන් ඔබට සහනයක් ලැබෙයි.

සිත වධ දෙන විට

කලින් සඳහන් කළ ලෙස තමන් ආදරය කළ කෙනෙක් මිය ගිය විට එය සිදු වුණේ තමන් අතින් වූ වරදක් නිසා කියා සමහරුන් සිතනවා. පුරාණයේ සිටි දෙවිගේ සේවකයෙක් වූ යාකොබ්ටත් එවැනි හැඟීම් ඇති වුණා. තම පුත්‍රයා වන යෝසෙප්ව “නපුරු සතෙක්” මරා දාන්න ඇතැයි කියා සිතූ ඔහුට මහත් වේදනාවක් ඇති වුණා. මන්ද අනික් පුතුන්ගේ දුක සැප බැලීමට යෝසෙප්ව යැව්වේ ඔහුයි. ‘මම ඔහුව තනියම යැව්වේ ඇයි? ඒ වගේ වන සතුන් ඉන්න, පාළු තැනකට ඔහුව යැව්වේ ඇයි’ කියා සිතමින් යාකොබ් තමාටම දොස් පවරාගන්න ඇති.—උත්පත්ති 37:33-35.

ඔබ ආදරය කළ කෙනා මිය ගියේ ඔබේ නොසැලකිලිමත්කම නිසා කියා ඔබට සිතෙනවා ඇති. එසේ සිතීම සාධාරණ වුණත් නැතත් එවැනි හැඟීම් ඇති වීම සාමාන්‍යයි. ඔබ ඒ දේ තේරුම්ගැනීම වැදගත්. නමුත් එවැනි හැඟීම් හිතේ තද කරගෙන නොසිට ඒ ගැන තව කෙනෙකු සමඟ කතා කිරීමෙන් ඔබට සහනයක් දැනිය හැකියි.

කෙසේවෙතත් අප මේ දේ තේරුම්ගත යුතුයි. එනම් අප යමෙකුට කොතරම් ආදරය කළත් ඔහුගේ හෝ ඇගේ ජීවිතයට සිදු වන සෑම දෙයක්ම පාලනය කරන්නවත් “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” වළක්වන්නවත් අපට බැරි බවයි. (දේශනාකාරයා 9:11) ඒ විතරක් නොවෙයි මිය ගිය කෙනාට නපුරක් කිරීමේ චේතනාවක් ඔබට තිබුණේ නැහැ. උදාහරණයකට වෛද්‍යවරයෙකු ළඟට ඔහුව හෝ ඇයව රැගෙන  නොගියේ ඒ කෙනා ලෙඩ වී මැරුණාට කමක් නැහැ කියා ඔබ සිතූ නිසාද? ඇත්තෙන්ම නැහැ. එසේනම් එම තැනැත්තා මිය ගියේ ඔබේ නොසැලකිලිමත්කම නිසා නොවෙයි.

හදිසි රිය අනතුරකින් තම දියණිය අහිමි වූ විට එක් මවක් තමන්ටම දොස් කියාගත්තා. එයින් ගොඩ ආ ආකාරය ගැන ඇය මෙසේ පවසනවා. “දුවව මම එදා යවපු එක ගැන මගේ හිත මට වධ දුන්නා. හැබැයි එහෙම හිතපු එක සාධාරණත් නැහැ. මොකද මම එයාව යැව්වේ එයාගේ තාත්තත් එක්ක. ඒක හිතපු නැති විදිහට වුණ අනතුරක්.”

‘මට මේ විදිහට කියන්න තිබුණනේ.’ එසේත් නැත්නම් ‘මට මේ දේ කරන්න තිබුණනේ’ කියා සමහරවිට ඔබට සිතෙන්න පුළුවන්. නමුත් අප අතරින් කාටද කියන්න පුළුවන් මම නම් කිසි වරදක් නොකරපු අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් හෝ දරුවෙක් කියා? බයිබලයේ අපට මෙසේ සිහිගැන්වීමක් දී තිබෙනවා. ‘අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි. යමෙකුට තම දිව පාලනය කරගැනීමට හැකි නම් කිසි වරදක් නොකරන පරිපූර්ණ මිනිසෙකු වීමට ඔහුට පුළුවන.’ (යාකොබ් 3:2; රෝම 5:12) ඔබ පරිපූර්ණ කෙනෙක් නොවෙයි කියන කාරණය තේරුම්ගන්න. ‘අනේ මම මෙහෙම කළා නම්’ කියා සිතසිතා සිටීමෙන් සිදු වූ දේ වෙනස් කළ නොහැකියි. එයින් සිදු වෙන්නේ ඔබේ දුක තුනී වීමට තවත් කල් ගත වීමයි.

සාධාරණ හේතුවක් නිසා ඔබේ සිත ඔබට වධ දෙනවා නම් දෙවිගෙන් සමාව ලබාගැනීමට පියවර ගන්න. “යෙහෝවා දෙවියනි, ඔබ අපේ වැරදි දෙසම බලා සිටිනවා නම්, අනේ යෙහෝවා දෙවියනි, ඔබ ඉදිරියේ සිටිය හැක්කේ කාටද? සැබවින්ම සමාව දිය හැක්කේ ඔබටය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 130:3, 4) ඔබ මෙය සිතට ගන්න. ඔබට සිදු වූ දේ වෙනස් කරන්න කවදාවත් බැහැ. නමුත් ඔබ අතින් සිදු වූ වරදට දෙවිගෙන් සමාව අයැදිය හැකියි. දෙවි ඔබට සමාව දෙන බවට පොරොන්දු වී තිබෙනවා නම් ඔබ අනවශ්‍ය ලෙස ළත විය යුතුද?—හිතෝපදේශ 28:13; 1 යොහන් 1:9.

කෝපය පාලනය කරගැනීම

වෛද්‍යවරුන්, හෙදියන්, මිතුරන් හෝ මිය ගිය තැනැත්තා සමඟ පවා ඔබට කෝපයක් ඇති වී තිබෙනවාද? එයත් වියෝදුකේදී ඇති වන සාමාන්‍ය හැඟීමක්. සමහරවිට ඔබට දැනෙන දුක නිසා ඔබ කෝපයෙන් ක්‍රියා කරනවා ඇති. එක් කතුවරයෙක් පැවසුවේ මෙවැනි දෙයක්. “ඔබ තුළ කෝපයක් තිබෙනවා කියා තේරුම්ගැනීමෙන් එය පාලනය කිරීමටත් එයින් ඇති වන අහිතකර ප්‍රතිඵල වළක්වාගැනීමටත් ඔබට හැකි වෙයි.”

ඔබට කෝපයක් දැනෙනවා නම් එය තව කෙනෙකුට කීමෙන්ද යම් සහනයක් ලබාගත හැකියි. නමුත් කෑගසා හෝ තමන්ව පාලනය කරගත නොහැකි ආකාරයෙන් එය කරන්න එපා. දිගින් දිගටම කෝපයෙන් සිටීම අනතුරුදායකයි කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 14:29, 30) ඔබව තේරුම්ගන්නා මිතුරෙකු සමඟ කතා කිරීමෙන් ඔබට යම් සහනයක් ලබාගත හැකියි. කෝපය පාලනය කිරීමට ව්‍යායාම් කිරීමද ප්‍රයෝජනදායක බව තවත් සමහරු සොයාගෙන තිබෙනවා.—එෆීස 4:25, 26.

ඔබේ සිතේ තිබෙන දේ අන් අයට විවෘතව හා අවංකව පවසන විට ඔබ කල්පනාකාරී විය යුතුයි. ඔබට දැනෙන කෝපය ගැන අන් අයට කීමත් එය අන් අය පිටින් යැවීමත් අතර වෙනසක් තිබෙනවා. ඔබට දැනෙන කෝපය හා කලකිරීම නිසා අන් අයට දොස් නඟා පලක් නැහැ. ඒ නිසා ඔබ නපුරු ආකාරයට කතා නොකර ඥානවන්තව වචන හසුරුවන්න. (හිතෝපදේශ 18:21) සහනය ලබාගත හැකි හොඳම ක්‍රමය ගැන දැන් අපි සලකා බලමු.

දෙවිගෙන් ලැබෙන සහනය

බයිබලයේ සඳහන් වෙන්නේ මෙවැනි පොරොන්දුවක්. “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.” (ගීතාවලිය 34:18) වියෝදුක දරාගන්න යෙහෝවා දෙවි සමඟ ඇති මිත්‍රත්වය ඔබට උපකාරවත් වෙයි. ඒ සඳහා මෙම සඟරාවේ ඇති යෝජනා ඔබට ප්‍රයෝජනවත් වෙයි. මන්ද ඒවා පදනම් වී  තිබෙන්නේ දෙවිගේ වචනය වන බයිබලය මතයි. ඒ යෝජනා අදාළ කරගැනීමෙන් ඔබට දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමටත් සහනයක් ලබාගැනීමටත් හැකි වෙයි.

ඊට අමතරව දෙවිට යාච්ඤා කිරීමත් ඉතා වැදගත්. බයිබලයේ සඳහන් වෙන්නේ මෙවැනි දෙයක්. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය.” (ගීතාවලිය 55:22) ඔබේ දුක මිතුරෙකුට පැවසීමෙන් යම් සහනයක් ලැබෙනවා නම් ‘සියලු සැනසිල්ලේ දෙවිට’ ඔබේ දුක පැවසීමෙන් ඊටත් වඩා කොපමණ සහනයක් අද්දැකිය හැකිද!—2 කොරින්ති 1:3.

අප යාච්ඤා කළ පමණින් අපට සහනයක් ලැබෙන්නේ නැහැ. නමුත් “යාච්ඤා අසන තැනැත්තා” වන යෙහෝවා දෙවිගෙන් බලය ඉල්ලන අයට එය දෙන බවට දෙවි පොරොන්දු වෙනවා. (ගීතාවලිය 65:2; ලූක් 11:13) එමගින් හෙට දවසට මුහුණ දීමට අවශ්‍ය “සාමාන්‍යය ඉක්මවූ බලය” අපට ලැබෙනවා. (2 කොරින්ති 4:7) තම විශ්වාසවන්ත සේවකයන්ට ඕනෑම ගැටලුවක් විඳදරාගැනීමට අවශ්‍ය උපකාර ලබා දීමට දෙවිට හැකි බව අමතක කරන්න එපා.

තම දරුවා අහිමි වූ කාන්තාවකට හා ඇගේ ස්වාමිපුරුෂයාට වියෝදුක දරාගැනීමට යාච්ඤාව උපකාරවත් වුණා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “සමහර දවස්වල රෑට නිදාගන්න යන කොට අපිට දුක දරාගන්න ගොඩක් අමාරු වුණා. ඒ වගේ වෙලාවට අපි දෙන්නා දෙවිට අපේ දුක කියකියා ඇඬුවා. මුල්ම වතාවට දුව නැතුව අපි කරපු හැම දේකටම කලින්, උදාහරණයකට රැස්වීමට යන්න කලින් එහෙමත් නැත්නම් සමුළුවට යන්න කලින් දුක දරාගන්න ශක්තිය ඉල්ලලා අපි යාච්ඤා කළා. සමහර දවස්වලට උදේට නැඟිටලා දුව නැහැයි කියලා දැනෙන කොට අපිට දුක දරාගන්න බැරි වුණා. ඒ වගේ දවස්වලත් අපි දෙවිට යාච්ඤා කළා. දුවගේ මරණයෙන් පස්සේ ගේ ඇතුළට යන්න මට ලොකු භයක් දැනුණා. ඒ ඇයි කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම තනියෙන් ගෙදර ආව හැම වෙලාවකම හිත සන්සුන් කරගන්න උපකාර ඉල්ලලා යෙහෝවා දෙවිට යාච්ඤා කළා.” තම යාච්ඤාවලට දෙවි පිළිතුරු දුන් බව ඒ ස්ත්‍රියට නිසැකකමක් තිබුණා. ඇය මෙන් නොකඩවා යාච්ඤා කිරීමෙන් ‘දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන්. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයක්. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වෙයි.’—ෆිලිප්පි 4:6, 7; රෝම 12:12.

ඇත්තෙන්ම දෙවි දෙන උපකාරය නිසා මහත් සහනයක් අද්දැකිය හැකියි. ‘අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුයි. ඒ නිසා ඕනෑම ආකාරයක පීඩාවක් විඳින අයව සැනසීමට අපටත් හැකි වෙයි’ කියා දෙවිගේ සේවකයෙක් වූ පාවුල් පැවසුවා. දෙවිගේ උපකාරය ලැබුණත් දුක සම්පූර්ණයෙන්ම නැති වී යන්නේ නැහැ. නමුත් එය දරාගැනීමට ශක්තිය ලැබෙන බව ස්ථිරයි. එයින් අදහස් කරන්නේ නැහැ ඔබට මිය ගිය කෙනාව අමතක වී යයි කියා. නමුත් ඒ වේදනාවෙන් ගොඩ එන්න ඔබට හැකියි. එවිට ඔබට හැකි වෙයි ඔබ මුහුණ දුන්නා හා සමාන තත්වයකට මුහුණ දෙන අයව තේරුම්ගෙන ඔවුන්ට අවශ්‍ය උපකාරය හා සහනය ලබා දෙන්න.—2 කොරින්ති 1:4.