ලොව වටා සේවය
ආසියාව සහ මැදපෙරදිග
-
රටවල් ගණන 48
-
ජනගහනය 4,31,57,59,010
-
ප්‍රචාරකයන් ගණන 7,03,271
-
බයිබල් පාඩම් ගණන 7,32,106
තවත් අයව එක්කගෙන එන්නද කියලා ඔහු ඇහුවා
ඉන්දුනීසියාවේ සහෝදරයෙක් යේසුස්ගේ මරණය සිහි කිරීමට දවස් දෙකකට කලින් රථ ගාලක වැඩ කරන මුස්ලිම් කෙනෙකුට ආරාධනා පත්‍රයක් දුන්නා. මේ ආරාධනා පත්‍රයට ඔහුත් එක්ක තවත් අයට එන්න පුළුවන්ද කියලා ඔහු ඇහුවා. පුළුවන් කියලා සහෝදරයා කිව්වත් පවුලේ ගොඩක් අය ඉන්න නිසා තවත් ආරාධනා පත් කිහිපයක් ඔහු ඉල්ලුවා. ආරාධනා පත්‍ර 20ක් දීලා සහෝදරයා ඔහුට කිව්වේ ක්‍රිස්තියානි වුණත් මුස්ලිම් වුණත් ඕනම කෙනෙක්ට මේ සැමරීමට එන්න පුළුවන් කියලයි. මං තව 70දෙනෙක් විතර එක්කගෙන එන්නම් කියලා ඔහු සහෝදරයාට කිව්වා.
එදා සිහි කිරීමට 248දෙනෙක් විතර ඇවිත් හිටියා. දේශනය පටන් අරන් ටික වෙලාවක් ගියාට පස්සේ ඔහු තවත් 100දෙනෙක් විතර එක්කගෙන එතනට ආවා. ගැහැනු, පිරිමි, වයසක අය, දරුවන් විතරක් නෙමෙයි ගැබිනි මවක් පවා ඒ අය අතර හිටියා. ඔවුන් ඇවිත් තිබුණේ වාහන කිහිපයක්ම කුලියට අරගෙන. ඒ කණ්ඩායම දැක්කම සිහි කිරීම පවත්වපු හෝටලයේ ආරක්ෂක නිලධාරීන් මුලින් ඔවුන්ට ඇතුළට එන්න ඉඩ දීලා තිබුණේ නැහැ. මොකද මුස්ලිම් කණ්ඩායමක් ඇයි ක්‍රිස්තියානි උත්සවයකට එන්නේ කියලා ඔවුන්ට සැක හිතලා තිබුණා. ඒත් මේ අය ඔවුන්ගේ ආරාධනා පත්‍ර පෙන්නුවාට පස්සේ ආරක්ෂක නිලධාරීන් ඔවුන්ව ශාලාව තියෙන තැනට එක්කගෙන ආවා. ඒ වෙද්දිත් ශාලාව පිරිලා තිබුණ නිසා ආපු අයගෙන් 60කට විතරයි ශාලාව ඇතුළට එන්න ලැබුණේ.
දවස් කිහිපයකට පස්සේ සහෝදරයා ආයෙත් ඔහුව හම්බ වෙන්න ගියේ එදා ආපු අය මරණය සිහි කිරීම ගැන මොනවද කිව්වේ කියලා දැනගන්නයි. කට්ටියට පොඩි ලැජ්ජාවක් තිබුණත් එතන හිටපු අය ආදරෙන් පිළිගත්ත නිසා එයාලට ගොඩක් ආස හිතුණා කියලා ඔහු කිව්වා. සහෝදරයා ඔහුට ඊළඟ ඉරිදා තියෙන විශේෂ බයිබල් දේශනයටත් එන්න කියලා ආරාධනා කළා. එදා ඔහු ආවේ 40දෙනෙක් එක්ක. ඒත් ඔවුන් එද්දී රැස්වීම ඉවර වෙන්න ඔන්න මෙන්න තිබුණු නිසා සහෝදරයන් දේශනය ආයෙත් දෙන්න සූදානම් කළා. මේ පාර දේශනය දෙද්දී ඇවිත් හිටපු මුස්ලිම් අය වෙනුවෙන් කථිකයා බයිබලය වෙනුවට “ශුද්ධ පොත” යේසුස් වෙනුවට “ඊසා නබි” වගේ ඔවුන්ට හුරු වචන පාවිච්චි කරන්නත් අමතක කළේ නැහැ.
ටික දවසකින් වැඩිමහල්ලෙක් ඒ මුස්ලිම් කෙනාව බලන්න ඔහුගේ නිවසට ගිහින් ‘දෙවිට සවන් දෙන්න’ කියන සඟරාවෙන් තොරතුරු සාකච්ඡා කළා. ඒකට ඔහුත් එක්ක ගැහැනු අය, දරුවන් ඇතුළු තවත් 12දෙනෙක් හවුල් වුණේ ගොඩක් ආසාවෙන්.
බස් එකේදි කියවන්න පොත් පත්
මොංගෝලියාව: අවසර ලබාගෙන බස්වල පොත් තියන ආකාරය
මොංගෝලියාවේ හැම තැනකටම යන බස්, ගමන පටන්ගන්නේ ඌලාන්බාටෝර් නගරයෙන්. එක ගමනකට පැය 48ක් විතර යන නිසා මඟීන් එක්කෝ ජනේලෙන් එළිය බලාගෙන යනවා නැත්නම් නිදාගන්නවා. මොංගෝලියානු ජාතිකයන් කියවන්න ගොඩක් ආස අය වුණත් මේ බස්වල නම් කියවන්න කිසිම පොතක් පතක් තිබුණේ නැහැ. ඒ ගැන හිතපු සහෝදරයන් කට්ටියක් බස් රියදුරන්ව හම්බ වෙලා මෙහෙම කිව්වා. “අපි කැමතියි වටිනා තොරතුරු තියෙන පොතක් දෙන්න. සාමාන්‍යයෙන් ප්ලේන් එකක යද්දි නම් කියවන්න පොතක් පතක් තියෙනවනේ. ඒ වගේ බස් එකේ යන අයත් කියවන්න ආස වෙයි කියලා හිතනවා නම් අපිට පුළුවන් සීට් එක පිටිපස්සේ තියෙන පොකට් එකට පොත් පත් කිහිපයක් දාන්න.” රියදුරන් 8දෙනෙක්ම ඒ යෝජනාවට කැමති වුණා. ඒ නිසා සහෝදරයන් මාසික සඟරා 299ක් සහ සඟරා 144ක් බස්වලට දැම්මා. ඒ විතරක් නෙමෙයි හැම මාසයකම එන අලුත් සඟරා ඒ විදිහට බස්වලට දාන්නත් ඔවුන් සැලසුම් කළා.
වැරදි කඩේකට ගියත් . . .
එක ආසියානු රටක වැඩිමහල්ලන් දෙන්නෙක් අවුරුදු 8ක් පුරා අක්‍රියාශීලී වෙලා හිටපු සහෝදරියක්ව බලන්න ගියා. ඒ සහෝදරියව කවදාවත් දැකලා තිබුණේ නැති නිසා ඔවුන් ඇයට කෝල් කරලා ඇගේ කඩේදි ඇයව මුණ ගැහෙන්න සැලසුම් කරගත්තා. ඒ කඩේ තිබුණේ තොග බඩු විකුණන වෙළඳපොළකයි. එහෙන් මෙහෙන් පාරවල් තිබුණු නිසා ඒක හොයාගන්න ලේසි වුණේ නැහැ. සහෝදරයන් සෑහෙන්න වෙහෙසක් දරලා ඒ ලිපිනය තියෙන කඩේට ඇතුල් වෙද්දිම කාන්තාවක් හිනාවකින් ඔවුන්ව පිළිගත්තා. ඇගේ මේසෙ උඩ බයිබලයකුත් තිබුණා. එයාගේ ගම, වාසගම සහ දරුවන් දෙන්නගේ වයස වගේ දේවල් ඇහුවට පස්සේ ඇය තමයි ඔවුන් හොයපු කෙනා කියලා වැඩිමහල්ලන් හිතුවා. ඒ නිසා ඔවුන් “අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ, ඔයාගේ සහෝදරයෝ” කියලා ඇයට කිව්වා.
ඒත් ඇය පුදුමයෙන් වගේ “මම ක්‍රිස්තියානි” කියලා ඔවුන්ට කිව්වා. ඇගේ ප්‍රතිචාරයෙන් තමන් ඉන්නේ වැරදි කඩේක කියලා සහෝදරයන්ට තේරුණා. ඒත් ඔවුන් ඇයට සඟරා කිහිපයක් දුන්නම ඇයත් කැමැත්තෙන්ම ඒවා ගත්තා. ඔවුන්ට යන්න තිබුණේ අංක 2202 දරන කඩේට වුණත් ඔවුන් ගිහින් තිබුණේ 2200 අංකය තියෙන කඩේටයි. සහෝදරියගේ කඩේ තිබුණේ එතන ඉඳලා කඩ දෙකකට පස්සෙයි. ඒ සිදුවීම ගැන සහෝදරයෙක් මෙහෙම කිව්වා. “අපේ සහෝදරිගෙයි ඒ කාන්තාවගෙයි නම, ගම විතරක් නෙමෙයි දරුවන්ගේ වයස් පවා එක හා සමානයි. ඒ කාන්තාව වෙන වාසගමක් හරි වෙන ගමකින් හරි කියලා කිව්වා නම් අපි එයාට කතා කරන එකක් නැහැ. අපිව එතනට යැව්වේ දේවදූතයන් වෙන්න ඕන.” ඔවුන් හොයපු සහෝදරියවත් පස්සේ ඔවුන්ට හම්බ වුණා.
“මෙච්චර කාලයක් ගියත් යෙහෝවා දෙවි මාව අමතක කරලා නෑ. ඇත්තටම මම දෙවිට ගොඩක් ණයගැතියි”
මුලින් ගියේ වැරදි කඩේට වුණත් ඒ කඩේ කාන්තාව බයිබලය පාඩම් කරන්නත් රැස්වීම් එන්නත් පටන්ගත්තා. අපේ සහෝදරියත් දිගටම රැස්වීම් ආවා. සේවයේ යන්න පටන්ගත්තා. ඇය මෙහෙම කියනවා. “මෙච්චර කාලයක් ගියත් යෙහෝවා දෙවි මාව අමතක කරලා නෑ. ඇත්තටම මම දෙවිට ගොඩක් ණයගැතියි.”
වැහි කුණාටු බාධාවක් නෙමෙයි
පිලිපීනය: ග්‍රෙග් කෙටි පණිවිඩ යවමින්
පිලිපීනයේ ප්‍රචාරකයන්ගේ ලොකු අවශ්‍යතාවක් තියෙන දූපතකට යන්න ග්‍රෙග් සහ අල්මා තීරණය කළා. ඒක කඳු තියෙන දූපතක්. ඔවුන් සේවය කරන සමහර පැතිවලට කිලෝමීටර් 19ක් පයින් යන්න සිද්ධ වෙනවා. තවත් අවස්ථාවලදී ඔවුන් පැය 2ක් පුරා හබල් ගාගෙන බෝට්ටුවකින් වෙනත් දූපත්වලට යනවා. ඒත් වැහි කාලවලදී එයාලට සේවයේ යන්න බැහැ. ඔවුන්ට අඩු ගාස්තු යටතේ සීමාවක් නැතුව කෙටි පණිවිඩ යවන්න පුළුවන් ජංගම දුරකථන පැකේජයක් තිබුණා. ඒ නිසා වැහි දවස්වල නිකම්ම ගෙදරට වෙලා ඉන්නවා වෙනුවට ඔවුන් ඒකෙන් ප්‍රයෝජන ගත්තා.
ග්‍රෙග් කෙටි පණිවිඩයේ මුලින්ම එයාගේ නම සඳහන් කරනවා. ඊට පස්සේ “බයිබලයේ තියෙන පණිවිඩයක් මම ඔයාට කියන්න කැමතියි” කියලා ටයිප් කරනවා. යොහන් 17:3 සඳහන් කරලා, සැබෑ දෙවි කවුද, යේසුස් ක්‍රිස්තුස් කවුද කියන ප්‍රශ්න දෙක අහනවා. ඒකට ප්‍රතිචාරයක් ලැබුණොත් ගීතාවලිය 83:18 වගේ බයිබල් පදයක් යවනවා. ඒ කෙනා දිගටම ප්‍රතිචාර දක්වනවා නම් දුරකථනයෙන් සාකච්ඡාවක් කරන්න කැමතිද කියලා අහනවා. මේ විදිහට ග්‍රෙග්ට සහ අල්මාට හොඳ ප්‍රතිචාර ගොඩක් හම්බ වෙලා තියෙනවා.
එක කාන්තාවක් ඔවුන්ගෙන් බයිබලය ගැන එක එක ප්‍රශ්න ඇහුවා. ඒ හැම ප්‍රශ්නයකටම ඔවුන් උත්තර යැව්වා. ඊටපස්සේ ඇය බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා. ඇය ඉගෙනගත්ත දේවල් ඥාති පුතෙකුටත් මිතුරියකටත් කිව්ව නිසා ඔවුනුත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. කාලයක් ගියාට පස්සේ ඒ තුන්දෙනාම බව්තීස්ම වුණා.

