Skip to content

ජීවිතවල සැබෑ වෙනසක්!

ජීවිතවල සැබෑ වෙනසක්!

ස්පාඤ්ඤයේ තියෙන හිරගෙවල් 68ක ඉන්න සිරකරුවන් 600දෙනෙක්ට විතර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ තියෙන දේවල් කියලා දෙනවා.

ඒ සාක්ෂිකරුවන් අතරින් කෙනෙක් තමයි මිගෙල්. ඔහු සාක්ෂිකරුවෙක් වෙන්න කලින් අවුරුදු 12ක් හිරේ හිටපු කෙනෙක්. ඒත් ඔහු දැන් හැම සතියකම හිරගෙදරට යන්නේ ඒ අයගේ ජීවිතත් ඔහුගේ ජීවිතය වගේ වෙනස් කරගන්න උදව් කරන්නයි.

පහුගිය අවුරුදු 8 පුරාම ඔහු ගොඩක් සිරකරුවන් එක්ක බයිබලය පාඩම් කරලා තියෙනවා. “මං හිටපු හිරගෙදර අයටම උදව් කරන්න මට අවස්ථාව ලැබෙන එක ගැන මං හුඟක් සතුටු වෙනවා. ආයෙත් වැරදි කරන්නේ නැතුව අලුත් ජීවිතයක් ගත කරන්න ඒ අයට තියෙන ආසාව දැක්කම මගේ සතුට තවත් වැඩි වෙනවා.”

බීපු රියදුරෙක්ගේ වාහනෙකට හැප්පිලා මිගෙල්ගේ තාත්තා මැරෙන කොට මිගෙල්ට අවුරුදු 4යි. තාත්තා මැරුණට පස්සේ පවුලේ අයට අවශ්‍ය දේවල් සපයන්න මිගෙල්ගේ අම්මට දවස තිස්සෙම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වුණා.

මිගෙලුයි එයාගේ අයියයි ඉස්කොලෙන් කට්ටි පැනලා ගිහින් ගෙවල්වලයි වාහනවලයි තියෙන බඩු හොරකම් කරන්න පුරුදු වුණා. අවුරුදු 12ක් තරම් පොඩි වයසේදීම මිගෙල් පොඩි පොඩි දාමරිකකම් කරන්න පටන්ගත්තා. ඔහු අවුරුදු 15දී කුඩු විකුණන්න පටන්ගත්ත නිසා ඔහුගේ අත මිට සරු වුණා. ඒත් ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ නිසා ඒවා ගන්නත් ගොඩක් සල්ලි ඕන වුණා. ඒ නිසා ඔහු වැඩි වැඩියෙන් හොරකමේ ගියා. අවුරුදු 16 ඉඳන්ම වාගේ මිගෙල්ට නිතරම හිරේට යන්න සිද්ධ වුණා. කාලයක් යද්දී ඔහු දරුණු අපරාධකාරයෙක් වුණා. “එක්කෝ මම හිරේදී මැරෙයි නැත්නම් කුඩු බීලම මැරෙයි කියලා මට හිතුණා. මම හිටියේ හරියට මකුළු දැලක පැටලුණු මැස්සෙක් වගෙයි” කියලා මිගෙල් කිව්වා.

1994දී මිගෙල්ගේ යාළුවෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ට කිව්වා මිගෙල්ට ලියුමක් යවන්න කියලා. දෙවියන්ගේ කැමැත්ත මේ පොළොව පාරාදීසයක් කරන එකයි කියලත් මිගෙල් ජීවිතය වෙනස් කරගන්නවා නම් ඔහුටත් ඒ පාරාදීස පොළොවේ ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලත් සාක්ෂිකරුවා මිගෙල්ට ලියලා එවලා තිබුණා. “ඒ වචනවලින් මට ලොකු දිරිගැන්වීමක් ලැබුණා. මගේ මුළු ජීවිතයම වෙනස් කරගන්න මං තීරණය කළේ එදායි. මං බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න තීරණය කළා. ඒත් ඒක ලේසි වෙන එකක් නැහැ කියලා මට හිතුණා” කියලා මිගෙල් කිව්වා.

මිගෙල්ට එහෙම හිතුණේ ඔහු ඒ වෙනකොටත් මත්ද්‍රව්‍යවලට හා දුම්පානයට ඇබ්බැහි වෙලා හිටපු නිසයි. ඔහුගේ හිර කුටියේ හිටපු කෙනා ඔහුට හැමදාම ඒ දේවල් දුන්න නිසාත් ඔහුට ඒවායින් මිදෙන්න ලේසි වුණේ නැහැ. ඒ නිසා වැරදි පුරුදු අත හරින්න ශක්තිය දෙන්න කියලා ඔහු දෙවියන්ට හැමදාම යාච්ඤා කළා. අවසානයේදී ඔහු ඒකෙන් ජය ගත්තා.

ඉන් මාස තුනකට පස්සේ ඔහු බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් අනිත් අයටත් කියලා දෙන්න පටන්ගත්තා. ඊළඟ අවුරුද්දේ හිරෙන් නිදහස් වුණු ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්මත් වුණා. ඔහු විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් හිටියත් ඔහුගේ විවාහයට මාසයක් තියෙද්දී කලින් කරපු වැරදි නිසා ආයෙත් ඔහුට අවුරුදු දහයකට හිරේට යන්න සිද්ධ වුණා. ඒත් ඔහුගේ හොඳ හැසිරීම නිසා අවුරුදු තුනහමාරකින් නිදහස ලැබුණා. ඊටපස්සේ ඔහු විවාහ වුණා. ආයේ කවදාවත් මිගෙල් ඔහුගේ පරණ ජීවිතයට හැරිලා ගියේ නැහැ.