කල් පවතින සිත්ගන්නාසුලු බයිබලයක්!
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නම් බයිබලය තරම් තවත් වැදගත් පොතක් නැහැ. ඔවුන් නිතරම බයිබලය අධ්‍යයනය කරනවා වගේම දේවරාජ්‍යයේ ශුභාරංචිය අනිත් අයට උගන්වන්නත් ඒක පාවිච්චි කරනවා. (මතෙව් 24:14) නිතර නිතර බයිබලය පාවිච්චි කරද්දී ඒක ඉක්මනින්ම පරණ වෙනවා. ඒ නිසා 2013දී ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ සංශෝධනය කරද්දී ඒක සිත්ගන්නාසුලු වගේම කල් පවතින එකක් විදිහට නිපදවන්න සාක්ෂිකරුවන් ඔවුන්ට පුළුවන් හැම දේම කළා.
අලුත් බයිබලය ශක්තිමත් එකක් වෙන්න ඕන කියලා ඔවුන් හිතුවා. ඒ නිසා ඇමරිකාවේ වෝල්කිල්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ මුද්‍රණ අංශයේ වැඩ කරන අය පොත් බඳින ආයතනයක ප්‍රධානියෙක් එක්ක ඒ ගැන කතා කළා. ඒ ප්‍රධානියා කිව්වේ මෙහෙමයි. “ඔයාලා හොයන බයිබල් නම් කොහෙවත් නැහැ. ගොඩක් බයිබල් හදලා තියෙන්නේ මේසයක හරි පොත් රාක්කයක හරි ලස්සනට තියන්න මිසක් කල් පවතින්න නෙමෙයි. ඇත්ත ඒකයි.”
කලින් මුදාහැරපු ‘නව ලොව පරිවර්තනයේ’ සමහර පිටපත් වැඩි කල් පාවිච්චි කරන්න බැරි වුණා. උණුසුම් දේශගුණය තියෙන පැතිවල පිටුත් ගැලවුණා. ඒ නිසා මුද්‍රණ අංශයේ අය බයිබල් කවර හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය, ගම් වර්ග හා පොත් බඳින තවත් ක්‍රම ගැන හොයලා බැලුවා. ඒ අයට ඕන වුණේ ඕනම දේශගුණයකට හරියන ශක්තිමත් හා කල් පවතින බයිබලයක් නිර්මාණය කරන්නයි. ඒගොල්ලන් හොයාගත්ත තොරතුරු පාවිච්චි කරලා අලුත් බයිබලයක් හදලා ඒක කොච්චර කල් පවතිනවද කියලා හොයලා බලන්න විවිධ දේශගුණයන් තියෙන රටවලට යැව්වා. සමහර බයිබල් අධික ශීත තියෙන ඇලස්කාව වගේ රටවලටත් සමහර ඒවා උෂ්ණ දේශගුණයක් තියෙන රටවලටත් යැව්වා.
මාස 6කට පස්සේ ඒ බයිබල් හැම එකක්ම ආයෙත් ගෙන්වගෙන පරීක්ෂා කළා. ගුණාත්මක තත්වය වැඩි දියුණු කරන්න අවශ්‍ය නිසා මුද්‍රණ අංශයේ අය තවත් බයිබල් තොගයක් නිපදෙව්වා. ඒවා පරීක්ෂා කරන්න ආයෙත් රටවල්වලට යැව්වා. එහෙම යවපු මුළු බයිබල් ගණන 1,697යි. ඒවායින් සමහරකට විවිධ අකරතැබ්බ සිද්ධ වුණා. උදාහරණයකට, වහින වෙලාවේ එක බයිබලයක් මුළු රැයක්ම එළියේ තිබුණා. තවත් එකක් ජලගැලීමකට අහු වුණා. කොහොමවුණත් පරීක්ෂා කරන්න යවපු ඒ හැම බයිබලයකම තත්වය ගැන ලබාගත්ත තොරතුරු නිසා ඒවායේ කල් පැවැත්ම ගැන ගොඩක් වටින තොරතුරු දැනගන්න පුළුවන් වුණා.
2011දී ඒ විදිහට බයිබලයේ කල් පැවැත්ම ගැන පරීක්ෂා කරන අතරතුර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉතා වේගයෙන් පොත් බඳින්න පුළුවන් අලුත් උපකරණ වෝල්කිල්වල සහ ජපානයේ එබිනාවල තියෙන මුද්‍රණාලවලට ගෙන්වගත්තා. ඒ අයගේ අරමුණ වුණේ අවශ්‍ය කරන බයිබල් ගණන මුද්‍රණය කරන එක විතරක් නෙවෙයි තැන් දෙකේදිම එක වගේ බයිබල් මුද්‍රණය කරන්නයි.
කවර ඇකිළෙන්න ගත්තා
අලුතෙන් හඳුන්වලා දීපු කලු හා මෙරූන් පාට කවර පාවිච්චි කරලා වර්ෂ 2012 මුලදී මේ මුද්‍රණාල දෙකෙන්ම ඒ කාලයේ තිබුණ ‘නව ලොව පරිවර්තනයේ’ පිටපත් මුද්‍රණය කරන්න පටන්ගත්තා. ඒ කවර හදලා තිබුණේ පොලියුරතේන් කියන ද්‍රව්‍යයෙන්. හැබැයි යොදාගත්ත ගම් වර්ගයේ සහ කවරයේ ඇතුළට දාන්න පාවිච්චි කරපු කඩදාසියේ තත්වය ඒ වෙද්දී පරීක්ෂා කරලා තිබුණේ නැහැ. ඒ නිසා බයිබලය හදලා ඉවර වුණාට පස්සේ පිට කවර ඇකිළෙන්න පටන්ගත්තා. ඒකට ඉක්මනින් විසඳුමක් හොයාගන්න බැරි වුණ නිසා මුද්‍රණ කටයුතු ඇණහිටියා.
අමුද්‍රව්‍ය සපයපු කෙනෙක් කිව්වේ මෘදු කවර ඇකිළෙන එක ලොකු ප්‍රශ්නයක්, ඒකට විසඳුමක් හොයාගන්න අමාරුයි කියලයි. ඒ වුණත් සාක්ෂිකරුවන් ගනකම් කවරයක් යොදාගන්න කැමති වුණේ නැහැ. මෘදු පිටකවරයක් දාලා ඇකිළෙන්නේ නැති සිත්ගන්නාසුලු බයිබලයක් හදන්න ඔවුන් දිගටම උත්සාහ කළා. ඔවුන් මාස 4ක් තිස්සේ පරීක්ෂණ කරලා ගම් වර්ග වගේම කවරයේ ඇතුළට දාන්න පාවිච්චි කරන විවිධ දේවල් අත්හදා බැලුවා. අන්තිමේදී ඒ බයිබලය හදන්න සුදුසුම විදිහ ඔවුන්ට හොයාගන්න පුළුවන් වුණා. දැන් නම් කවර ඇකිළෙන්නේ නැහැ.
ආයෙත් මුද්‍රණ කටයුතු ඇණහිටියා
ඒ කාලේ තිබුණ ‘නව ලොව පරිවර්තනය’ මුද්‍රණය කරන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න කියලත් තිබෙන පිටපත් ඔක්කොම බෙදාහැරලා ඉවර කරන්න කියලත් මඟ පෙන්වීමක් ලැබුණා. ඒක ලැබුණේ 2012 සැප්තැම්බර් මාසයේ. ඒ අයට ‘නව ලොව පරිවර්තනය’ සංශෝධනය කරලා අලුතෙන් බයිබලය මුද්‍රණය කරන්න අවසර ලැබෙන කල් ඉන්න වුණා. 2013 ඔක්තෝබර් 5 වෙනිදා වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා මගින් පවත්වන වාර්ෂික රැස්වීමේදී ඒක මුදාහරින්න නියමිත වෙලා තිබුණා.
අලුත් බයිබලයේ ඉලෙක්ට්‍රෝනික පිටපත මුද්‍රණාලවලට ලැබුණේ 2013 අගෝස්තු 9වෙනි සිකුරාදායි. ඊළඟ දවසෙම මුද්‍රණ කටයුතු පටන්ගත්තා. අගෝස්තු 15 වෙද්දී පළවෙනි බයිබලය හදලා ඉවර කළා. වාර්ෂික රැස්වීමට සහභාගි වන හැම කෙනෙක්ටම බයිබලයක් ලබාදෙන්න වෝල්කිල්වල හා එබිනාවල මුද්‍රණ අංශවල ඉන්න අය සති 7ක් පුරා දිවා රෑ නොබලා වැඩ කළා. ඔවුන් බයිබල් 16,00,000ක් මුද්‍රණය කරලා නැව්ගත කළා.
අලුත් බයිබලය සිත්ගන්නාසුලුයි. ඒ වගේම කල් පවතිනවා. හැබැයි ඒ හැම දේටම වඩා ඒකේ තියෙන පණිවිඩය වටිනවා. අලුත්ම බයිබලය අතට ලැබිලා දවසකට පස්සේ එක්සත් ජනපදයේ කාන්තාවක් මෙහෙම ලියලා එව්වා. “මේ අලුත් පරිවර්තනය නිසා බයිබලයේ තියෙන පණිවිඩය තවත් හොඳින් තේරුම්ගන්න මට පුළුවන් වුණා.”

