අප්‍රිකාවේ අන්ධ අයට උපකාර
දියුණු රටවල තියෙන සමහර පහසුකම් අනිත් රටවල ඉන්න අන්ධ අයට ලැබෙන්නේ නැහැ. ඇස් පේන අයට සාමාන්‍ය දේවල් ඔවුන්ට අභියෝගයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ව සමාජයෙනුත් කොන් වෙනවා. උදාහරණයකට වෙළඳපොළට ගිහින් බඩු ගන්න එක, බස් එකකට නැඟගන්න එක, මුදල් ගනු දෙනු කරන එක වගේ දේවල් විශේෂයෙන්ම අමාරුයි. අන්ධ හැමෝම බ්‍රේල් දන්නේ නැති නිසා කියවන එකත් අමාරු වෙන්න පුළුවන්. බ්‍රේල් දන්න අයට වුණත් ඔවුන් කතා කරන භාෂාවෙන් බ්‍රේල් අකුරු තියෙන පොත් පත් හොයාගන්න අමාරු ඇති.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවුරුදු 100කට වඩා වැඩි කාලයක් පුරා අන්ධ අයට බයිබලය මත පදනම් පොත් පත් නිෂ්පාදනය කරලා තියෙනවා. මලාවි රටේ චිචේවා භාෂාව කතා කරන අන්ධ අයටත් බ්‍රේල් පොත් පත් ලබා දෙන්න ඔවුන්ට අවශ්‍ය වුණා. ඒ නිසා බ්‍රේල් අකුරු මුද්‍රණය කරන සහ පොත් පත් බඳින යන්ත්‍රයක් නෙදර්ලන්තයෙන් මෑතකදී මලාවිවලට යැව්වා.
බ්‍රසීලයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරපු ලේයෝට බ්‍රේල් පොත් පත් නිෂ්පාදනය කරන එක ගැන හොඳ පළපුරුද්දක් තියෙනවා. ඒ නිසා ඔහු උදව් කරන්න මලාවි රටට ගියා. ඒ යන්ත්‍රය පාවිච්චි කරන විදිහ ගැනත් බ්‍රේල් අකුරු පිටපත් කරන කොම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ගැනත් ඔහු පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට ඉගැන්නුවා. ඒ ප්‍රෝග්‍රෑම් එකට හැකියාව තියෙනවා චිචේවා අකුරු චිචේවා බ්‍රේල් අකුරු බවට හරවන්න. ඒක කරන්න නම් ඔවුන්ට සිද්ධ වුණා චිචේවා අකුරු සහ චිචේවා බ්‍රේල් අකුරු ඇතුළත් වගුවක් හදලා ඒක කොම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් කරන්න. ඒ ප්‍රෝග්‍රෑම් එකට හැකියාව තියෙනවා කෙනෙක් ඇතුළත් කරන වචන බ්‍රේල් අකුරුවලට හරවලා අන්ධ අයට කියවන්න පහසු විදිහට ඒවා සකස් කරන්න. ඒ විදිහට සකස් කරපු බ්‍රේල් පොත් පත් ගැන මලාවි රටේ ඉන්න කීපදෙනෙක් කියන දේ බලන්න.
මුන්යාරාඩ්සි කියන අන්ධ කාන්තාව අර්ධකාලීන රැකියාවක් හැටියට තමන්ගේම රේඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කරනවා. ඒ වගේම ඇය බයිබලය ගැන අනිත් අයට උගන්වන්න හැම මාසෙකම පැය 70කුත් ගත කරනවා. ඇය කිව්වේ මේ වගේ දෙයක්. “කලින් මට බ්‍රේල් පොත් පත් ලැබුණේ ඉංග්‍රීසිවලින්. හැබැයි දැන් මම කතා කරන භාෂාවෙන්ම බ්‍රේල් පොත් පත් ලැබෙන හින්දා ඒවාවල තියන අදහස් මගේ හිතට හුඟක් කාවදිනවා. අපි දන්න බ්‍රේල් අකුරුවලින්ම අපිට පොත් පත් ලබා දෙන්න මහන්සි වුණ මුදල් වැය කරපු සාක්ෂිකරුවන්ව මම හුඟක් අගය කරනවා. අන්ධ අපිවත් වටිනවා අපිව අමතක කරලා නැහැ කියලා මට හැඟෙනවා.”
ෆ්‍රැන්සිස් උතුරු මලාවිවල ඉන්න සාක්ෂිකරුවෙක්. කලින් නම්, ඔහු අන්ධ හින්දා ඔහුට ඇහෙන්න තව කෙනෙක්ට කියවන්න සිද්ධ වුණා. ඒත් ඔහු කතා කරන චිචේවා භාෂාවෙන් මුල්ම වතාවට බ්‍රේල් පොතක් ඔහුගේ අතට ලැබුණාම ඔහු පුදුම වෙලා “මේක හීනයක්ද මට මේක අදහාගන්නවත් බැහැ” කියලා කිව්වා.
ලොයිස් අන්ධ කෙනෙක්. ඇය දෙවියන්ට සේවය කරන්න ඇගේ මුළු කාලයම වැය කරනවා. මේ වෙද්දී ඇය 52න්නෙකුට ඔවුන්ගේ ජීවිත යහපත් අතට හරවගන්න උදව් කරලා තියෙනවා. ඇය බ්‍රේල් පොත් පාවිච්චි කරලා උගන්නද්දී ඇස් පේන ඇගේ ශිෂ්‍යයන් ඔවුන්ගේ පොත් පත් පාවිච්චි කරලා ඇගෙන් ඉගෙනගන්නවා. මේ හැම පොතක්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්.
ලොයිස් බයිබල් පාඩමක් කරද්දී
ලේයෝ කියන උපදේශකයා ගැන අපි කලින් කතා කළා. බ්‍රසීලයෙන් ආපු ඔහු මෙහෙම කිව්වා. “බ්‍රේල්වලින් බයිබලය ගැන තොරතුරු තියෙන පොත් පත් අන්ධ අයගේ අතට ලැබුණාම එයාලා සතුටු වෙනවා. ඊටපස්සේ ඒවා එයාලා දන්න බ්‍රේල් අකුරුවලින්ම තියෙනවා කියලා දැක්කාම ඊටත් වඩා සතුටු වෙනවා. ඒක දකින එක ඇත්තෙන්ම ම ලොකු සතුටක්. දැන් ඔවුන්ට තනියම ක්‍රිස්තියානි රැස්වීම්වලටත් සේවයේ යන්නත් සූදානම් වෙන්න පුළුවන් නිසා ඔවුන් යෙහෝවා දෙවියන්ට ගොඩක් ස්තුති කරනවා කියලා අපිට කියනවා. කලින් ඒ අය පෞද්ගලික පාඩම කළේ වෙන අයගේ උපකාර ඇතුවයි. ඒත් දැන් තනියම පාඩම් කරගන්න පුළුවන් හින්දා එයාලාගේ පෞද්ගලික පාඩම ඇත්තෙන්ම පෞද්ගලික පාඩමක්. බ්‍රේල් පොත් පත් නිසා ඔවුන්ට තවත් යෙහෝවා දෙවියන්ට ළං වෙන්න පුළුවන් වෙලා තියෙනවා.”

