Skip to content

ජංගම පුවරු 1,65,000කටත් වඩා

ජංගම පුවරු 1,65,000කටත් වඩා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ගෙයින් ගෙට ගිහින් දේශනා කරන අය හැටියටයි. ඒත් දැන් ප්‍රසිද්ධ ස්ථානවල ජංගම පුවරුවක ලස්සනට පොත් පත් තියාගෙන ඉන්න විදිහත් ඔයාලා දැකලා ඇති.

මෑතක ඉඳන් මේ ක්‍රමයට සාක්ෂි දරන එක ගැන වැඩි අවධානයක් දීලා තියෙනවා. 2011 නොවැම්බර් මාසයේදී සාක්ෂිකරුවන් කණ්ඩායමක් නිව් යෝර්ක් නගරේ ජංගම පුවරු තියාගෙන දේවරාජ්‍යය ගැන මිනිසුන්ට දැනගන්න සැලැස්සුවා. මේ ක්‍රමය ඉතා සාර්ථක වුණු නිසා අනිත් නගරවලත් මේ ක්‍රමය අත්හදා බැලුවා.

2015 මාර්තු වෙද්දී ලොව පුරා ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවලට ජංගම පුවරු 1,65,390ක් ලබා දුන්නා. පොත් පත් ප්‍රදර්ශනය කරන්න පුළුවන් මේස වගේ දේවලුත් ලබා දුන්නා.

ගෙයින් ගෙට දේශනා සේවය තමයි සාක්ෂිකරුවන්ගේ දේශනා කිරීමේ ප්‍රධානම ක්‍රමය. ඒත් මේ ජංගම පුවරු ක්‍රමයෙනුත් හුඟක් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. උදාහරණ කීපයක් බලමු.

පේරූ රටේ ඉන්න රාවුල් ජංගම පුවරුවක් ළඟ හිටපු සාක්ෂිකරුවන්ට මෙහෙම කිව්වා. “ඔයාලා මෙච්චර කල් කොහෙද හිටියේ. මම අවුරුදු 3ක් තිස්සේ ඔයාලව හොයනවා. මම මේක දැක්කම දෙවියන්ට ස්තුති කෙරුවා.”

රාවුල් ජීවත් වෙන පළාතට නිතර නිතර සාක්ෂිකරුවන් ගිහිල්ලා තිබුණත් රාවුල් දවල් වරුවෙත් සති අන්තයෙත් ගෙදර ඉන්න කෙනෙක් නෙමෙයි. ඔහු කලින් සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරලා තිබුණා. ආයෙත් පාඩමක් පටන්ගන්න ආසයි කියලා ඔහු කිව්ව නිසා ඒ සඳහා සැලසුම් යෙදුවා.

බල්ගේරියාවේ ජංගම පුවරුවක් තියාගෙන ඉන්න සාක්ෂිරුවන්ගෙන් තරුණ යුවළක් ඇවිත් ‘පවුලේ සන්තෝෂයට රහස’ කියන පොත අරගත්තා. ඊළඟ සතියේ ඒ දෙන්නා ආයෙත් ඇවිත් ‘මගේ බයිබල් කතන්දර පොත’ සහ ‘උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු’ කියන පොත් දෙක ගත්තා. පුවරුව ළඟ හිටපු සාක්ෂිකරුවන් ඇහුවා “ඔයාලට දරුවෝ කීදෙනෙක් ඉන්නවද” කියලා. එයාලා මෙහෙම කිව්වා. “තවම දරුවෝ නෑ. ඒත් එයාලා හම්බ වුණු දවසක දෙවියන් ගැන උගන්වන්න අපි හරි ආසයි. මේ වගේ පොත් තමයි අපි හොයහොය හිටියේ.”

යුක්රේනයේ පුවරුවක් තියාගෙන හිටපු සාක්ෂිකරුවන්ට හමුදා ඇඳුම් ඇඳගත්ත කෙනෙක් ඇවිත් මෙහෙම කිව්වා. “ළමයිනේ, කියන්නකො බලන්න හර්මගෙදොන් එන්නේ කවද්ද කියලා.” ඒ කෙනා මෑතකදී යුක්රේනයේ තිබුණු යුද්දෙට හවුල් වුණු කෙනෙක්. ලොකේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවම මේ දුෂ්ට සමාජය දෙවි විනාශ කරයි කියලා ඔහුට විශ්වාසයි. ඒත් දෙවි තවත් ප්‍රමාද වෙන්නේ ඇයි කියලා ඔහු කල්පනා කරලා තිබුණා. දෙවි ප්‍රමාද වෙන්නේ සාධාරණ හේතු නිසා කියලත් ඉක්මනින්ම මේ දුෂ්ට සමාජය විනාශ කරනවා කියලත් සාක්ෂිකරුවන් බයිබලයෙන් පැහැදිලි කරලා දුන්නා. ඒ කෙනා ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරාත් ‘ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?’ කියන පොතත් අරගත්තා.

මැසිඩෝනියාවේ ජංගම පුවරුවක් ළඟ හිටපු සාක්ෂිකරුවන්ට තරුණයෙක් කිව්වා ඔහු අපේ සඟරා කියවලා තියෙනවා කියලා. දැන් ඔහුට ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතත් ඕනෙ කියලා කිව්වා. පොතත් අරගෙන ඒ වෙලාවෙම ඔහු පුස්තකාලෙට ගියා කියවන්න.

ඒ පොතේ පිටු 79ක් කියවපු ඔහු පැය දෙකකට පස්සේ ආයෙත් ඇවිත් මෙහෙම කිව්වා. “මේ පොතට පුළුවන් මිනිසුන්ගේ ජීවිතේ වෙනස් කරන්න. මම විශ්වාස කරන හුඟක් දේවල් වැරදියි කියලා මට තේරුම් ගියා. මේ පොතේ කියලා තියෙන දේවල් ඇත්ත. අපේ ජීවිතේ අරමුණ මොකක්ද කියලා මට දැන් පැහැදිලියි.”