Skip to content

බයිබල් සාකච්ඡාවක් කියන්නේ මොකක්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය ගැන කියලා දෙන්න හරිම ආසයි. ඒ වගේ සාකච්ඡාවකින් පහත ප්‍රශ්නවලට සහ වෙනත් ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන්.

  • දෙවියන් කියන්නේ කවුද?

  • දෙවියන් මං ගැන සැලකිලිමත් වෙනවද?

  • මගේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කොහොමද?

  • සන්තෝෂයෙන් ඉන්න නම් කරන්න ඕන මොනවද?

අපි බයිබලයේ තියෙන දේවල් කියලා දෙන විදිහ ගැන ගොඩක් අයට තියෙන ප්‍රශ්නවලට උත්තර පහත සඳහන් වෙනවා.

සාකච්ඡාව කරන්නේ කොහොමද? අපි විෂයක් තෝරගන්නවා. උදාහරණයකට “දෙවියන්,” “විවාහය” වගේ. ඒ විෂයට අදාළ බයිබල් පද සාකච්ඡා කරනවා. ඒ පද සාකච්ඡා කරද්දී මුළු බයිබලයේම ඒ විෂය ගැන කියන දේ දැනගන්න පුළුවන්. එහෙම කරද්දී අපිට බයිබල් පදවල නියම අදහස බයිබලයෙන්ම තේරුම්ගන්න පුළුවන්.

බයිබලය ගැන ඉගෙනගන්න අපි “බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු” කියන පොත පාවිච්චි කරනවා. මේ පොතෙන් විවිධ විෂයන් ගැන ඉගෙනගන්න පුළුවන්. දෙවියන් ගැන, යේසුස් ගැන, අපේ අනාගතය ගැන බයිබලයේ කියන දේ සහ තවත් ගොඩක් දේවල් අපිට ඉගෙනගන්න පුළුවන්.

බයිබල් සාකච්ඡාවකට කීයක් ගෙවන්න වෙනවද? බයිබලය ගැන ඉගෙනගන්නත් ඒ හා සම්බන්ධ පොත් පත්වලටත් කීයක්වත් ගෙවන්න වෙන්නේ නැහැ.

සාකච්ඡාවකට කොයි තරම් වෙලාවක් වැය වෙනවද? ගොඩක් අය සතියකට පැයක් වගේ කාලයක් වෙන් කරනවා. නමුත් නිශ්චිත කාලයක් නැහැ. ඔයාලා කැමති විදිහට කාලය දෙන්න පුළුවන්.

මං බයිබලය ගැන ඉගෙනගන්න කැමතියි කිව්වොත් ඊටපස්සේ මොකද වෙන්නේ? ඔයාට කැමති තැනක කැමති වෙලාවක ඔයාව හම්බ වෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් එයි. සාකච්ඡාව කරන විදිහ එයා ඔයාට කියලා දෙයි. ඔයා කැමති නම් දිගටම සාකච්ඡා කරන්න පුළුවන්.

මම සාකච්ඡාවක් පටන්ගත්තොත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ඕනෙද? නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය ගැන කියලා දෙන්න හරිම ආසයි. හැබැයි අපේ ආගමට එන්න කියලා අපි කාටවත් බල කරන්නේ නැහැ. තමන් කැමති ආගමක් තෝරගන්න ඕන කෙනෙකුට නිදහස තියෙනවා කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පිළිගන්නවා.—1 පේතෘස් 3:15.