Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පාස්කු ඉරිදා විශේෂ දවසක් හැටියට සලකන්නේ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පාස්කු ඉරිදා විශේෂ දවසක් හැටියට සලකන්නේ නැත්තේ ඇයි?

වැරදි මත කීපයක්

 සමහරු හිතන්නේ මෙහෙමයි: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පාස්කුව සමරන්නේ නැත්තේ එයාලා ක්‍රිස්තියානීන් නොවන නිසයි.

 ඇත්ත මේකයි: යේසුස් ක්‍රිස්තුස් අපේ ගැලවුම්කරු කියලා අපි විශ්වාස කරනවා. ක්‍රිස්තියානීන් හැටියට “ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය” කරන්න අපි නිතරම උත්සාහ කරනවා.—1 පේතෘස් 2:21; ලූක් 2:11.

 සමහරු හිතන්නේ මෙහෙමයි: යේසුස් මරණයෙන් නැවත නැඟිට්ටා කියලා සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ නැහැ.

 ඇත්ත මේකයි: යේසුස් මරණයෙන් නැවත නැඟිට්ටා කියලා අපි විශ්වාස කරනවා. යේසුස්ගේ නැවත නැඟිටීම ක්‍රිස්තියානීන්ගේ විශ්වාසයට පදනම සපයන ප්‍රධාන දෙයක් කියලා අපි විශ්වාස කරන නිසා තමයි දේවසේවයේදී අපි ඒ ගැන අනිත් අයට කියලා දෙන්නේ.—1 කොරින්ති 15:3, 4, 12-15.

 සමහරු හිතන්නේ මෙහෙමයි: සාක්ෂිකරුවන් පාස්කු ඉරිදා සමරන්නේ නැති නිසා සතුටු වෙන්න තියෙන අවස්ථාවක් එයාලා දරුවන්ගෙන් පැහැරගන්නවා.

 ඇත්ත මේකයි: අපි අපේ දරුවන්ට ආදරෙයි. ඒ නිසා එයාලට නිසි මඟ පෙන්වීම් දීලා එයාලගේ ජීවිතේ සතුටින් ගත කරන්න අවශ්‍ය කරන හැම දෙයක්ම එයාලා වෙනුවෙන් කරනවා.—තීතස් 2:4.

සාක්ෂිකරුවන් පාස්කු ඉරිදා විශේෂ දවසක් හැටියට සලකන්නේ නැත්තේ ඇයි?

  •   පාස්කු ඉරිදා පවත්වන චාරිත්‍ර බයිබලයට එකඟ නැහැ.

  •   යේසුස් ආඥා කළේ ඔහුගේ මරණය සිහි කරන්න කියලයි. ඔහුගේ නැවත නැඟිටීම සමරන්න කියලා කිව්වේ නැහැ. ඒ නිසා අපි හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කරනවා. ඒ දවස අපි ගණනය කරන්නේ යුදෙව් දින දර්ශනයට අනුවයි.—ලූක් 22:19, 20.

  •   පාස්කු ඉරිදා පවත්වන චාරිත්‍ර ආරම්භ වෙලා තියෙන්නේ අතීතයේදී සශ්‍රීකත්වය වෙනුවෙන් පවත්වපු උත්සවවල තිබුණු චාරිත්‍රවලින් නිසා ඒ ගැන දෙවියන් කොහොමටවත් සතුටු වෙන්නේ නැහැ කියන එක අපිට ස්ථිරයි. මොකද “වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය” දෙවියන් ‘දැඩි ලෙස හෙළාදකිනවා’ කියලා බයිබලේ කියනවා.—නික්මයාම 20:5; 1 රාජාවලිය 18:21.

 පාස්කු ඉරිදා විශේෂ දවසක් හැටියට අපි සලකන්නේ නැත්තේ බයිබලේ ඒක අනුමත කරලා නැති නිසයි. බයිබලේ අපිට දිරිගන්වලා තියෙන්නේ සම්ප්‍රදායක් නිසාම යම් දේවල් කරන්නේ නැතුව අපේ ‘ප්‍රඥාව හා සිතීමේ හැකියාව’ පාවිච්චි කරලා හරි තීරණ ගන්න කියලයි. (හිතෝපදේශ 3:21; මතෙව් 15:3) පාස්කු ඉරිදා විශේෂ දවසක් හැටියට අපි සලකන්නේ නැත්තේ ඇයි කියලා දැනගන්න කැමති අයට අපි ඒ ගැන පැහැදිලි කරලා දෙන්නේ හරිම සතුටින්. හැබැයි කාටවත් පාස්කුව සමරන්න එපා කියලා අපි බල කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න අනිත් අයට තියෙන අයිතියට අපි ගරු කරනවා.—1 පේතෘස් 3:15.