Skip to content

“මට පුළුවන් උපරිමයෙන් මං සේවය කරනවා”

“මට පුළුවන් උපරිමයෙන් මං සේවය කරනවා”

ජර්මනියේ ඉන්න අර්මාට දැන් අවුරුදු 90ක් වෙන්න ළඟයි. එයා දෙපාරක්ම වැටිලා හුඟක් අමාරු වුණා. එයාගේ අත් කකුල් කැඩුණා. ඒ විතරක් නෙමෙයි එයාට සැත්කම් කීපයක්ම කරන්න වුණා. ඒ නිසා ඉස්සර වගේ දැන් එයාට ගෙයින් ගෙට ගිහින් දේශනා කරන්න බැහැ. අර්මා නෑදෑයන්ටයි, යාළුවන්ටයි ලියුම් ලියලා එයාගේ විශ්වාසයන් ගැන සාක්ෂි දරනවා. අර්මා යවන ලියුම් කියවලා ගොඩක් අය දිරිගැන්වෙනවා. සැනසීමක් ලබනවා. ඒ ලියුම් එයාලට කොච්චර වටිනවාද කියනවා නම් ඊළඟ ලියුම එවන්නේ කවදාදා කියලා එයාලා කෝල් කරලා අහනවා. එයාගේ ලියුම්වලට ස්තුති කරලා ලියුම් ලියන අයත් ඉන්නවා. ඒ අය ආපහු තමන්ට ලියන්න කියලා අර්මාට කියනවා. “ඒ හැම දෙයක්ම නිසා මං ගොඩක් සතුටු වෙනවා. මගේ විශ්වාසය ගැන දිගටම අනිත් අයට කියන්නත් ඒකෙන් මට දිරිගැන්වීමක් ලැබෙනවා” කියලා අර්මා කියනවා.

මහලු නිවාසවල ඉන්න අයටත් අර්මා ලියුම් ලියනවා. ඒ වගේ යවපු ලියුමක් ගැන අර්මා මෙහෙම කිව්වා. “මහලු කාන්තාවක් මට කෝල් කරලා කිව්වා එයාගේ සැමියා මැරුණාට පස්සේ මං ලියපු ලියුම කියවලා එයාගේ හිත ගොඩක් සැනසුණා කියලා. එයා ඒ ලියුම එයාගේ බයිබලයේ තියාගෙන නිතරම වගේ හවස් වරුවේ ඒක කියවනවා. තව කාන්තාවක් මට කිව්වා එයාගේ සැමියාගේ මළ ගෙදරදී පූජකයා දීපු දේශනයට වඩා මං එයාට ලියපු ලියුම කියවලා එයාට ලොකු සහනයක් දැනුණා කියලා. එයාගේ හිතේ ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලත් ඒවාට පිළිතුරු දැනගන්න ඇවිත් මාව හම්බ වෙන්න පුළුවන්ද කියලත් එයා මගෙන් ඇහුවා.”

අර්මාගේ සාක්ෂිකරුවෙක් නොවන මිතුරියක් ටිකක් ඈත තැනක පදිංචියට ගියා. එයාට ලියුම් ලියන්න කියලා එයා යනකොට අර්මාට කියලා ගියා. වෙච්ච දේ අර්මා මෙහෙම විස්තර කරනවා. “එයා මගේ ලියුම් ටික ඔක්කෝම පරෙස්සමෙන් තියලා තිබුණා. එයා මැරුණාට පස්සේ එයාගේ දුව මට දවසක් කෝල් කළා. මං එයාගේ අම්මාට ලියපු ලියුම් ටික එයා කියෙව්වා කියලත් ඒ වගේ ලියුම් එයාටත් එවන්න පුළුවන්ද කියලත් එයා මගෙන් ඇහුවා.”

අර්මා දෙවියන්ට සේවය කරලා ලොකු සතුටක් ලබනවා. “සේවය කරන්න මට අවශ්‍ය ශක්තිය දෙන්න කියලා මං හැමදාම දෙවියන්ගෙන් ඉල්ලනවා. දැන් ගෙයින් ගෙට යන්න බැරි වුණත් මට පුළුවන් උපරිමයෙන් මං සේවය කරනවා” කියලා එයා කියනවා.