Skip to content

පූජකයෙක්ට බයිබලයෙන් පිළිතුරු ලැබෙයි

පූජකයෙක්ට බයිබලයෙන් පිළිතුරු ලැබෙයි

 එලීසෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. දවසක් ඇය කාන්තාවක් එක්ක බයිබල් පාඩමක් කරකර ඉද්දී ඒ ගෙදරට පූජකයෙක් සහ ඔහුගේ බිරිඳ ගොඩ වුණා. මෑතකදී ඒ යුවළගේ එකම පුතා මිය ගියා කියලා එලීසෝ දැනගෙන හිටියා.

 ඒගොල්ලන්ගේ පුතාගේ මරණය ගැන තමන් දුක් වෙනවා කියලා එලීසෝ එයාලට කිව්වාම ඒ දෙන්නා අඬන්න පටන්ගත්තා. “අපිට මේ වගේ දෙයක් වෙන්න දෙවියන් ඉඩ දුන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. මං දැන් අවුරුදු 28ක් තිස්සේ දෙවියන්ට සේවය කරනවා. ඒ කාලය පුරාම මං ගොඩක් හොඳ දේවල් කරලා තියෙනවා. ඒකට දෙවියන් මට සලකන්නේ මෙහෙමද? මගේ එකම පුතාව දෙවියන් මගෙන් වෙන් කළේ ඇයි” කියලා ඒ පූජකයා කේන්තියෙන් කිව්වා.

 එයාලගේ පුතාගේ මරණයට වග කියන්න ඕනෙ දෙවියන් නෙමෙයි කියලා එලීසෝ එයාලට පැහැදිලි කළා. යේසුස්ගේ ජීවිත පූජාව, නැවත නැඟිටීම සහ නරක දේවල් සිද්ධ වෙන්න දෙවියන් ඉඩ දීලා තියෙන්නේ ඇයි වගේ කරුණු එයා ඒ දෙන්නාත් එක්ක සාකච්ඡා කළා. එයාලා දෙවියන්ගෙන් අහපු ප්‍රශ්නවලට එලීසෝගෙන් පිළිතුරු ලැබුණා කියලා ඒ දෙන්නාම එලීසෝට කිව්වා.

 ඊළඟ සතියෙත් ඒ යුවළ අර කාන්තාවත් එක්ක එලීසෝ කරපු බයිබල් පාඩමට සහභාගි වුණා. එදා එලීසෝ ඒ කාන්තාව එක්ක සාකච්ඡා කළේ, ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ “මිය ගොස් සිටින අය ගැන අපට බලාපොරොත්තුවක්” කියන පරිච්ඡේදය. ඒ යුවළ උනන්දුවෙන් ඒ සාකච්ඡාවට සහභාගි වුණා.

 පස්සේ ජෝර්ජියාවේ ටිබිලිසිවල තිබුණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විශේෂ සමුළුවටත් ඒ යුවළ සහභාගි වුණා. සාක්ෂිකරුවන් අතරේ තියෙන සැබෑ ආදරේ, එකමුතුකම දැකලා එයාලා පුදුම වුණා. මොකද පල්ලියේ සාමාජිකයන් අතර ඒ ගුණාංග ඇති කරන්න එයාලා සෑහෙන කාලයක් උත්සාහ කළත් සාර්ථක වෙලා තිබුණේ නැහැ.