Skip to content

ජීවිත වෙනස් කළ පොතක්

“මට හොස්ස ළඟින් මැස්සා යන්න බැහැ කේන්ති යනවා”

“මට හොස්ස ළඟින් මැස්සා යන්න බැහැ කේන්ති යනවා”
  • ඉපදුණ අවුරුද්ද: 1975

  • රට: මෙක්සිකෝව

  • අතීතයේදී: දරුණු කෙනෙක්, සිරකරුවෙක්

මගේ අතීතය

 මං ඉපදුණේ මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේ තියෙන සැන් ජුවාන් චන්කලයිතෝවල. ඒක පුංචි ටවුමක්. මගේ පවුලේ අය මායාවරුන්ගෙන් පැවත එන චෝල් ගෝත්‍රයට අයිති අය. අපේ පවුලේ ළමයි 12දෙනාගෙන් මං පස් වෙනියා. ඉස්සර අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් එක්ක බයිබලේ පාඩම් කළා. ඒත් මං බයිබලෙන් ඉගෙනගත්ත දේවල් ජීවිතේට අදාළ කරගත්තේ නැහැ.

  අවුරුදු 13ක් වෙද්දී මං මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නයි, හොරකම් කරන්නයි පුරුදු වෙලා හිටියා. ඒ කාලේ ගෙදරින් පැනලා එක එක තැන්වල තමයි මං හිටියේ. අවුරුදු 16දී ගංජා වවපු තැනක මං වැඩට ගියා. එහේ අවුරුද්දක් විතර වැඩ කළා. එක දවසක් රෑ අපි ගංජා තොගයක් බෝට්ටුවක දාගෙන වෙන තැනකට අරං යන්න පිටත් වුණා. අපිත් එක්ක තරඟෙට ගංජා බිස්නස් කරපු කට්ටියක් අපිට එකපාරටම වෙඩි තියන්න පටන්ගත්තා. ගඟට පැනලා පීනලා තමයි මං ජීවිතේ බේරගත්තේ. ඊට පස්සේ මං එක්සත් ජනපදයට පැනගත්තා.

 එක්සත් ජනපදයෙදීත් මං මත්ද්‍රව්‍ය ජාවාරම් කළා. ප්‍රශ්න ගොඩකට පැටලුණා. අවුරුදු 19දී සොරකම් කිරීම සහ මිනී මැරීමට තැත් කිරීම කියන චෝදනා යටතේ මට හිරදඬුවම් නියම වුණා. හිරේදී මම මැර කල්ලියකට බැඳිලා ආයෙත් දරුණු වැඩ කරන්න පටන්ගත්තා. ඒ නිසා මාව පෙන්සිල්වේනියාවේ ලුවිස්බර්ග්වල තිබුණ හිරගෙදරකට මාරු කළා. ඒක දැඩි රැකවල් යටතේ තිබුණ හිරගෙදරක්.

 එහෙදී මං තවත් දරුණු වුණා. මං හිටපු මැර කල්ලියේ අය කොටන පච්ච මගේ ඇඟෙත් තිබුණ නිසා මේ හිරගෙදර හිටපු ඒ මැර කල්ලියට අයිති අය මාව ලේසියෙන්ම අඳුරගත්තා. ඉතිං මං එයාලත් එක්ක එකතු වෙලා ඉවරයක් නැතුව රණ්ඩුවලට පැටලුණා. දවසක් කල්ලි දෙකක් අතරේ ලොකු රණ්ඩුවක් ඇති වුණා. අපි කිසිම අනුකම්පාවක් නැතුව බේස්බෝල් බැට්වලිනුයි එක්සසයිස් කරන යකඩ පඩි වලිනුයි ගහගත්තා. ආරක්ෂක නිලධාරීන් කඳුළු ගෑස් ගහලයි ඒක නැවැත්තුවේ. ඊටපස්සේ එයාලා මාව දරුණුම හිරකරුවන්ට වෙන් කරලා තියෙන හිරකුටියකට දැම්මා. ඒ කාලේ මට හොස්ස ළඟින් මැස්සා යන්න බැහැ කේන්ති යනවා. කටට එන එන එක කියලා අනිත් අයට බැන්නා. කෙනෙක්ට හොඳටම ගහන එක මට හරිම සුළු දෙයක්. ඇත්තටම මං එහෙම කරලා විනෝද වුණා. ‘මං මේ කරන දේවල් වැරදියි’ කියලා කවදාවත් මට හිතුණේ නැහැ.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි

 මේ හිරකුටියට මාව දැම්මට පස්සේ දවස පුරාම මට ඒක ඇතුළටම වෙලා ඉන්න වුණා. එහෙම ඉන්න එක හරි කම්මැලි වැඩක්. ඒ නිසා මං බයිබලේ කියවන්න පටන්ගත්තා. දවසක් හිරගෙදර හිටපු එක නිලධාරිනියක් ‘පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක’ * කියන පොත මට දුන්නා. මං පුංචි කාලේ සාක්ෂිකරුවන්ගෙන් ඉගෙනගත්ත හුඟක් දේවල් ඒ පොත කියවද්දී මට මතක් වුණා. දරුණු දේවල් කරන්න පුරුදු වුණ නිසා මං ජීවිතේ කොච්චර වරද්දගෙනද කියලා මට තේරුණා. ගෙදර අය ගැන මං කල්පනා කළා. ‘මගේ අක්කායි, නංගියි සාක්ෂිකරුවන්. එයාලට සදාකාල ජීවනය ලැබෙනවා. ඇයි මට බැරි ඒ ජීවිතේ ලබාගන්න’ කියලා මං හිතුවා. ‘අද ඉඳන් මං වෙනස් වෙනවා’ කියලා ඒ වෙලාවේ මං හිතාගත්තා.

 මං වැටිලා ඉන්න වළෙන් ගොඩ එන්න මගේ තනි උත්සාහයෙන් බැහැ කියලා මට තේරුණා. ඒ නිසා මං දෙවිට කන්නලව් කරලා උදව් ඉල්ලුවා. ඊටපස්සේ මාත් එක්ක බයිබලේ පාඩම් කරන්න කාව හරි එවන්න කියලා මං එක්සත් ජනපදයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ලියුමක් දැම්මා. ශාඛා කාර්යාලය ඒ ගැන ළඟ තිබුණ සභාවකට දැනුම් දීලා තිබුණා. ඒත් ඒ කාලේ ඒ හිරගෙදරට එන්න අවසර තිබුණේ හිරකරුවන්ගේ පවුල්වල අයට විතරයි. ඒ නිසා ඒ සභාවේ හිටපු සහෝදරයෙක් මාව දිරිගන්වලා ලියුම් සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන එව්වා. ඒවා කියවද්දී ජීවිතේ වෙනස් කරගන්න මට තිබුණ ආසාව තව වැඩි වුණා.

 අවුරුදු ගාණක් තිස්සේ මං හිටපු මැර කල්ලියෙන් අයින් වෙන්න මං තීරණය කළා. පොඩ්ඩක් විනෝද වෙන්න අපිව එළියට දාපු වෙලාවක මං අපේ කල්ලියේ නායකයාව හම්බ වුණා. එයාත් හිටියේ දරුණුම හිරකරුවන්ට වෙන් කරපු කොටසේම තමයි. “මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ඕනේ” කියලා මං එයාට කිව්වා. එයාගේ උත්තරෙන් මං පුදුම වුණා. “උඹ මේ කරන්නේ විහිළුවක් නෙමෙයිනේ? උඹට ඕනෙ නම් මට අවුලක් නෑ. මොකද දෙවියන්ගේ දේවලට අත දාන්න මං කවුද? ඒත් උඹ එහෙම කියන්නේ කල්ලිය දාලා යන්න උඹට ඕනෙ නිසා නම් මොකද වෙන්නේ කියලා දන්නවනේ?” කියලා එයා කිව්වා.

 ඊටපස්සේ ගත වුණ අවුරුදු දෙක පුරාම මං ජීවිතේ වෙනස් කරගත්ත විදිහ හිරගෙදර නිලධාරීනුත් දැක්කා. ඒ නිසා එයාලා මට දාලා තිබ්බ නීති ටිකක් ලිහිල් කළා. එයාලා මාව නාන්න අරන් යනකොට මාංචු දැම්මෙත් නැහැ. ‘ඔය විදිහට දිගටම හොඳට ඉන්න’ කියලා දවසක් නිලධාරියෙක් මං ළඟට ඇවිත් කිව්වා. හිරේ හිටපු අන්තිම අවුරුද්දේදී එයාලා මාව එච්චර රැකවල් දාලා තිබුණේ නැති හිරකඳවුරකට දැම්මා. ඒක තිබුණේ ප්‍රධාන හිරගෙදරට කිට්ටුවමයි. අවුරුදු 10ක් හිරේ හිටියාට පස්සේ, ඒ කියන්නේ 2004දී මාව නිදහස් කරලා හිරකාරයන්ව ගෙනියන බස් එකක නග්ගලා මාව මෙක්සිකෝවට එව්වා.

 මෙක්සිකෝවට අපු ගමන්ම මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයක් තියෙන තැන හොයාගත්තා. මං පළවෙනි රැස්වීමට ගියේ හිරේ ඉද්දී මං ඇඳපු යුනිෆෝම් එක ඇඳගෙන. හොඳ ඇඳුමකට කියලා මට තිබුණේ එච්චරයි. මගේ පෙනුම දිහා බලන්නේ නැතුව සාක්ෂිකරුවන් මාව ආදරෙන් පිළිගත්තා. එයාලගේ කරුණාවන්තකම අද්දකිද්දී ‘මේ තමයි ඇත්තටම යේසුස්ගේ ගෝලයන්’ කියලා මට හිතුණා. (යොහන් 13:35) එදා ඒ සභාවේ වැඩිමහල්ලන් මට බයිබල් පාඩමක් කරන්න ලෑස්ති කළා. ඊට අවුරුද්දකට පස්සේ ඒ කියන්නේ 2005 සැප්තැම්බර් 3වෙනිදා මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා.

 2007 ජනවාරි මාසේ මං පූර්ණකාලීන සේවය පටන් ගත්තා. මම මාසෙකට පැය 70ක් අනිත් අයට බයිබලේ තියෙන දේවල් කියලා දෙන්න පාවිච්චි කළා. 2011දී මම තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැලට සහභාගි වුණා. (දැන් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල.) සභාවේ වගකීම් හොඳට ඉටු කරන්න ඒ පාසැලෙන් ලැබුණ පුහුණුව මට ලොකු උදව්වක්.

සාමකාමීව ජීවත් වෙන විදිහ දැන් මම අනිත් අයට කියලා දෙනවා

 2013දී මං විවාහ වුණා. මගේ ආදරණීය බිරිඳගේ නම පේලාර්. ඉස්සර මං ගත කරපු ජීවිතේ ගැන එයාට කියද්දී ‘ඔයා ඉස්සර එහෙම කෙනෙක් කියලා මට නං හිතාගන්නවත් බෑ’ කියලා එයා හිනා වෙලා කියනවා. ඉස්සර කරපු දේවල් මං ආයේ කවදාවත් කළේ නැහැ. මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න තරම් බලයක් දේවවචනයට තියෙනවා කියලා මමයි මගේ බිරිඳයි තදින්ම විශ්වාස කරනවා.—රෝම 12:2.

මං දැන් අද්දකින ආශීර්වාද

 ලූක් 19:10 යේසුස් කියපු දේ මටත් අදාළයි. ඔහු කිව්වේ “මනුෂ්‍ය පුත්‍රයා ආවේ, නැති වූ අයව සොයා ඔවුන්ව ගලවාගැනීමටයි” කියලා. එතන කියන නැති වුණ අයට මාත් අයිතියි කියලා දැන් මට හිතෙන්නේ නැහැ. මොකද දැන් මං දරුණු කෙනෙක් නෙමෙයි. බයිබලේ තියෙන දේවල් ඉගෙනගත්ත නිසා දැන් මගේ ජීවිතේට හොඳ අරමුණක් තියෙනවා, අනිත් අය එක්ක ආදරෙන් දේවල් කරන්න මට පුළුවන් වෙලා තියෙනවා. වැදගත්ම දේ අපේ ආදරණීය නිර්මාතෘ යෙහෝවා දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න මට පුළුවන් වුණ එකයි.

[පාදසටහන]

^ 5 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් මුද්‍රණය කරන්නේ නැහැ. බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න දැන් එයාලා පාවිච්චි කරන්නේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතයි.