Skip to content

ජීවිත වෙනස් කළ පොතක්

“මගේ ජීවිතේම වුණේ සටන් කලාව”

“මගේ ජීවිතේම වුණේ සටන් කලාව”
  • ඉපදුණ අවුරුද්ද: 1962

  • රට: එක්සත් ජනපදය

  • අතීතයේදී: සටන් කලාව හදාරපු කෙනෙක්

මගේ අතීතය

 දවසක් මං මගේ යාළුවෙක් එක්ක සටන් පුහුණු වෙමිනුයි හිටියේ. එතකොට එකපාරටම මං හිතුවෙවත් නැති විදිහට මගේ කකුලෙන් එයාගේ නහයට තදින්ම පහරක් වැදුණා. ඒකෙන් එයාගේ නහය බරපතළ විදිහට තුවාල වුණා. වෙච්ච දේට මගේ හිත හොඳටම වධ දුන්නා. සටන් කලාව පුහුණු වෙන එක නවත්වලා දාන්නත් මට හිතුණා. අවුරුදු ගාණක් තිස්සේ මං ආසාවෙන් පුහුණු වුණු ඒ සටන් කලාව මට ඒ වේලාවේ අත්හරින්න හිතුණේ ඇයි? මං සටන් කලාව පුහුණු වෙන්න පටන්ගත්තේ කොහොමද කියලා මං මුලින්ම ඔයාලට කියන්නම්.

 මං හැදුණේ වැඩුණේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක්වල බෆලෝ කියන නගරය කිට්ටුව. මගේ ළමා කාලය මං සතුටින් ගත කළා. මගේ අම්මායි, තාත්තායි හොඳ කතෝලිකයෝ. මම ගියෙත් කතෝලික ඉස්කෝලෙකට. ඒ කාලේ පූජාව වෙලාවේ පූජකයාට උදව් කරපු අය අතරේ මමත් හිටියා. අම්මටයි, තාත්තටයි ඕනෙ වුණේ මායි, අක්කයි ඉහළටම ඉගෙනගෙන සාර්ථක ජීවිත ගත කරනවා දකින්නයි. ඉස්කෝලෙන් පස්සේ ක්‍රීඩාවලට හවුල් වෙන්න පොඩි රස්සාවක් කරන්න එයාලා මට ඉඩ දුන්නා. හැබැයි මං හැම විෂයකටම හොඳට ලකුණු ගනී කියලත් එයාලා බලාපොරොත්තු වුණා. ඒ නිසා හොඳ කාලසටහනකට, වෙලාවට වැඩ කරන්න මං පොඩි කාලේ ඉදන් මං ඉගෙනගත්තා.

 මං සටන් කලාව ඉගෙනගන්න පටන්ගත්තේ අවුරුදු 17දී. මං අවුරුදු ගාණක් තිස්සේ දවසට පැය තුන ගාණේ සතියට දවස් හයක්ම සටන් ක්‍රම පුහුණු වුණා. දක්ෂ විදිහට සටන් කරන්න පුළුවන් එක එක විදි ගැනත් මං පැය ගාණක් තිස්සේ හිතුවා. ඒවා ගැන තියෙන වීඩියෝත් බැලුවා. සමහර වෙලාවට මං ඇස් දෙක බැඳගෙන කඩු කිනිසි වගේ දේවල් අතට අරගෙනත් පුහුණු වීම් කළා. ලී, ගඩොල් වගේ දේවල් එක පාරින් අතින් ගහලා කඩන්න මට පුළුවන් වුණා. මං සටන් කලාවේ ඉහළටම ගියා. ගොඩක් තරඟ දින්නා. මගේ ජීවිතේම වුණේ සටන් කලාව.

 මං හිතුවේ මං ගත කළේ සාර්ථක ජීවිතයක් කියලා. විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක් ලබාගත්තාට පස්සේ මං ප්‍රසිද්ධ ආයතනයක පරිගණක ඉන්ජිනේරුවෙක් විදියට වැඩ කළා. රස්සාවෙන් ලැබුණු හොඳ පඩියට අමතරව මට ගොඩක් දීමනාත් ලැබුණා. මටම කියලා ගෙයක් තිබුණා. පෙම්වතියකුත් හිටියා. මං හරිම සාර්ථක ජීවිතයක් ගත කරනවා වගේ පේන්න තිබුණත් ජීවිතේ ගැන මගේ හිතේ ගොඩක් ප්‍රශ්න තිබුණා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි

 මගේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඕනෙ වුණ නිසා සතියට දෙපාරක්ම මං පල්ලියට යන්න පටන්ගත්තා. දෙවියන්ගෙන් උදව් ඉල්ලලා යාච්ඤාත් කළා. දවසක් මගේ යාළුවෙක් එක්ක මගේ හිතේ තියෙන ප්‍රශ්න ගැන මම කතා කළා. ජීවිතේ ප්‍රශ්න කරදරවලින්, අසාධාරණකම්වලින් පිරිලා. “අපි ඉපදුණේ මේ විදිහට දුක් විඳලා මැරිලා යන්නද” කියලා මං එයාගෙන් ඇහුවා. මගේ යාළුවා කිව්වා එයාටත් ඒ ප්‍රශ්නෙම තිබුණා කියලා. ඒකට උත්තරේ ලැබුණේ බයිබලයෙන් කියලා එයා කිව්වා. ඊට පස්සේ එයා මට ‘පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක’ * කියන පොත දුන්නා. එයා මට කිව්වා එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරනවා කියලා. ඒක ඇහුවාම මං ඒ පොත කියවන්න එච්චර කැමති වුණේ නැහැ. මොකද මගේ ආගමේ පොත් ඇරෙන්න වෙන ආගමක පොත් කියවන්න මං කැමති වුණේ නැහැ. හැබැයි මගේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඕන වුණ නිසා පස්සේ මං ඒ පොත අරගෙන කියෙව්වා.

 බයිබලේ තියෙන දේවල් දැනගත්තාම මං පුදුම වුණා. දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ පාරාදීස පොළොවක සදහටම ජීවත් වෙන්න කියලා මං දැනගත්තා. ඒ වගේම දෙවියන්ගේ ඒ අරමුණ වෙනස් වෙලා නැහැ කියලත් මං දැනගත්තා. (උත්පත්ති 1:28) දෙවියන්ගේ නම යෙහෝවා කියලත් මෙච්චර කාලයක් ස්වාමීන්ගේ යාච්ඤාව කියද්දී මං යාච්ඤා කරලා තියෙන්නේ මේ නම ගැන කියලත් දැනගද්දී මං පුදුම වුණා. මං ගාව තිබුණු බයිබලෙත් ඒ නම තිබුණා. (ගීතාවලිය 83:18; මතෙව් 6:9) ටික කාලෙකට දෙවියන් මිනිසුන්ට දුක් විඳින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි කියන දේත් මං ඉගෙනගත්තා. මගේ හැම ප්‍රශ්නයකටම මට උත්තර ලැබුණා. මට දැණුනේ පුදුම සතුටක්.

 සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගිය මුල්ම දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. හැමෝම මාත් එක්ක කතා කළා. හැමෝටම මගේ නම දැනගන්නත් ඕනෙ වුණා. එදා තිබුණු විශේෂ බයියල් දේශනයේ කතා කළේ දෙවියන් අහන්නේ කාගේ යාච්ඤාද කියන විෂය ගැනයි. මාත් ඒ කාලේ දෙවියන්ට යාච්ඤා කරකර හිටපු හින්දා ඒ දේශනය මං ගොඩක් ආසාවෙන් අහගෙන හිටියා. ඊළඟට මං ගියේ යේසුස්ගේ මරණය සිහි කිරීමට. ඒ හැම රැස්වීමකම මං දැකපු දෙයක් තමයි බයිබල් පදයක් කියද්දී පුංචි ළමයි වුණත් එයාලගෙම බයිබලේ පෙරළලා බලනවා. මුලින් නම් බයිබලේ පෙරළන්න මං දැනන් හිටියේ නැහැ. හැබැයි සාක්ෂිකරුවන් මට උදව් කළා බයිබල් පද හොයාගන්න.

 දිගටම රැස්වීම් යද්දී මං තේරුම්ගත්තා සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී කොච්චර වටින දේවල් ඉගෙනගන්න පුළුවන්ද කියලා. හැම රැස්වීමකදීම මං මොකක් හරි අලුත් දෙයක් ඉගෙනගත්තා. රැස්වීම් ඉවර වෙලා මම ගෙදර ගියේ හිතේ ලොකු සතුටකින්. ටික කාලෙකට පස්සේ සාක්ෂිකරුවන් මගෙන් ඇහුවා එයාලත් එක්ක බයිබලේ පාඩම් කරන්න කැමතිද කියලා.

 මගේ පල්ලියේ ඉන්න අයට වඩා සාක්ෂිකරුවන් කොච්චර වෙනස්ද කියලා මං දැක්කා. එයාලා හරිම එකමුතු, අවංක සෙනඟක්. එයාලා හැම වෙලේම බලන්නේ දෙවියන්ව සතුටු කරන්නයි. එයාලා තමයි සැබෑ ක්‍රිස්තියානීන් කියන එක ගැන මට කිසිම සැකයක් තිබුණේ නැහැ. මොකද යේසුස් කිව්වා වගේ එයාලා අතරේ සැබෑ ආදරය තියෙනවා.—යොහන් 13:35.

 දිගටම බයිබලේ අධ්‍යයනය කරද්දී මං ටිකෙන් ටික මගේ ජීවිතේ වෙනස්කම් කරන්න පටන්ගත්තා. හැබැයි සටන් කලාව නම් මට කවදාවත් නවත්තන්න බැරි වෙයි කියලා මට හිතුණා. මං ඒ තරමටම ඒකට ආස කළා. මාත් එක්ක පාඩම් කරපු කෙනාට මං ඒ ගැන කියද්දී එයා හරිම ආදරෙන් මට මෙහෙම කිව්වා. “ඔයා දිගටම පාඩම කරගෙන යන්න. ඔයා හරි තීරණය ගනී කියලා මං දන්නවා.” ඒක ඇහුවාම මගේ හිතට ලොකු හයියක් ආවා. පාඩම කරගෙන යද්දී යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න මට තිබුණු ආසාවත් වැඩි වුණා.

 මේ ලිපිය පටන්ගද්දිම මං කියපු සිද්ධිය නිසා තමයි මං මගේ ජීවිතය වෙනස් කරගන්න පෙලඹුණේ. මං අතින් වෙච්ච දේ නිසා මං දිගටම සටන් කලාව කරගෙන ගියොත් මට ඇත්තටම යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න පුළුවන් වෙයිද කියලා මං කල්පනා කළා. මොකද යේසුස්ගේ අනුගාමිකයන් කියන්නේ සාමකාමී අය. අනික යෙසායා 2:3,4 කියනවා යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන අය යුද්ධයට පුහුණු වෙන්නේ නැහැ කියලා. අසාධාරණකම්වලට මුහුණ දෙන්න වෙද්දිත් සටන් කරන්න එපා කියලා යේසුත් ඉගැන්නුවා. (මතෙව් 26:52) ඒ නිසා මං ගොඩක් ආසාවෙන් කරපු සටන් කලාව මං අත්හැරියා.

 ඊටපස්සේ “දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය වැඩි කරගැනීමේ අරමුණින් පුහුණු වන්න” කියන බයිබලේ සඳහන් දේ මම අදාළ කරගන්න පටන්ගත්තා. (1 තිමෝති 4:7) කලින් මං සටන් කලාව වෙනුවෙන් යොදවපු කාලය මං දැන් යෙහෝවා දෙවියන්ට ළං වෙන්න ඔහුට සේවය කරන්න යොදවනවා. මං බයිබලෙන් ඉගෙනගත්ත දේවල්වලට මගේ පෙම්වතිය කැමති වුණේ නෑ. ඒ නිසා අපේ සම්බන්ධය අපි නතර කළා. මං 1987 ජනවාරි 24 වෙනිදා බව්තීස්ම වුණා. මං බව්තීස්ම වෙච්ච ගමන්ම පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා. ඒ කියන්නේ මගේ කාලෙන් වැඩි හරියක්ම මං පාවිච්චි කළේ අනිත් අයට බයිබලේ උගන්වන්න. මං එදා ඉඳන් අද වෙන කල් ඒ සේවය කරනවා. ටික කාලයක් මං ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක්වල, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයෙත් සේවය කළා.

මං දැන් අද්දකින ආශීර්වාද

 මං දැන් දෙවියන් ගැන සත්‍යය දන්න නිසා මගේ ජීවිතයට අරමුණක් තියෙනවා. අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවකුත් තියෙනවා. ඉස්සර වගේ දැන් මට හිස්කමක් දැනෙන්නේ නැහැ. මං ඉන්නේ හරිම සතුටින්. මං තාමත් ව්‍යායාම් කරන්න ආසයි. ඒත් ඒක නෙමෙයි මගේ ජීවිතේ වැදගත්ම දේ. මං දැන් මගේ ජීවිතේ මුල් තැන දෙන්නේ යෙහෝවා දෙවියන්ට කරන සේවයටයි.

 මං සටන් කලාව පුහුණු වුණු කාලයේදී කවුරු හරි මට මොනවා හරි කරන්න ආවොත් එයාලට ගහන්න බලාගෙනයි මම හිටියේ. ඒ නිසා හැම වෙලේම අවට ඉන්න අය ගැන මං හිටියේ හරිම විමසිල්ලෙන්. දැනුත් මං අවට ඉන්න අය ගැන ඉන්නේ හරිම විමසිල්ලෙන්. ඒත් ඒ එයාලට උදව් කරන්න බලාගෙන. අනිත් අයට උදව් කරන්න, මගේ බිරිඳ බ්‍රෙන්ඩාට හොඳ සැමියෙක් වෙන්න බයිබලෙන් ඉගෙනගෙන තියෙන දේවල් මට හුඟක් උදව් වෙලා තියෙනවා.

 කලින් මගේ ජීවිතේම වුණේ සටන් කලාව. හැබැයි දැන් මං ඊට වඩා හුඟක් වටිනා දෙයක් හොයාගෙන තියෙනවා. ඒ ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. “ක්‍රීඩකයෙකු පුහුණු වීම් කටයුතුවල යෙදුණත් ඔහුට එයින් ලැබෙන ප්‍රයෝජන අල්පය. නමුත් දෙවි සඳහා භක්තිය ඇති කරගන්නා කෙනෙක් සෑම අතින්ම ප්‍රයෝජන ලබයි. එමගින් ඔහුට දැන් භුක්ති විඳින ජීවිතයේදීත් අනාගත ජීවිතයේදීත් බොහෝ ආශීර්වාද ලබාගැනීමට මඟ විවෘත වෙයි.”—1 තිමෝති 4:8.

^ 5 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් මුද්‍රණය කරන්නේ නැහැ.