Skip to content

ජීවිත වෙනස් කළ පොතක්

අන්තිමේදී මං තාත්තාට සමාව දුන්නා

අන්තිමේදී මං තාත්තාට සමාව දුන්නා
  • ඉපදුණ අවුරුද්ද: 1954

  • රට: පිලිපීනය

  • අතීතයේදී: අමිහිරි ළමා කාලයක් තිබුණ කෙනෙක්

මගේ අතීතය

 පිලිපීනයේ පග්සංහාන් නගරය අවට තියෙන දිය ඇලි බලන්න නිතරම වගේ සංචාරකයෝ එනවා. මගේ තාත්තා හැදිලා වැඩිලා තියෙන්නේ එහේ. එයාගේ නම නාඩෝ ලෙරොන්. ඒ කාලේ හුඟක් අගහිඟකම් මැද තමයි එයාලා ඉඳලා තියෙන්නේ. ඒ විතරක් නෙමේ ආණ්ඩුවේ, පොලීසියේ, සහ වැඩපොළේ අය කරපු අසාධාරණකම් නිසා තාත්තා හිටියේ හරිම කේන්තියෙන්.

 අපේ පවුලේ ළමයි අටදෙනයි. අපිට කන්න අඳින්න දෙන්න අපේ අම්මායි, තාත්තායි නොවිඳිනා දුක් වින්දා. ගෙදරට හුඟක් ඈත, කඳු තියෙන පැත්තක එයාලා වගා කළා. එයාලා එහේ ගියාම ටික දවසකින් තමයි ආපහු එන්නේ. මට අයියා කෙනෙක් ඉන්නවා. එයාගේ නම රොඩෙලියෝ. සමහර දවස්වලට අපිට කන්න තිබුණෙත් නැහැ. ඉතිං අපිම කීයක් හරි හොයාගත්තොතින් විතරයි කන්න මොනවා හරි ගන්න පුළුවන්. අපේ පවුලේ ළමයි හැමෝම අවුරුදු 7 වෙච්ච ගමන්ම පොල් වත්තක වැඩට ගියා. ඒ නිසා අපිට සෙල්ලම් කරන්නවත් වෙලාවක් හම්බ වුණේ නැති තරම්. ලොකු ගෝනිවලට පොල් පුරවලා භයානක කඳු බෑවුම් දිගේ ඒවා උස්සන් යන්න අපිට සිද්ධ වුණා. කරේ තියාගෙන යන්න බැරි තරම් ඒ පොල් ගෝනිය බරයි නම් කොහොමහරි ඒක ඇදගෙන යන්න අපිට සිද්ධ වුණා.

 ඒ කාලේ තාත්තා අපිට හොඳටම ගහනවා. ඒක කොහොමහරි දරාගත්තා කියමුකෝ. අම්මාට ගහන එක තමයි අපිට බලාගෙන ඉන්න අමාරුම දේ. ඉතිං අම්මාට ගහද්දී අපි මැදට පැනලා බේරගන්න හදනවා. ඒත් තාත්තාව නවත්තන්න අපිට බැරි වුණා. ‘අපි ලොකු වුණාම තාත්තාව මරමු’ කියලා ඒ කාලේ අයියායි, මායි කතා වෙලා තියෙනවා. අපිට ආදරෙන් සලකන තාත්තා කෙනෙක් හිටියා නම් කොච්චර හොඳද කියලා මට නිතරම හිතුණා.

 තාත්තාගේ දරුණු වැඩ නිසා මං කලකිරුණා. ඒ නිසා අවුරුදු 14දී මං ගෙදරින් යන්න ගියා. ටික කාලයක් යන කල් මං ජීවත් වුණේ පාරවල් ගානේ. ඒ කාලේ මං ගංජාවලට ඇබ්බැහි වුණා. ඔය විදිහට කාලේ ගත වෙලා යද්දී මං ජොබ් එකක් හොයාගත්තා. දිය ඇලි බලන්න එන සංචාරකයන්ව ගෙනියන බෝට්ටුවක් පදින එක තමයි මගේ ජොබ් එක වුණේ.

 ඔය අතරේ මං මැනිලා නගරයේ තියෙන විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න පටන්ගත්තා. ඒත් ජොබ් එක නිසා මං සති අන්තේ පග්සංහාන්වලට යන්න ඕනේ. ඒ නිසා පාඩම් කරන්න එච්චර වෙලාවක් හම්බ වුණේ නැහැ. මගේ ජීවිතේ අරමුණක් නැතුව ඔහේ ගෙවිලා ගියා. කොච්චර ගංජා පානය කළත් මට දැනුණ දුක, කනස්සල්ල නැති වුණේ නැහැ. ඒ නිසා මං ක්‍රිස්ටල් මෙත්, කොකේන්, හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා බැලුවා. මත්ද්‍රව්‍ය භාවිතය නිසාම මං දුරාචාර ජීවිතේකට වැටුණා. දුප්පත්කම, අයුක්තිය, වේදනාව මේ හැම දෙයක්ම මට ගොඩක් බලපෑවා. මේ හැම දේකටම වග කියන්න ඕනෙ ආණ්ඩුව කියලයි මං තදින්ම විශ්වාස කළේ. දේශපාලනඥයන්ට මං වෛර කළා. “ඇයි ජීවිතේ මෙච්චර තිත්ත” කියලා මං දෙවියන්ගෙන් ඇහුවා. එක එක ආගම්වල උගන්වන දේවල් හොයලා බැලුවත් මට හරි උත්තරයක් හම්බ වුණේ නැහැ. හිතේ තිබුණ දුක, කනස්සල්ල නැති කරගන්න මං කෙරුවේ තව වැඩියෙන් මත්ද්‍රව්‍ය ගන්න එකයි.

 1972දී පිලිපීනයේ හිටිය ශිෂ්‍යයන් ආණ්ඩුවට විරුද්ධව කැරලිගහන්න පටන්ගත්තා. මාත් එයාලගේ පෙළපාළියකට හවුල් වුණා. ඒක ප්‍රචණ්ඩකාරී අතට හැරුණා. ඒකට හවුල් වුණ හුඟදෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. ඊට මාස කීපයකට පස්සේ රට පුරාම හමුදා නීතිය ක්‍රියාත්මක කළා.

 ආයෙමත් මට ජීවත් වෙන්න වුණේ මහපාරේ. මොකද මං කැරැල්ලට හවුල් වුණ නිසා හමුදාවෙන් මාව හොයාගනියි කියලා මං බයේ හිටියේ. මත්ද්‍රව්‍ය ගන්න මට සල්ලි ඕනෙ නිසා මං හොරකම් කරන්න පටන්ගත්තා. ඒ විතරක් නෙමෙයි පෝසත් අයටයි, පිට රටවල්වලින් එන අයටයි ලිංගික සේවාවන් සපයන්නත් පටන්ගත්තා. ‘හිටියත් එකයි මැරුණත් එකයි’ කියලා තමයි ඒ කාලේ මට හිතුණේ.

 ඔය අතරේ මගේ අම්මායි, මල්ලියි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. ඒකට තාත්තාට හොඳටම කේන්ති ගිහින් එයාලගේ පොත් පත් ඔක්කොම පුච්චලා දැම්මා. ඒ මොන බාධාව තිබුණත් අන්තිමේදී අම්මායි, මල්ලියි බව්තීස්ම වුණා.

 මුළු පොළොව පුරාම යුක්තිය ඉටු කරනවා කියලා බයිබලේ තියෙන පොරොන්දුව ගැන දවසක් සාක්ෂිකරුවෙක් තාත්තා එක්ක කියලා තියෙනවා. (ගීතාවලිය 72:12-14) ඒකට ආස හිතිලා තාත්තා බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. යුක්තිය ඉටු කරනවා කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුව විතරක් නෙමෙයි තාත්තා කෙනෙක් විදිහට, සැමියෙක් විදිහට දෙවියන් එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලත් එයා ඉගෙනගත්තා. (එෆීස 5:28; 6:4) ඉතිං ටික කාලෙකින් තාත්තායි අපේ පවුලේ අනිත් ළමයි ටිකයි සත්‍යයට ඇවිල්ලා. ගෙදර පැත්ත පළාතේ ගියේ නැති නිසා සිද්ධ වෙච්ච කිසිම දෙයක් මං දැනං හිටියේ නැහැ.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි

 1978දී මං ඕස්ට්‍රේලියාවට ගියා. පිලිපීනයේ තරම් එහේ ජීවිතේ අමාරු වුණේ නැතත් මගේ හිතට නම් කිසිම සැනසීමක් තිබුණේ නැහැ. මං දිගටම මත්පැන් සහ මත්ද්‍රව්‍ය ගත්තා. ඒ අවුරුද්දේ අන්තිම හරියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මං හිටිය ගෙදරට ආවා. අනාගතයේදී මේ පොළොව ලස්සන තැනක් වෙන්න යන විදිහ එයාලා බයිබලෙන් පෙන්නුවාම මට ආස හිතුණා. ඒත් සාක්ෂිකරුවන් එක්ක වැඩිය ඇයි හොඳැයියට යන්න මගේ හිත ඉඩ දුන්නේ නැහැ.

 ඒ ළඟදීම වගේ මං සති කීපයකට ආයෙත් පිලිපීනයට ගියා. තාත්තා හොඳ කෙනෙක් වෙන්න ගොඩක් මහන්සි වෙනවා කියලා ගෙදර අය මට කිව්වා. ඒත් මං හිටියේ තාත්තා එක්ක නයි වෛරෙන් නිසා එයාත් එක්ක කිසිම කතාවකට ගියේ නැහැ.

 ඇයි අපි දුක් විඳින්නේ, ලෝකේ පුරාම ඇයි අයුක්තිය පැතිරිලා තියෙන්නේ කියලා නංගි මට බයිබලයෙන් පෙන්නුවා. ජීවිතේ එච්චර අද්දැකීම් නැති වුණත් මගේ ප්‍රශ්නවලට උත්තර නංගි දැනං හිටපු එක ගැන මට පුදුම හිතුණා. මං ආපහු යන්න කලින් ‘පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක’ * කියන පොත තාත්තා මට දුන්නා. “ප්‍රශ්න එනවා තමයි. ඒත් එහෙමයි කියලා ඒවාට උත්තර හොයාගන්න ඔයාටම හානි වෙන දේවල් කරන්න එපා. ඔයාගේ ප්‍රශ්නවලට උත්තර මේ පොතේ තියෙනවා” කියලා එයා මට කිව්වා. ඕස්ට්‍රේලියාවට ගියාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හම්බ වෙන්න කියලත් එයා මට උනන්දු කළා.

 මං නැවතිලා හිටියේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්වල. තාත්තා කියපු දේ අහලා මං ඒ ළඟම තිබුණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයට ගියා. මං එයාලා එක්ක දිගටම බයිබලේ පාඩම් කළා. අනාගතයේදී මේ පොළොව පාලනය කරන්න යන දේවරාජ්‍යය 100%ක්ම යුක්තිය ඉටු කරනවා කියලා බයිබලයේ දානියෙල් 7වෙනි පරිච්ඡේදය සහ යෙසායා 9වෙනි පරිච්ඡේදය අධ්‍යයනය කරද්දී මං දැනගත්තා. ඒ විතරක් නෙමෙයි දෙවියන් මේ පොළොව පාරාදීසයක් කරනවා. මං මගේ ජීවිතේ දෙවියන් කැමති විදිහට හැඩගස්වගන්න ඕනෙ කියලා මට තේරුණා. ඒක කරන්න නම් මත්ද්‍රව්‍ය සහ මත්පැන් ගන්න එක නවත්තන්න ඕනේ. දුරාචාර ජීවිතේ අතාරින්න ඕනේ. ඉතිං මං ඒ දේ කළා. මාත් එක්ක එකට ජීවත් වුණ ගෑනු ළමයාගෙන් මං වෙන් වුණා. මත්ද්‍රව්‍ය ගන්න එකටත් තිත තිබ්බා. දවසින් දවස මට යෙහෝවා දෙවි ගැන තිබ්බ විශ්වාසය වැඩි වුණා. ඉතිං ජීවිතේ වෙනස් කරගන්න මට උදව් කරන්න කියලා මං දෙවියන්ට යාච්ඤා කළා.

 නිකම්ම බයිබලේ ගැන ඉගෙනගත්තා කියලා මගේ ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා “අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න” මගේ පැත්තෙන් ලොකු වෑයමක් දරන්න ඕනෙ කියලා මට තේරුණා. (කොලොස්සි 3:9, 10) මගේ ජීවිතේ වෙනස් කරගන්න ලොකු වෑයමක් දරද්දී මට තාත්තාව මතක් වුණා. එයාගේ දරුණු ගතිපැවතුම් අතාරින්න එයා ගොඩක් මහන්සි වෙනවා කියලා ගෙදර අය කියපු දේ ඇත්ත වෙන්න පුළුවන් කියලා මට හිතුණා. ඒ නිසා එයා ගැන මගේ හිතේ තිබුණ තරහා අයින් කරගන්න මට ඕනෙ වුණා. පොඩි කාලේ ඉඳන්ම තාත්තා ගැන මගේ හිතේ කහටක් තිබුණත් අන්තිමට මං එයාට හදවතින්ම සමාව දුන්නා.

මං දැන් අද්දකින ආශීර්වාද

 තරුණ කාලේ නරක අයව ආශ්‍රය කරපු නිසා මං වළේ වැටිලා හිටියා. නරක අයව ආශ්‍රය කළාම හොඳ පුරුදු නැති වෙනවා කියලා බයිබලේ කියන එක හරියටම හරි. (1 කොරින්ති 15:33) ඒත් මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගියාම එහෙදී මට හොඳ යාළුවෝ හම්බ වුණා. යෙහෝවා දෙවි කැමති විදිහට ජීවිතේ වෙනස් කරගන්න එයාලා මට උදව් කළා. ඒ අය අතරින් ආදරණීය බිරිඳක් හොයාගන්නත් මට පුළුවන් වුණා. එයාගේ නම ලොරේටා. දැන් අපි දෙන්නාම එකතු වෙලා බයිබලයෙන් ජීවිතයට ප්‍රයෝජන ලබාගන්න පුළුවන් විදිහ ගැන අනිත් අයට උගන්වනවා.

මගේ බිරිඳ සහ යාළුවන් එක්ක කෑම කන ගමන්.

 මං හිතුවේ තාත්තා නම් කවදාවත් හොඳ මිනිහෙක් වෙන්නේ නැති වෙයි කියලා. ඒත් බයිබලයට පුළුවන් වුණා එයාගේ ජීවිතේ වෙනස් කරන්න. එයා අම්මාට ආදරෙන් සලකන්න පටන්ගත්තා. අනිත් අය එක්ක නිහතමානීව දේවල් කරන්න පටන්ගත්තා. 1987දී මං බව්තීස්ම වුණාට පස්සේ මට තාත්තාව මුණගැහුණා. එදා තමයි ජීවිතේ පළවෙනි වතාවට එයා මාව බදාගත්තේ.

 අවුරුදු 35ක් පුරාම මගේ අම්මායි, තාත්තායි එකතු වෙලා අනිත් අයට බයිබලේ ගැන කියලා දුන්නා. තාත්තා ලොකු කැපවීමකින් වැඩ කරන, අනිත් අය ගැන හුඟක් හිතන, එයාලට උදව් කරන කෙනෙක් වුණා. මගේ හිතෙත් ටිකෙන් ටික තාත්තා ගැන ආදරයක්, ගෞරවයක් ඇති වෙන්න පටන්ගත්තා. එයාගේ පුතෙක් විදිහට අනිත් අය මාව හඳුන්වනවාටත් මං ආස වුණා. 2016දී තාත්තා නැති වුණා. අදටත් මං එයාට ගොඩක් ආදරෙයි. බයිබලේ ඉගෙනගත්ත නිසා අපි දෙන්නාගෙම ජීවිත පුදුම විදිහට වෙනස් වුණා. තාත්තා ගැන අබමල් රේණුවක තරම්වත් වෛරයක් දැන් මගේ හිතේ නැහැ. ඒ වගේම යෙහෝවා දෙවිව දැනගන්න ලැබුණ එකත් මට ලොකු සතුටක්. කනස්සල්ලට හේතු වෙන හැම දෙයක්ම අනාගතේදී නැති කරනවා කියලා දෙවියන් පොරොන්දු වෙනවා.

^ 12 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් මුද්‍රණය කරන්නේ නැහැ.